මෛත්‍රීපාල ජනපති ක්‍රමය අහෝසි කරාවි - ටීඑන්ඒ

'එයා කිවුව දවස් 100 ඇතුලේ ඒක කරනවා කියල. එයා මේක කරන් නැතුව අරී කියල මම හිතන්නේ නෑ'
ඡායාරූප ශීර්ෂ වැකිය, 'එයා කිවුව දවස් 100 ඇතුලේ ඒක කරනවා කියල. එයා මේක කරන් නැතුව අරී කියල මම හිතන්නේ නෑ'

පොදු අපේක්ෂකයා ලෙස තෝරා ගෙන සිටින මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රීවරයා බලයට පත්වුවහොත් විධායක ජනාධිපතිධුරය අහෝසි කරනු ඇති බවට දෙමළ ජාතික සන්ධානය විශ්වාසය පළ කරයි.

පක්ෂය රැස්ව මෙතෙක් තීරණයක් ගෙන නැති නමුත් පොදු අපේක්ෂකයා ලෙසින් ඉදිරිපත් වන හිටපු අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන ට සහයෝගය පළ කරන්නේද යන්න පිළිබඳව ඉතා ඉක්මනින් තීරණයක් ගන්නා බවද දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා බීබීසී සංදේශය කළ විමසීමකදී කියා සිටියේය.

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රීවරයා රූපවාහිනිය ඔස්සේ දැක්වූ අදහස් සාධනීය යැයි තමන්ට ඒත්තු ගිය බව පැවසූ සම්බන්ධන් මන්ත්‍රීවරයා දේශපාලන කාර්යභාරය පිළිබඳව පළ කළ අදහස් සම්බන්ධයෙන් පැහැදීමක් ඇති වූ බව වැඩිදුරටත් සඳහන් කළේය.

මුස්ලිම් කොන්ග්‍රසය

මේ අතර බීබීසී දෙමළ සේවය කළ විමසීමකදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ මහලේකම් හසන් අලි, එළඹෙන ජනාධිපතිවරණයේදී සහාය දෙන්නේ කුමන අපේක්ෂකයාටද යන්න සම්බන්ධයෙන් පක්ෂය තවමත් තීන්දුවක් ගෙන නැති බව සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව සහ පොදු විපක්ෂය දෙපාර්ශවයම සමඟ සාකච්ඡා පවත්වන බවද මුස්ලිම් කොන්ග්‍රසයේ මහලේකම්වරයා සඳහන් කළේය.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට මෛත්‍රීපාල සිරිසේන හිටපු අමාත්‍යවරයා දුන් ප්‍රතිඥාව අගය කරන නමුත්, සුළු ජාතීන්ගේ ප්‍රශ්න සම්බන්ධයෙන් ඔහු දක්වන ස්ථාවරය කවරක්ද යන්න දැනගැනීම තමන්ට වඩා වැදගත් වන බවත් හසන් අලි කියා සිටියේය.