
සත්‍යා හෙට්ටිගේ විනිසුරුවරයා විභාගයට සම්බන්ධ වීම පිළිබඳව පෙත්සම්කාර නීතිවේදියා පළ කළ විරෝධය විනිසුරු මඬුල්ල ප්‍රතික්ෂේප කළේය
අගවිනිසුරු මොහාන් පීරිස් නීතිපති පදවිය හෙබවූ සමයේ රජයට බරපතල අලාභ හානි සිදුකළ බවට චෝදනා කරමින් ඉදිරිපත් කොට තිබූ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ගාස්තුවට ද යටත් කොට ප්‍රතික්ෂේප කළේය.
නාගානන්ද කොඩිතුවක්කු නීතිඥවරයා විසින් ගොනු කොට තිබූ පෙත්සම විභාගයට ගත් අවස්ථාවේ ප්‍රකාශයක් කළ සභාපති විනිසුරු පී ඒ රත්නායක විනිසුරුවරයා තමන් විභාගයෙන් ඉවත්වන බව සඳහන් කළේය.
ඉන් අනතුරුව සත්‍යා හෙට්ටිගේ සහ ඊවා වනසුන්දර විනිසුරුවන් හමුවේ එය විභාගයට ගැනිණ.
සත්‍යා හෙට්ටිගේ විනිසුරුවරයා නඩු විභාගයට සම්බන්ධ වීම පිළිබඳව පෙත්සම්කාර නීතිවේදියා විරෝධය පළ කළ නමුත් එම විරෝධය ප්‍රතික්ෂේප කළ විනිසුරු මඬුල්ල පෙත්සම පිළිබඳව කරුණු දක්වන මෙන් ඔහුට නියෝග කළේය.
'මරණ තර්ජන'
පෙත්සම ගොනු කළ නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු පැවසුවේ රේගු බදු වංචා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව ඩොක්යාර්ඩ් (Dockyard) සමාගමට එරෙහිව පවරා තිබූ නඩුවක් වත්මන් අගවිනිසුරු මොහාන් පීරිස් නීතිපතිවරයා ලෙස කටයුතු කල සමයේ අත්තනෝමතික ලෙස ඉවත් කරගෙන ඇති බවයි.
මේ හේතුවෙන් රජයට රුපියල් බිලියන 619 කට අධික පාඩුවක් සිදු වී ඇති බවයි පෙත්සම්කරු කියා සිටින්නේ.
මොහාන් පීරිස් හිටපු නීතිපතිවරයා විසින් මූලික අයිතීන් කඩ කිරීමක් සිදු කොට ඇති බවට ප්‍රකාශ කරන මෙන් ඉල්ලා අදාළ පෙත්සම ඉදිරිපත් කොට තිබේ.
කෙසේ නමුත් අදාළ පෙත්සම විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බවට නීතිපතිවරයා තර්ක කළේය.
එම තර්කය පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය, ගාස්තුවටද යටත් කොට පෙත්සම නිෂ්ප්‍රභ කළේය.
පෙත්සම ඉදිරිපත් කිරීමෙන් පසුව තමන්ට තර්ජන එල්ලවී ඇති බව ද නීතිඥවරයා පවසයි.












