සිම්බාබ්වේ ඩොලර් අච්චු ගසයි

රටේ පවතින දරුණු මුදල් හිඟයට මුහුණ දීමට සිම්බාබ්වේ රජය ඉතා දැඩි තීරණ ගනිමින් සිටියි.

එක් දිනක දී බැංකුවකින් ආපසු ගතහැකි වැඩිම මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් දහස දක්වා සීමා කර තිබෙන අතර ආනයනය කළ හැක්කේ අත්‍යවශ්‍ය ආහාර සහ ඉන්ධන වැනි දේ පමණක් බවට නීති පනවා ඇති බවයි වාර්තා වන්නේ.

එසේම සිම්බාබ්වේ රාජ්‍යයටම පමණක් සුවිශේෂ වූ 'බොන්ඩ් නෝට්ස්' නමින් හැඳින්වෙන ඇමරිකානු ඩොලර් විශේෂයක් මුද්‍රණය කිරීමට ද තීරණය කර තිබේ.

2009 වසරේ දී දැඩි උද්ධමනයකින් රට පීඩා විඳිද්දී තම රටට ආවේනික මුදල් වර්ගය අත් හැර දැමු සිම්බාබ්වේ රාජ්‍යය ඇමරිකානු ඩොලර් සහ දකුණු අප්‍රිකානු රෑන්ඩ් ඇතුළු විදේශ මුදල් ඒකක භාවිතය ආරම්භ කළේය.

සිම්බාබ්වේ මහ බැංකුවේ අධිපතිවරයා පැවසුවේ නියඟය සහ අපනයන අදායම් හීන වීමෙන් මෙම මුදල් හිඟය ඇතිවූ බවයි.