තවත් ක්‍රියාධරයන් දෙදෙනෙක් 'රැඳවුම් භාරයේ'

ක්‍රියාධරයන් දෙදෙනා 'ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් රඳවා ගෙන'

ඡායාරූප මූලාශ්‍රය, AFP Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ක්‍රියාධරයන් දෙදෙනා 'ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් රඳවා ගෙන'

පොලිස් අත් අඩංගුවේ සිටින මානව හිමිකම් ක්‍රියාකාරිනිය සහ ඇයගේ දියණිය පිළිබඳව විමසා බැලීමට කිලිනොච්චිය බලා ගිය මානව හිමිකම් ක්‍රියාධරයන් දෙදෙනකු පොලිසිය විසින් රඳවා ගනු ලැබ ඇති බව ක්‍රියාධරයෝ පවසති.

තමන්ට ලැබුණු වාර්තා අනුව ඉන්ෆොර්ම් සංවිධානයේ රුකී ප්‍රනාන්දු සහ යාපනයේ සාමය සහ සංහිඳියාව සඳහා වූ මධ්‍යස්ථානයේ ප්‍රවීන් පියතුමා කිලිනොච්චියේදී ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් රඳවාගෙන ඇති බව පෙනී යන්නේ යයි මානව හිමිකම් නීතිවේදී එස් රත්නවේල් බීබීසී දෙමළ සේවයට කියා සිටියේය.

හදිසි නිවේදනයක් නිකුත් කරන ස්විට්සර්ලන්තයේ සිට ක්‍රියාත්මක වන <link type="page"><caption> ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙබ් අඩවිය</caption><url href="http://www.srilankabrief.org/2014/03/sri-lanka-two-hrds-ruki-fernando-and.html" platform="highweb"/></link>, තමන් සහ ප්‍රවීන් පියතුමා කිලිනොච්චි පොලිසියේ රඳවා ගෙන සිටින බව රුකී ප්‍රනාන්දු සිය ජංගම දුරකතනයෙන් දැනුම් දුන් බව පවසයි.

පුතා අතුරුදහන්

ඒ පිළිබඳව වැඩ විස්තර දැන ගැනීම පිණිස පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ ඇමතීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.

අපරාධකරුවෙකුට රැකවරණ ලබා දුන් බවට සැක පිට ජෙයකුමාරි බාලේන්ද්‍රන් සහ ඇයගේ දියණිය පසුගිය සිකුරාදා පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබුණි.

ඇයගේ පුත්‍රයා අතුරුදහන් වී ඇති අතර බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් උතුරේ සංචාරය කරද්දී අතුරුදහන් වීම් වලට එරෙහිව පැවති උද්ඝෝෂණ වලදී ජෙයකුමාරි බාලේන්ද්‍රන් ඉදිරියෙන්ම සිටියාය.

ඇයගේ පුත්‍රයා බලහත්කාරයෙන් කොටි හමුදාවට බඳවා ගෙන ඇති බවත් යුද්ධය අවසානයේදී හමුදාවට භාර වීමෙන් අනතුරුව අතුරුදහන් වී ඇති බවත් වාර්තා වී තිබුණි.