අලුත්ගම: සිංහල සහෝදරයන් 'සමාව ඉල්ලුවා'
අලුත්ගම, බේරුවල සහ දර්ගා නගරයේ හටගත් ගැටුම්වලින් අනතුරුව දර්ගා නගරයේ ඇතැම් සිංහල වැසියන් මුස්ලිම් වැසියන් හමු වී සිදු වූ දේ පිළිබඳව සමාව ඉල්ලා සිටි බව මුස්ලිම් ප්‍රජා නායකයෝ පවසති.
ගැටුම්වලට සම්බන්ධ වූයේ ප්‍රදේශවාසීන් අතරින් ඉතාමත් සුළු පිරිසක් පමණක් බව සංදේශයට කියා සිටි දර්ගා නගරයේ අධිකාරිගොඩ ජුම්මා මුස්ලිම් පල්ලියේ භාරකරු අබ්දුල් කෆූර් මොහමඩ් හිෆාල්, ඒ පිළිබඳව ලජ්ජා වන බව ඒ සුළු පිරිස පවා පසුව කියා සිටි බවත් පැවසීය.

"සමහර සිංහල සහෝදරයෝ ඇවිල්ල දුක් කඳුළු හලලා ගියා. සමහර ඇය සමාව ඉල්ලුවා. ඒ වගේ දුක් වෙච්ච හුඟාක් සිංහල සහෝදරයෝ ඉන්නවා අපි අතර," යනුවෙන්ද ඔහු සඳහන් කළේය.
කටකතාවලට රැවටී ගැටුම්වලට යොමුවුණ බව ඇතැමුන් පිළිගත් අතර, සිදු වූ දේ අමතක කොට සාමකාමීව සහජීවනයෙන් කල් ගෙවීමට ප්‍රදේශයේ මුස්ලිම් සහ සිංහල ජනතාව දැන් අදිටන් කරගෙන සිටින බවද අධිකාරිගොඩ ජුම්මා මුස්ලිම් පල්ලියේ භාරකරු කියා සිටියේය.
ගැටුමේදී දේපොළවලට වැඩියෙන්ම හානි වූයේ දර්ගා නගරයේ බව පවසන අබ්දුල් කෆූර් මොහමඩ් හිෆාල්, ගිනි තබා විනාශ කෙරුණු නිවාස 14 කින් තුනක් හැරුණු කොට අනෙක් නිවාස එකොළහේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරක්ෂක හමුදාව විසින් බොහෝ බොහෝ දුරට අවසන් කොට ඇති බවද සංදේශයට පැවසීය.

ඇතැම් සංවිධාන සහ පුද්ගලයන් දේපොළ විනාශ වූ පිරිසට ආධාර කොට තිබෙන නමුත්, සිදුවු හානිය වෙනුවෙන් මේ වනතුරු ආණ්ඩුවෙන් වන්දි ලැබී නැති බවයි ඔහු පවසන්නේ.