කැසිනෝ ව්‍යාපාරය සංවර්ධන ව්‍යාපෘතියක් නොවේ - ආණ්ඩුව

A casino in Colombo
ඡායාරූප ශීර්ෂ වැකිය, 'මෙම ව්‍යාපෘතිය අවම වශයෙන් හෝටල් කාමර 400 කින් ද, රිටේල් ෂොපින්, එන්ටර්ටේන්මන්ට් ෆැසිලිටීස්වලින් සමන්විත වේ'

කැසිනෝ සූදු ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ ක්‍රමෝපායික සංවර්ධන ව්‍යාපෘතියක් ලෙසින් හඳුනාගෙන නැතැයි ආණ්ඩුව පවසයි.

ඕස්ට්‍රේලියාවේ කෝටිපති කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර් ගේ ව්‍යාපෘතියකට අසාමාන්‍ය අන්දමින් බදු සහන ලබාදෙමින් ඔහුට ශ්‍රී ලංකාවේ "පුංචි ආණ්ඩුවක්" බවට පත්වීමට අවසර දී ඇති බවට ජනතා විමුක්ති පෙරමුණ එල්ල කරන චෝදනාවද ආණ්ඩුව ප්‍රතික්ෂේප කරයි.

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන පාර්ලිමේන්තුව අමතමින් එම ප්‍රකාශය කළේ, ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත පවරා තිබෙන පරමාර්ථ අතුරින් ආර්ථික සංවර්ධනය සඳහා සෘජු විදේශීය ආයෝජනය මගින් නව රැකියා අවස්ථා උදාකිරීම ප්‍රමුඛම කාර්යයක් බව පවසන අමාත්‍යවරයා, එම පරමාර්ථ ඉටුකිරීම සඳහා වූ රජයේ ආර්ථික ප්‍රතිපත්තිය අනුව සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය ප්‍රමුඛ වී තිබෙන බවද පැවසීය.

වසර 13ක් බද්දෙන් නිදහස්

මුදල් අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පසුගියදා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා වෙත යවන ලද ලිපියක, ජේම්ස් පැකර්ගේ ඕස්ට්‍රේලියානු ක්‍රවුන් සමාගම විසින් කොළඹ ආරම්භ කිරීමට සැරසෙන මහා පරිමාණ ව්‍යාපාරය වෙනුවෙන් ලබා දීමට සූදානම් වන බදු සහන පිලිබඳ විස්තරයක් ඇතුලත් වන බවයි, අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පවසන්නේ.

Anura Kumara Disanayake, MP
ඡායාරූප ශීර්ෂ වැකිය, ලාභයෙන් සියයට හතලිහක බද්දක් අය කළ යුතු ව්‍යාපාරයකට "අසීමිත බදු නිදහසක්" ලබා දී ඇති බව ජවිපෙ පවසයි

කැසිනෝ සමාගම ආරම්භයේ සිට අඩුම තරමින් වසර දහ තුනක් ආදායම් බද්දෙන් නිදහස් කොට ඇති බව පවසන මන්ත්‍රීවරයා, එම කාලය අවසානයේ සමාගමේ ලාභවලින් අය කළ යුත්තේ සියයට හයක් හෝ හෝටල් කර්මාන්තයේ බදු ගණනයෙන් සියයට පණහක් යන දෙකෙන් අඩු අගය බව ද පවසයි.

කෙසේ නමුත් මෙම නිර්දේශිත බදු සහණ කිසිසේත්ම විශේෂ සහණයක් නොවන බවයි, අමාත්‍ය අබේවර්ධන පවසන්නේ.

2016 වසර සඳහා මිලියන 2.5 ක සංචාරකයන්ගේ පැමිණීමක් සහ සෘජු විදේශීය ආයෝජන ඇමෙරිකානු ඩොලර් බිලියන දෙක සඳහා අපේක්ෂා කරන බව පවසන අමාත්‍යවරයා ඒ සඳහා ආයෝජකයන්ට බදු සහන ලබාදීම ඇතුළු ක්‍රියාමාර්ග ආණ්ඩුව විසින් අනුගමනය කොට ඇති බව පවසයි.

"මෙය කැසිනෝ ව්‍යාපෘතියක්ද නොවේ. මෙම ව්‍යාපෘතිය අවම වශයෙන් හෝටල් කාමර 400 කින් ද, රිටේල් ෂොපින්, එන්ටර්ටේන්මන්ට් ෆැසිලිටීස්වලින් සමන්විත වේ," යනුවෙන්ද අමාත්‍යවරයා සිය පිළිතුරු ප්‍රකාශයේ සඳහන් කළේය.

'දනින් වැටිලා'

මෙම ව්‍යාපෘතිය මගින් ඩොලර් මිලියන 350 ක සෘජු ආයෝජනයක් මෙන්ම රැකියා 2600 ක් උත්පාදනය වනු ඇතැයි බලාපොරොත්තු වන බවද අමාත්‍ය යාපා පවසයි.

කෙසේ නමුත් ලාභයෙන් සියයට හතලිහක බද්දක් අය කළ යුතු ව්‍යාපාරයකට "අසීමිත බදු නිදහසක්" ලබා දීමෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව "සූදු රජා අභියස දනින් වැටී සිටින" ආකාරය පැහැදිලි කෙරෙන බවයි, අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පවසන්නේ.

එය ක්‍රවුන් සමාගමේ සභාපතිව ජේම්ස් පැකර්ගේ කළු සල්ලි සුදු කිරීම පිණිස ලබා දී ඇති නිදහසක් බව ඔහුගේ මතයයි.

ඕස්ට්‍රේලියාවේ විශාලතම නිවාඩු නිකේතන හා විනෝදාස්වාද ව්‍යාපාර අතුරින් එකක් වන ක්‍රවුන් සමාගම මෙල්බර්න්, පර්ත්, මැකාවු සහ ලන්ඩන් නගර වල ව්‍යාපාර පවත්වාගෙන යයි.

ඔවුන්ගේ ප්‍රධානම ආදායම් මාර්ගයක් වන්නේ කැසිනෝ මුල් කොට ගත් සූදුවයි.