‘සමස්ත යුද සමය විභාග කිරීම වැදගත්’ - ඇඑජ

මිෂෙල් ජේ සිසෝන් සහ යුද අපරාධ භාර ඇමෙරිකානු තානාපති ස්ටීවන් ජේ රැප්

ඡායාරූප මූලාශ්‍රය, US Embassy Colombo

ඡායාරූප ශීර්ෂ වැකිය, මිෂෙල් ජේ සිසෝන් සහ යුද අපරාධ භාර ඇමෙරිකානු තානාපති ස්ටීවන් ජේ රැප්

ශ්‍රි ලංකාවේ සමස්ත සිවිල් යුද සමයෙහි ඊට මැදිහත් සියලු පාර්ශවයන් විසින් සිදු කර ඇති සියලු කාර්යයන් සම්බන්ධයෙන් විශ්වසනීය එසේම ස්වාධීන පරීක්ෂණයක් පවත්වනු ලැබීම රටේ යහපතට හේතු වෙන බව ඇමෙරිකා එක්සත් ජනපදය පවසයි.

එම අදහස ප්‍රකාශයට පත් කෙරුණේ බ්‍රහස්පතින්දා කොළඹ දී පැවැත්වුන විදේශීය ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනයේ දී.

ශ්‍රී ලංකාවේ සිටින ඇමෙරිකානු තානාපතිනි මිෂෙල් ජේ.සිසෝන් එම සමුළුවේදී අදහස් දක්වමින් ජිනීවා හිදී අනුමැතිය ලද පරීක්ෂණය 2002 පටන් 2009 වසර අතර කාල පරාසයට සීමා වීම සම්බන්ධයෙන් බොහෝ දෙනා ප්‍රශ්න මතු කර ඇති බවයි සඳහන් කළේ.

ජාත්‍යන්තර ප්‍රජාව අවධානය යොමු කරනුයේ ඉහත කාල සීමාව කෙරෙහි පමණක් නොවන බව සඳහන් කළ තානාපතිවරිය, අර්බුදයට අදාළ සමස්ත කාල පරිච්ඡේදය ආවරණය කෙරෙන විභාගයක් ශ්‍රී ලංකාවට යහපත් වන බව පෙන්වා දුන්නාය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ ශ්‍රී ලංකාවේ ජනතාව අතර දිගු කාලීන මිත්‍රත්වය මෙන් ම පුළුල් පරිමාණයේ ක්‍රියාකාරකම් දහරාව සහ දෙරටේ ආවේණික සම්බන්ධතා කිසිදු අකාරයකින් වෙනස් වී නොමැති බවයි තානාපතිනිය කියා සිටියේ.

දේශීය පරීක්ෂණයකට ඉඩකඩ

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ජිනීවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කරනු ලැබ සම්මත කර ගත් යෝජනාව ශ්‍රී ලංකා රජය අසීරු තත්වයකට පත් කරනු ලැබීමේ පියවරක් නොවන බව කියා සිටි තානාපතිනි මිෂෙල් ජේ.සිසෝන්, ජනතාව කෙරෙහි ඇති ස්වකීය බැඳීම සම්පූර්ණ කිරීමට සහ වග වීම සම්බන්ධයෙන් අර්ථවත් එසේම ශක්තිමත් පියවර ගැනීමට සිය රට ශ්‍රී ලංකා රජය උනන්දු කරවන බවයි සඳහන් කළේ.

ඡායාරූප මූලාශ්‍රය, US Embassy SL

“ජිනීවා යෝජනාව නිසා ශ්‍රී ලංකාව දෙකඩ වෙන බවට අදහස් පැතිරෙමින් පවතින බවක් මට දැන ගන්නට ලැබුණා.එක්සත් ජාතීන්ගේ යෝජනාව සම්මත වීමට බොහෝ කාලයකට පෙර සිට එවැනි බෙදීමක් තිබීම කනගාටුවට කාරණයක්.ජිනීවා යෝජනාවෙන් ශ්‍රී ලංකාවේ එක්සත්කම සහ භෞමික අඛණ්ඩතාවට ඇති කැපවීම නැවත තහවුරු වූ බව පෙන්වා දෙන්න පුළුවන්.ජිනීවා යෝජනාවෙන් ඉල්ලා ඇති ජාත්‍යන්තර පරීක්ෂණය මගින් අව්‍යාජ පිළිගත හැකි දේශීය පරීක්ෂණයකට ඇති ඉඩකඩ කෙරෙහි කිසිම ආකාරයකින් බාධා කෙරෙන්නේ නැහැ” මිෂෙල් ජේ.සිසෝන් මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළාය.

මානව හිමිකම් කොමිසමේ පරීක්ෂණය මගින් උගත් පාඩම් සහ සංහිඳියා කොමිසමේ නිර්දේශ ක්‍රියාවට නැංවීම සඳහා ශ්‍රී ලංකාවට ‘සහයෝගය දිය හැකි බව සහ දිය යුතු’ බවත් ඇය කියා සිටියාය.

බලය බෙදීම

ශ්‍රී ලංකාව තුළ ජීවත් වෙන සියලු ජන කොටස්වලට පූර්ණ මානව හිමිකම් සහතික කරමින් සහ අඛණ්ඩ සංහිඳියාවකට මග හෙළි කරමින් දේශපාලන අධිකාරිය සතු බලය බෙදීමට පියවර ගැනීම ඇතුළු ප්‍රතිඥා ඉටු කරන මෙන් එක්සත් ජනපද යෝජනාව මගින් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කෙරෙන බවයි තානාපතිවරිය සඳහන් කළේ.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සුළු ආගමික කණ්ඩායම්වලට එල්ල කෙරෙන පහර දීම් නතර කිරීමට පියවර ගත යුතුව ඇතැයි කියා සිටි ඇමෙරිකානු තානාපතිවරිය, ගැටුම් පැවති පලාත්වල කාන්තාවන්ට එරෙහි ලිංගික හිරිහැර වර්ධනය වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාවත් අවධාරණය කළාය.

තවදුරටත් කරුණු පැහැදිලි කළ මිෂෙල් ජේ.සිසෝන් ‘රටවැසියන් ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට වගකීමක් නැතැයි’ කිසිවකු නොකියන බවයි සඳහන් කළේ.

“ඉතාම ම්ලේච්ඡ මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සහ මිනිස් ඝාතන ඇතුළුව එල්.ටී.ටී. ඊ සංවිධානයේ ත්‍රස්ත පාලනය නිම කිරීම සඳහා එක්සත් ජනපදය හැම අයුරකින්ම ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට සහ ජනතාවට උදව් දුන් බවත්" තානාපතිනි මිෂෙල් ජේ.සිසෝන් සිහිපත් කළාය.