උතුරේ හමුදාව අඩු කරලා - ජනාධිපති

රජයේ සන්නද්ධ සේනාංක උතුරු පලාතෙන් මුළුමනින් ම ඉවත් කළ යුතු බවට දෙමළ ජාතික සන්ධානය ඉල්ලා සිටිය දී ජනාධිපතිවරයා ප්‍රකාශ කොට ඇත්තේ යුද භටයන් සැලකිය යුතු අයුරින් අඩු කොට ඇති බවයි.
මහ ඇමැති සී වී විග්නේස්වරන් ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත ඉරිදා මෙම ඉල්ලීම ඉදිරිපත් කළේ යාපනයේ තෙලිප්පලෙයි පිළිකා රෝහල විවෘත කිරීමේ උත්සව සභාවේ දී.
ශ්‍රී ලංකා රජයේ යුද හමුදා සේනාංක උතුරෙන් ඉවත් කිරීමේ අවශ්‍යතාවට හේතු ලෙස මහ ඇමැති වරයා දක්වා සිටියේ මානව හිමිකම් උල්ලංඝනය වීමත් භට පිරිස් වලට දෙමළ ජනතාවගේ භාෂාව, ඇදහිලි හා සංස්කෘතිය පිළිබඳ නිසි අවබෝධයක් නො තිබීමයි.
රටේ ආරක්ෂාව
ඒ අතරම තමන් වෙත, ‘රටේ ආරක්ෂාව පවත්වා ගෙන යාම පිළිබඳ ව වෙනස් අදහසක් නැති,’ බව ද මහ ඇමැති විග්නේස්වරන් කියා සිටියේය.
එහෙත්, ‘අඩියෙන් අඩියෙන් කඳවුරු තිබුණු යුගයක්,’ පැවතියේ යැයි කියා සිටි ජනාධිපතිවරයා වර්තමානයේ තත්වය වෙනස් වී ඇති බවයි රැස්වීම අමතා පැවසුවේ.
“මා දන්නා තරමට හැට දාහක් හැත්තෑ දාහක් අතර හමුදාවක් මේ ප්‍රදේශයේ හිටියා. අද වෙන කොට හමුදාව දොළොස් දහසකට අඩු වෙලා,” යි ජනාධිපති රාජපක්ෂ ප්‍රකාශ කළේය.




