'ශ්‍රී ලංකාව සමලිංගික අයිතීන් පිළිගැනීම වැදගත්'

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සමලිංගිකයන්ගේ අයිතිවාසිකම්ද තහවුරු වී ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව හමුවේ ශ්‍රී ලංකාව විසින් පිළිගැනීම ඓතිහාසික පියවරක් බව සමලිංගිකයන් වෙනුවෙන් පෙනී සිටින සම බිම සංවිධානය පවසයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සමුළුවට සහභාගී වූ නිලධාරීන් දැක්වූ ප්‍රතිචාරය සුවිශේෂී එකක් බව එම සංවිධානයේ ප්‍රකාශකයෙක් සංදේශයට කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති අංක දොළහ අනූ අංක එක යටතේ සියලුම ලිංගික අනන්‍යතාවයන් දරන පුද්ගලයන් සමාන කොට සලකන බවට පැහැදිලිවම සඳහන් වන බව ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව හමුවේ අදහස් දක්වමින් ශ්‍රී ලංකා ආණ්ඩුව සඳහන් කොට තිබේ.

එම වගන්තියේ අනු අංක දෙක යටතේ සිය ලිංගික අනන්‍යතාවය මත යම් අයෙකු වෙනස් කොට සලකන්නේ නම් හෝ පීඩාවට ලක් කරන්නේ නම් එය ව්‍යවස්ථාවට පටහැණි බවද නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරිනිය සඳහන් කොට තිබේ.

සමුළුවේදී ශ්‍රී ලංකා බලධාරීන් විසින් ඉදිරිපත් කළ ප්‍රතිචාරය ශ්‍රී ලංකාව තුල සම ලිංගික අයිතිවාසිකම් සුරැකීම සම්බන්ධයෙන් සිදු වූ වැදගත් සිදුවීමක් බව සම බිම සංවිධානයේ ප්‍රකාශකයා සංදේශයට පැවසීය.