ව්‍යවස්ථා සංශෝධන ජාත්‍යන්තරයට දුන් පොරොන්දු 'කඩ කිරීමක්'

Ranil Wickramasinghe
ඡායාරූප ශීර්ෂ වැකිය, "අද තියෙන මේ යෝජනා දෙපැත්තම පිළිගන්න යෝජනා. ඒවා අඩු කලොත් ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්"

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මාර්ගයෙන් බලය බෙදීම සම්බන්ධ වත්මන් විධිවිධාන අඩු කිරීමට උත්සාහ දැරීම ආණ්ඩුව ජාත්‍යන්තර ප්‍රජාවට ලබා දී තිබෙන පොරොන්දු කඩ කිරීමක් බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

2009 මැයි මාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ශ්‍රී ලංකා ආණ්ඩුව ඉදිරිපත් කළ පොරොන්දු සහ උගත් පාඩම් කොමිසමේ නිර්දේශ මත පදනම් වී බලය බෙදීම සම්බන්ධ තීන්දු ගත යුතු බවයි, විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේ.

කිසියම් ලෙසකින් එම යෝජනා සංශෝධනය කරන්නේ නම් හෝ "අඩු කරන්නේ නම්" යලිත් වරක් ජිනීවා නුවරට ගොස් ඒ සඳහා අනුමැතිය ලබා ගත යුතු බව ද විපක්ෂනායකවරයා පැවසීය.

'උපකල්පනීය ප්‍රශ්නයක්'

Minister Vasudeva Nanayakkara
ඡායාරූප ශීර්ෂ වැකිය, කාරක සභාවට දෙමළ ජාතික සන්ධානය සහභාගි කර ගැනීම ආණ්ඩුවේ පූර්ණ උත්සාහය බව අමාත්‍යවරයා පවසයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන නිර්දේශ කිරීම පිණිස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් 19-පුද්ගල කාරක සභාවක් පත් කරන බව කතානායක චමල් රාජපක්ෂ නිවේදනය කළේය.

විපක්ෂනායකවරයා ඉහත කී ප්‍රකාශය කළේ එම කාරක සභාවේ කාර්යභාරය පිළිබඳව අදහස් දක්වමින්.

රටේ ජාතික එක්සත්භාවය ඇති කිරීම පිණිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කුමන වෙනස්කම් සිදු කළ යුතුද යන්න තේරීම් කාරක සභාවට පවරා තිබෙන වගකීම බවයි, සමාජ ඒකාබද්ධතා පිලිබඳ ජ්‍යෙෂ්ට අමාත්‍ය වාසුදේව නානායක්කාර බීබීසී සංදේශයට කියා සිටියේ.

මෙම කාරක සභාවට දෙමළ ජාතික සන්ධානය සහභාගි කර ගැනීම ආණ්ඩුවේ පූර්ණ උත්සාහය විය යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

එම පක්ෂයද කාරක සභාවට සහභාගි වනු ඇතැයි දැනට ආරංචි ලැබෙමින් පවතින බවයි, අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසන්නේ.

කිසියම් ලෙසකින් විපක්ෂය කාරක සභාව වර්ජනය කළ හොත් කුමක් සිදුවිය හැකිදැයි විමසූ අවස්ථාවේ ඇමතිවරයා කියා සිටියේ, එය "උපකල්පනීය ප්‍රශ්නයක්" බැවින් තමන්ට එයට පිළිතුරු දිය නොහැකි බවයි.