භාර වූ කොටි සාමාජිකයන් ඉල්ලා පෙත්සම් දා හතරක්

යුද්ධයේ අවසන් අදියරේදී කිසිවකු රඳවා ගැනීමක් හෝ තම භාරයට ගැනීමක් හෝ සිදු නො කළ බව ශ්‍රී ලංකා යුධ හමුදාව අධිකරණයට දැනුම් දී තිබේ.
හමුදාවට භාර වූ කොටි කැරලිකරුවන් සොයා දෙන ලෙස ඉල්ලා ඔවුන්ගේ භාර්යාවන් විසින් පෙත්සම් දා හතරක් වව්නියා මහාධිකරණයට ඉදිරිපත් කර ඇත.
ඉන් පෙත්සම් පහක් වව්නියාව අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදීයි රජයේ නීතීඥ වරයා අධිකරණයට ඉහත කී දැනුම් දීම සිදු කළේ.

කතෝලික පුජකවරයෙක් ඉදිරියේ තම ස්වාමිපුරුෂයන් හමුදාවට භාර දුන් බවයි කොටි සංවිධානයේ ත්‍රිකුණාමල දේශපාලන අංශයේ නායකයාව සිටි එස්. එලිලන් ගේ බිරිඳ ආනන්දී සශීදරන් ප්‍රකාශ කලේ.
අවසන් යුද ගැටුම් සමයේ මුලතිව් පළාතට කොටු වී සිටි දහස් ගණනක පිරිසක්ද කොටි කැරලිකරුවන්ගේ භාරවීම දුටු බවයි ඇය තව දුරටත් කියා සිටියේ.
මෙම පෙත්සම් ඉක්මණින් විභාගයට ගන්නා ලෙස තමන් අධිකරණයෙන් ඉල්ලා සිටි බව පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ප්‍රකාශ කරයි.




