‘දෙමළ සැකකරුවන් තිදෙනාගේ ආරක්ෂාව සහතික කරන්න’ - මානව හිමිකම් සංවිධාන

ඡායාරූප මූලාශ්‍රය, hrw
දෙමළ කොටි සංවිධානයේ සාමාජිකයන් යයි සැක කරමින් මැලේසියාවේදී අත්අඩංගුවට ගනු ලැබුණ පුද්ගලයන් තිදෙනෙක් ශ්‍රී ලංකාවට භාර දෙනු ලැබීම අනාථයන් සඳහා වන එක්සත් ජාතීන්ගේ ආයතනය (UNCHR) සහ නිව්යෝර්ක් නගරය මූලස්ථානය කර ගත් ‘හියුමන් රයිට්ස් වොච්’සංවිධානය (HRW) විසින් හෙලා දකිනු ලැබ ඇත.
කොටි සංවිධානය සමඟ සම්බන්ධතා පවත්වන බවට සැක පිට පසුගිය මැයි පහළොස් වෙනි දින අත්අඩංගුවට ගන්නා ලද තිදෙනා මැලේසියානු බලධාරීන් විසින් සඳුදා ශ්‍රී ලංකාවට භාර දෙනු ලැබුණි.
සැකකරුවන් තිදෙනා පිළිවෙලින් සංගලින්ගරාජා නොහොත් මුල්ලිචෙල්වන්, මහාදේවන් තිරුබාකරන් සහ සෙල්වතුරෙයි පිරුබානන්දන් යනුවෙන් හඳුනා ගෙන ඇත.
ඔවුන් තිදෙනා මැලේසියානු පොලිසිය විසින් තමන්ට භාර දුන් බව ශ්‍රී ලංකා පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී අජිත් රෝහණ විසින් තහවුරු කරනු ලැබ ඇත.
අනාථයන් සඳහා වන එක්සත් ජාතීන්ගේ ආයතනය කියා සිටින්නේ, සිය සංවිධානයේ ලියාපදිංචි වී සිටි ඉහත කී තිදෙනා මුණ ගැසීමට තමන්ට අවස්ථාවක් නොදී ඔවුන් පිටුවහල් කරනු ලැබීම අතිශය කනගාටුවට කරුණක් වන බවයි.
අයිතිය නොතකා හැරීම

ඡායාරූප මූලාශ්‍රය, HRW
අනාථයන් සඳහා වන එක්සත් ජාතීන්ගේ ආයතනයේ (UNCHR) මැලේසියාවේ ප්‍රකාශිකා යන්ටි ඉස්මයිල් බීබීසියට අදහස් දක්වමින් කියා සිටියේ, ‘අනාථයන් වූ ශ්‍රී ලාංකිකයන් තිදෙනාට කොමිසම හමුවීමට ඇති අයිතිය පවා නොතකා හරිණු ලැබුණ’ බවයි.
මේ අතර නිවේදනයක් නිකුත් කරන ‘හියුමන් රයිට්ස් වොච්’ (HRW) මානව හිමිකම් ආයතනය සැකකරුවන් තිදෙනාගේ ආරක්ෂාව සහතික කරන මෙන් ශ්‍රී ලංකාවේ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනු ලැබ ඇත.
මැලේසියාව විසින් පිටුවහල් කරන ලද තිදෙනා ශ්‍රී ලංකාවේ දී වධ හිංසාවන්ට ගොදුරු කිරීමේ අන්තරායක් පවතින බවයි ‘හියුමන් රයිට්ස් වොච්’ සංවිධානය කියා සිටින්නේ.
බැඳුම් කඩ කිරීම
“ පුද්ගලයන් හිංසනයට වධ බන්ධන ආදියට ගොදුරු වීමට ඇති ඉඩකඩ වළක්වා ලමින් ඔවුන්ට ආරක්ෂාව සැලසීම සඳහා තමන්ට පැවරෙන බැඳීම සහ වගකීම නොව ශ්‍රී ලංකාව සමඟ සම්බන්ධතා ඔපවත් කර ගැනීමට මැලේසියාවේ බලධාරීන් ක්‍රියා කර ඇති බවයි ‘හියුමන් රයිට්ස් වොච්’ සංවිධානයේ ආසියානු අධ්‍යක්‍ෂ ෆිල් රොබර්ට්සන් විසින් නිකුත් කරනු ලැබ ඇති නිවේදනයක දැක්වෙන්නේ.
අනාථයන් සඳහා වන එක්සත් ජාතීන්ගේ ආයතනයට අනුව ශ්‍රී ලාංකික අනාථයන් හාර දහසක් වත් මැලේසියාවේ ජීවත් වෙති.
පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී අජිත් රෝහණ මාධ්‍යය අමතමින් කියා සිටියේ මැලේසියාව ශ්‍රී ලංකාවට භාරදුන් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කෙරෙමින් ඇති බවයි.








