කාබුල් ප්‍රහාරය: විසි අටදෙනකු ජීවිතක්ෂයට

විශාල පිරිසක් ඝාතනය කරමින් සිය ගණනකට දැඩි තුවාල සිදු කළ මාරාන්තික බෝම්බ ප්‍රහාරයෙන් සහ වෙඩි ප්‍රහාර මාලාවෙන් මේ වන විටත් කාබුල් නුවර පවතින්නේ නොසන්සුන් තත්වයකයි.

කාබුල් නුවරට එල්ල කෙරුණු මරාගෙන මැරෙන ප්‍රහාරයේ බෝම්බ කරු තමන් ගමන් ගත් මෝටර් රථය පුපුරුවාගත් බවයි ඇෆ්ගනිස්තාන බලධාරීන් ප්‍රකාශ කළේ.

ඒත් සමගම තුවක්කුකරුවන් විසින් වෙඩි ප්‍රහාර එල්ල කිරීමට පටන් ගෙන ඇති නමුත් මේ වන විට වෙඩි තැබීම් නවත්වා ප්‍රදේශයේ ආරක්ෂාව නැවතත් තහවුරු කිරීමට ආරක්ෂක හමුදා සමත් වූ බවයි පැවසෙන්නේ.

ප්‍රහාරයේ වගකීම භාර ගනිමින් තාලිබාන් සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශකයෙකු නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉතා විශාල පරිමාණයේ ප්‍රහාර එල්ල කරන බවට තාලිබාන් සංවිධානය විසින් අනතුරු ඇඟවීමක් නිකුත් කර සතියකට පසුවයි මෙම ප්‍රහාරය එල්ල කෙරුණේ.

ඇෆ්ගනිස්තානයේ ආරක්ෂක අමාත්‍යංශය, ආරක්ෂක අංශයේ කාර්යාල, පාසල්, පල්ලි සහ ඒක ළඟ පිහිටි නිවෙස් රාශියක් පිහිටා තිබෙන කාබුල් නුවර ඉතා කාර්යබහුල ප්‍රදේශයකයි අද උදෑසන මෙම මාරාන්තික බෝම්බය පුපුරා ගියේ.

ප්‍රහාරයෙන් මියගිය පිරිස අතර සොල්දාදුවන් කිහිප දෙනෙකුද සිටින බව පැවසූ බීබීසි ඇෆ්ගනිස්තාන අංශයේ වාර්තාකරුවෙක් කියා සිටියේ ඝාතනය වූ වැඩි පිරිසක් සාමාන්‍ය වැසියන් බවයි.

පිපිරීමෙන් කිලෝමීටර එකක් පමණ දුරින් තිබූ ගොඩනැගිලි වල පවා වීදුරු කඩා වැටී තිබේ.

තමන් සිය ජීවිතයේ මෙතරම් භයානක විශාල පිපිරීම් හඬක් අසා නැති බවත් ඒ ඇතිවූ කම්පනයෙන් පිපිරීමෙන් පසු මිනිත්තු පහළොවක් යන තුරු කිසි ශබ්දයක් ඇසීමට හෝ කිසිවක් දැකීමට නොහැකි තත්වයකට පත් වූ බවත් පිපිරීමෙන් දිවි ගලවාගත් පොලිස් නිලධාරියෙකු Ap පුවත් සේවයට සිය අත්දැකීම් වාර්තා කර තිබුණි.

මේ අතරම නිල නොවන වාර්තා පවසන්නේ දරුණු බෝම්බ ප්‍රහාරය සහ වෙඩි තැබීම් වලට අමතරව ඇෆ්ගනිස්ථානයේ ඉතා ඉහළ ශ්‍රේණි වල හමුදා බලධාරීන්ට ආරක්ෂාව සපයන එරට ප්‍රධාන ඔත්තු සේවා අධ්‍යක්ෂක මණ්ඩලයේ රහස්‍ය තොරතුරු ඒකකයට ඇතුළු වීමට ප්‍රහාරකයන් සමත් වී ඇති බවයි.

පිපිරෙමෙන් මීටර කිහිපයක් ඈතින් පිහිටා තිබෙන ඇෆ්ගනිස්තාන ජනාධිපති මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් ඉතා දැඩි ලෙස මෙම ප්‍රහාරය හෙලා දැක ඇත.

ප්‍රහාරයෙන් දිවි බේරා ගැනීමට හැකි වූ බොහොමයක් සාමාන්‍ය වැසියන් තුවාල ලබා මේ වන විට රෝහල්ගත කොට සිටියි.

මෙවැනි ඉතා බියගුළු ත්‍රස්තවාදී ප්‍රහාර මගින් ඇෆ්ගනිස්තාන රජයේ හමුදා සහ ආරක්ෂක අංශ වල ත්‍රස්ත විරෝධී සටන් සහ මෙහෙයුම් නැවැත්විය නොහැකි බවයි ජනාධිපති කාර්යාල නිවේදනයේ සඳහන් වුනේ.

2014 වසරේ නේටෝ හමුදා සහ ඇමරිකානු භට කණ්ඩායම් බොහොමයක් ඇෆ්ගනිස්තානයෙන් ඉවත් වීම සහ විදෙස් රටවල සිට කැරලිකරුවන් සංවිධානයේ ඉහල නිල තල වලට පැමිණ සටන් කිරීම වැනි කරුණු හේතුවෙන් මේ වන විට තාලිබාන් සංවිධානය නැවතත් ශක්තිමත් වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.