දෙමළ ජාතික සන්ධානයත් වැට උඩ

- Author, දිනසේන රතුගමගේ
- Role, වවුනියාවේ සිට
ශ්‍රී ලංකාවේ වෙසෙන දෙමළ වැසියන්ගේ ප්‍රශ්න වලට සාධනීය විසදුමක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් දෙදෙනාගෙන් ම මෙතෙක් ප්‍රකාශ නො වීම නිසා දෙමළ ජාතික සන්ධානයත්, ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයත් සහාය පළ කරන්නේ කා හට දැයි යන්න ස්ථිරව ම තීරණය කොට නැතැයි දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් 6 වෙනි දා දහවල් වවුනියාවේ දී පැවසීය.
මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ මධ්‍යම කාරක සභා රැස්වීම 06 වෙනිදා දහවල් වවුනියාවේ ස්වර්කා හෝටලයේ දී පවැත්වීමෙන් අනතුරුව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දීය.
ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ ලේකම් වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන් ඇතුළුව උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරණ ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ සියලු ම නියෝජිතයින් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.
තවදුරටත් අදහස් දැක්වූ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයා කියා සිටියේ දෙමළ වැසියන් මුහුණ පා සිටින, යුද අනාථයින් යළි පදිංචි කොට අවසන් නොවීම, ඉඩම් ප්‍රශ්නය නොවිසදීම, ජිනීවා මානව හිමිකම් සමුලුවේ දී දෙමළ ජනයාට සිදු වූ අසාධාරණකම් පිළිබදව සාකච්ඡා නොකිරීම යන හේතූන් මත මේ අවස්ථාවේ දී දෙමළ ජාතික සන්ධානයට ද කවර අපේක්ෂකයාට සහාය දෙන්නේ ද යන්න තීරණය කිරීමට නොහැකිව සිටින බවයි.
කෙසේ වෙතත් අපේක්ෂකයින් දෙදෙනා ඉදිරියේ දී කරණු ලබන ප්‍රකාශයන් දෙස දැඩි අවධානයෙන් බලා සිට දෙමළ ජාතික සන්ධානය ද සමග එක්වී අවසන් තීරණයක් ගන්නා බව ද සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.




