ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කැන්ගරු පැටවා පැහැරගත් රාජාලියන් සමඟ සටන් කළ 'පියා'
රාජාලියන් සමඟ සටන් කර තමා හදා වඩාගත් කැන්ගරු පැටවකුගේ ජීවිතය බේරා ගැනීමට ඕස්ට්‍රේලියාවේ පොලිස් නිලධාරියෙක් සමත් වී තිබේ.
පසුගිය මාර්තු මාසයේ ට්‍රක් රථයකට හසු වී මව මියගොස් සිටි කැන්ගරු පැටවා දුටු ස්කොට් මේසන් නම් එම නිලධාරියා පැටවා නිවසට රැගෙන ගොස් හදා වඩා ගත්තේ පැටවාට 'කුවෙජෝ' නමින් නම් තබමින්.
ඉන් අනතුරුව එම පැටවා යළිත් වරක් අප්‍රේල් 27 වැනි දින යාන්තමින් මරණයෙන් බේරුණි. ඒ සිය ස්වාමියා සේවය කරන පොලිස් ස්ථානයේදී රාජාලියකු විසින් ඩැහැගැනීම හේතුවෙන්.
මීටර දෙකක් උසැති වැටකින් සිය කැන්ගරු පැටවා උස්සාගෙන රාජාලියා පියඹා ගිය බවයි පැටවාගේ හදාගත් 'පියා' ස්කොට් මේසන් පවසන්නේ.
කැන්ගරු පැටවා රැගෙන පියඹා ගිය රාජාලියා, ටික දුරක් පියඹා ඇද වැටුණු බවත්, තමන් රාජාලියා පසුපස ලුහුබැඳ ගිය බවත් ඔහු ඕස්ට්‍රේලියානු ගුවන් විදුලි සේවයට පැවසීය.
ඒ අතරවාරයේ එය දුටු දෙවැනි රාජාලියකුද පැටවා පැහැර ගැනීමට පියඹා ආ නමුත් ස්කොට් මේසන් ඔවුන් බියපත් කර පලවා හරින අතරවාරයේ එතනින් පලායාමට කුවෙජෝ සමත්විය.
"මීටර සිය ගාණක් එහාට දුවල ගිහින් හිටපු කුවෙජෝ ටික වෙලාවකින් මම හොයාගත්ත. එයා හොඳටම ලේ ගලමින් හිටියේ," ඔහු පැවසීය.
රාජාලියන්ගේ ප්‍රහාරයේ ප්‍රතිඵලයක් වශයෙන් කුවෙජෝගේ පපුවට සහ මුහුණට තුවාල සිදු වූ අතර, ඔහුගේ ලොම්ද හැලී තිබුණි.
කියු පොලිස් ඒකකයේ ට්විටර් ගිණුමේ 'ජනප්‍රියම තරුව' බවට පත්ව සිටින කුවෙජෝ ඇතැම් අවස්ථාවල සිය 'පියා' ස්කොට් මේසන් සමඟ පොලිස් ස්ථානයේද සැරිසරයි.