පුන්ගුඩුතීවූ දූෂකයන්ට එරෙහිව අදත් හර්තාල්

ඡායාරූප මූලාශ්‍රය, bbc
වවුනියාව නගරය සහ අවට ප්‍රදේශවල අද(21) ක්‍රියාත්මක කෙරුණ හර්තාලයක් නිසා ජන ජීවිතය බෙහෙවින් අඩාල විය.
වවුනියාවේ අද උද්ඝෝෂණ ව්‍යාපාරය දියත් කෙරුනේ යාපනයේ පුන්ගුඩුතීවු පළාතේ විද්‍යා සිවයෝගනාදන් පාසල් දැරිය දූෂණය කොට මරා දැමූ සැකකරුවන්ට ඇප ලබා නොදෙන ලෙසත්,ඔවුන්ට මරණීය දණ්ඩනය නියම කිරීමට පියවර ගන්නා ලෙසත් ඉල්ලා සිටිමිනි.
එම විරෝධතා ව්‍යාපාරයත් සමඟ ප්‍රදේශයේ සියලු වෙළෙඳසැල් වසා දමා තිබුණ අතර ගමනාගමන කටයුතු වලට ද එය බල පා තිබුණි.

ඡායාරූප මූලාශ්‍රය, bbc
පාසල් සහ කාර්යාලවලට පැමිණ සිටියේ ඉතා සුලු පිරිසකි.
සිසුන්ගේ ගමනාගමන පහසුකම් ප්‍රමාණවත් නොවූයෙන් ඇතැම් පාසල් නියමිත වේලාවට පෙර අවසන් කිරීමට විදුහල්පතිවරුන් පියවර ගෙන තිබුණි.
මේ අතර වවුනියාවේ රජයේ සේවකයෝ කාර්යාලවලින් පිටතට පැමිණ පැය දෙක තුන බැගින් උද්ඝෝෂණවල නිරත වූහ.
වවුනියාවේ ඇතැම් ප්‍රදේශවල විරෝධතාවාදීහු ටයර් පුලුස්සමින් සිය විරෝධය පළ කරමින් සිටියදී පොලීසිය ඔවුන්ට අසභ්‍ය ලෙස බැණ වදිමින් පළවා හරින ලද බවට ද වාර්තා ලැබෙයි.
වවුනියාවේ පොලිස් ආරක්ෂාව දැඩි කිරීමට අවශ්‍ය ප්‍රමාණවත් නිලධාරීන් පිරිසක් නොමැතිකම නිසා මුලතිව්, කිලිනොච්චි යන පළාත් වලින් ද අමතර බල ඇණි වවුනියාවට කැඳවා තිබුණි.
ආන්ඩුකරුගේ ප්‍රතිචාරය

උතුරු පළාතේ පැතිර යමින් පවතින මහජන විරෝධතා ව්‍යාපාර සම්බන්ධයෙන් බීබීසී සංදේශය කළ විමසීමකදී ආණ්ඩුකාර එච්.එම්.ජී.එස්.පලිහක්කාර කියා සිටියේ පොලිසියේ මැදිහත් වීමෙන් සහ ප්‍රදේශයේ මහජන සංවිධානවල පුරෝගාමීන්ගේ සහයෝගය ඇතිව තත්වය සාමාන්‍ය අතට ගෙන ඒමට සමත් වූ බවයි.
පාසල් ශිෂ්‍යාවට අත් වූ ඉරණම පිළිබඳව මහජන කෝපය පළවීම ස්වාභාවික යයි සඳහන් කළ ආන්ඩුකරු කෙසේ වුවද ප්‍රචණ්ඩ ලෙස හැසිරුණ සීයකට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන සිටින බවත් කියා සිටියේය.
මෙම කාරණයේ දී නීතිය සහ සාමය භාර අංශ කටයුතු කළ ආකාරය යාපනයේ පළ කෙරෙන මාධ්‍ය මගින් අගය කරනු ලැබ ඇති බවත් ආණ්ඩුකාර එච්.එම්.ජී.එස්.පලිහක්කාර සඳහන් කළේය.








