පළාත් සභාවලට එරෙහිව ආණ්ඩුව රංගනයක - එජාප

දිනෙන් දින ඉහල යමින් තිබෙන ජීවන වියදම ඇතුළු රටේ දැවෙන ප්‍රශ්ණ පිලිබඳ ජනතා අවධානය වෙනතක යොමු කිරීමේ අරමුණින් "රංගනයක" යෙදී සිටින බවට එක්සත් ජාතික පක්ෂය (එජාප) ආණ්ඩුවේ පාර්ශ්වකාර පක්ෂ දෙකකට චෝදනා කරයි.
එජාප මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා ජාතික හෙළ උරුමයට සහ ජාතික නිදහස් පෙරමුණට එම චෝදනාව එල්ල කළේ, දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව එම පක්ෂ දෙක විසින් දියත් කරනු ලැබ තිබෙන ව්‍යාපාරය පිළිබඳව අදහස් දක්වමින්.
"අර අම්බලන්ගොඩ රූකඩවලටත් වඩා හොඳින් ජාතික හෙළ උරුමයයි, ජාතික නිදහස් පෙරමුණයි ආණ්ඩුවේ පදයට නැටවෙන රූකඩ විදියට දැන් පත්වෙලා ඉන්නවා," යනුවෙන්ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
'දෙබිඩි ප්‍රතිපත්තියක්'
විශේෂයෙන්ම දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පළාත් සභාවලට විමධ්‍යගත කොට තිබෙන පොලිස් සහ ඉඩම් බලතල ඉවත් කළ යුතු බව යෝජනා කරමින් ජාතික හෙළ උරුමය පණත් කෙටුම්පතක් ඉදිරිපත් කොට තිබේ.
දිවයිනේ අනිකුත් පළාත් සභා සතු බලතල සහිත ආණ්ඩු පක්ෂයේ පළාත් සභාවක් උතුරට පත්වීම පිලිබඳ බිය පළ කරන ජාතික නිදහස් පෙරමුණ පෙත්සම් ව්‍යාපාරයක් ආරම්භ කළේය.
එහිදී ජනතාව ඇමතූ පක්ෂයේ නායක අමාත්‍ය විමල් වීරවංශ, උතුරෙන් හමුදාව ඉවත් කරගන්නා මෙන් මින් අනතුරුව බලපෑම් එල්ල වනු ඇත්තේ උතුරේ පළාත් සභාව හරහා වනු ඇති බවට අනතුරු අඟවා සිටියේය.
එහෙත් 13 වැනි සංශෝධනයෙන් අනතුරුව පිහිටුවන ලද පළාත් සභාවල තනතුරු දරමින්ම පළාත් සභා අහෝසි කරන්නැයි යෝජනා ගෙන ඒම "හරක් මස් කන ගමන් ගව ඝාතනය නතර කරන්න කීම," වැනි දෙබිඩි ප්‍රතිපත්තියක් ලෙසයි එජාපය විග්‍රහ කරන්නේ.




