පාකිස්තානයේ පොලියෝ: 'මාස කීපයක් තුළ තුරන් කරනවා'

මාස කිහිපයක් තුළ පාකිස්තානයෙන් පෝලියෝ වසංගතය තුරන් කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

එරට සිටින ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත වෛද්‍ය මයිකල් තියරන් පවසන්නේ මේ වසර තුළ පාකිස්තානයෙන් සහ අසල්වැසි ඇෆ්ගනිස්ථානයෙන් වාර්තා වී තිබෙන්නේ පෝලියෝ රෝගීන් අතලොස්සක් පමණක් බවයි.

ඔහු ඒ බව සඳහන් කළේ සෞඛ්‍ය බලධාරීන් විසින් පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය යන දෙරට තුළ දැවැන්ත මට්ටමේ ප්‍රතිශක්තිකරණ වැඩසටහනක් දියත් කරනු ලැබීමත් සමගයි.

පෝලියෝ රෝගය තුරන් කිරීමට නොහැකිව සිටින ලෝකයේ එකම රටවල් දෙක පාකිස්තානය සහ අසල්වැසි ඇෆ්ගනිස්තානයයි.

ඉදිරි තෙදින තුළ දරුවන් දසලක්ෂ ගණනකට පෝලියෝ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම බලධාරීන්ගේ බලාපොරොත්තුවයි.

කෙසේ නමුත් ඇතැම් ප්‍රදේශවල පවතින ආරක්‍ෂිත තත්වය ප්‍රතිශක්තිකරණ ව්‍යාපාරයට අභියෝගයක්ව පවතින අතර ඇතැම් සෞඛ්‍ය සේවකයන්ට පොලිස් ආරක්ෂාව ලබා දී තිබේ.

පාකිස්තානයේ පෝලියෝ මර්දන වැඩසටහන් හා සම්බන්ධ සෞඛ්‍ය සේවකයෝ නිරන්තරයෙන් ඉස්ලාමීය කැරලිකරුවන්ගේ මාරක ප්‍රහාරවලට ගොදුරු වෙති.

බටහිර රටවල් පෝලියෝ එන්නත් ලබා දීම මගින් පාකිස්තාන් දරුවන් වඳ භාවයට පත් කිරීමට කටයුතු කරන බවට ඉස්ලාමීය කැරලිකරුවෝ චෝදනා කරති.