ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රානා ප්ලාසා විපතට පත්වූවෝ යුක්තිය ඉල්ලා උද්ඝෝෂණයක
බංග්ලාදේශයේ රානා ප්ලාසා ඇඟලුම් කම්හල් ගොඩනැගිල්ල කඩා වැටීම නිසා විපතට පත්වූවන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිය ගණනක් ජනතාව එක්වී උද්ඝෝෂණයක් දියත් කළෝය.
කම්හල් ගොඩනැගිල්ල කඩා වැටී තුන් වසරක් පිරෙද්දී මෙම උද්ඝෝෂණය පැවැත්වුණේ ඩකා නුවරට නුදුරින් රානා ප්ලාසා කම්හල පිහිටි භූමිය ඉදිරිපිටයි.
මෙම අනතුර නිසා එක්දහස් එකසියයකට අධික පිරිසක් මරණයට පත් විය.
තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව දෙදහස ඉක්මවා තිබුණි.
මෙම ඛේදවාචකයට ගොදුරු වූ අය වෙනුවෙන් නිසි වන්දි ගෙවා යුක්තිය ඉටු කරන මෙන් ඉල්ලා වීදි බැස සිටියේ විපතට පත්වූවන්ගේ ඥාතීන් සහ කම්කරු ක්‍රියාධරයන්.
රානා ප්ලාසා ඇඟලුම් කම්හලේ අයිතිකරු සොහෙල් රානා ඇතුළු තවත් වගකිය යුතු නිලධාරීන් පිරිසකට මිනී මැරීමේ චෝදනා ගොනු කර ඇත.
විපතට ගොදුරු වී තුවාල ලැබුවන්ගෙන් සියයට 15ක් පමණ දෙනා තවමත් බරපතළ ශාරීරික ආබාධ වලින් පෙළෙන බවයි සමීක්ෂණ වාර්තාවක් සඳහන් කරන්නේ.
ඇක්ෂන් ඒඩ් (ActionAid) පුණ්‍යායතනය නිකුත් කර ඇති මෙම වාර්තාවේ තව දුරටත් සඳහන් වන්නේ තුවාල ලැබුවන්ගෙන් අඩක් තවමත් රැකියා විරහිතව සිටින බවයි.