මොහාන් පීරිස් අගවිනිසුරු පදවියට 'සුදුසු නෑ'

අවසාන යාවත්කාලීන කිරීම :  2012 දෙසැම්බර් 9 ඉරිදා - 13:26 GMT
Mohan Peiris

මොහාන් පීරිස් නීතිපති පදවියේ කටයුතු කළ සමයේ ඔහුගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පැමිණිලි රාශියක් ලැබී ඇති බව අමාත්‍යවරයා පවසයි

ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය පදවියෙන් ඉවත් කළ හොත් ඒ වෙනුවට හිටපු නීතිපති මොහාන් පීරිස් එම පදවියට පත් කිරීම සුදුසු නැති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.

දෝෂාභියෝග විමර්ශනයේදී අගවිනිසුරුවරිය වැරදිකරු බව තීන්දු වී ඇති බව තේරීම් කාරක සභාවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කළ කණ්ඩායම සෙනසුරාදා නිවේදනය කළේය.

කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් අනුමත වුවහොත් අගවිනිසුරුවරිය පදවියෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට බලය පැවරේ.

මොහාන් පීරිස් නීතිපති පදවියේ කටයුතු කළ සමයේ ඔහුගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පැමිණිලි රාශියක් තමන්ට ලැබී ඇති බවයි, ජාතික භාෂා සහ ජාතික ඒකාග්‍රතාවය පිලිබඳ අමාත්‍යවරයා පවසන්නේ.

'පොදු රාජ්‍ය මණ්ඩලයට බලයක් නෑ'

"ඒ තොරතුරු මම ජනාධිපතිතුමාට දැනුම් දීල තියෙන්නේ. ඒ නිසා ඔහු සුදුසු පුද්ගලයෙක් නෙවෙයි කියල මගේ මතයක් තියෙනව," අමාත්‍යවරයා බීබීසී සංදේශයට පැවසීය.

කෙසේ නමුත් අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝග විමර්ශනය සාධාරණව පැවැත්වුණු බව අමාත්‍ය වාසුදේව නානායක්කාරගේ මතයයි.

අගවිනිසුරුවරියට සාක්ෂි ලැයිස්තුවක් හෝ ලේඛණ ලැයිස්තුවක් හෝ ලබා දී නොතිබුන බවට ඇයගේ නීතිවේදී සාලිය පීරිස් කරන ප්‍රකාශය පිළිබඳව විමසූ අවස්ථාවේ අමාත්‍ය වාසුදේව නානායක්කාර කියා සිටියේ, දිනෙකට පසුව චෝදනා ප්‍රමාණයකට පිළිතුරු දී තවදුරටත් කාලය ඉල්ලා සිටීමට අගවිනිසුරුවරියට හැකියාව තිබූ බවයි.

ආණ්ඩුවේ 'පළිගැනීමේ ක්‍රියාදාමය' පිළිබඳව විමර්ෂණයක් කිරීම සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයේ අමාත්‍ය මණ්ඩල ක්‍රියාකාරී කමිටුව කැඳවන්නැයි එක්සත් ජාතික පක්ෂයේ මංගල සමරවීර මන්ත්‍රීවරයා කරන ඉල්ලීම පිළිබඳව ප්‍රතිචාරය පළ කරන අමාත්‍යවරයා පවසන්නේ මේ සම්බන්ධයෙන් මැදිහත් වීමට පොදු රාජ්‍ය මණ්ඩලයට බලයක් නැති බවයි.

මේ අතර ශිරාණි බණ්ඩාරනායක පදවියෙන් පහකොට පත්කෙරෙන නව අගවිනිසුරුවරයාට සහාය නොදීමේ යෝජනාවක් ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ඉදිරිපත් වී තිබේ.

නීතිඥ සංගමය එම යෝජනාව පිළිබඳව ලබන 14 වැනිදා ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතය.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම් style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.

]]>