
නව අගවිනිසුරුවරයා යටතේ අධිකරණයේ පෙනී සිටීමට ඉදිරි කාලයේදී නීතිවේදීන්ට සිදුවනු ඇති බව නීතිඥ සංගමය පිළිගනියි
මොහාන් පීරිස් අගවිනිසුරු පදවියේ වැඩ භාර ගැනීමේ උත්සවය වර්ජනය කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.
සාධාරණ පරීක්ෂණයකින් තොරව අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක පදවියෙන් පහ කෙරුණු බව පවසන ශ්‍රී ලංකා ප්‍රධානම නීතිවේදීන්ගේ සංවිධානය, එබැවින් බදාදා පැවැත්වෙන උත්සවයට තම සාමාජිකයන් සහභාගි නොවන බව ද සඳහන් කරයි.
සංගමය විසින් පසුගිය මාසයේ සම්මත කරන ලද යෝජනාවට අනුකූලව මොහාන් පීරිස් අගවිනිසුරුවරයා ලෙසින් පිළිනොගන්නා බව සංගමයේ සභාපති විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා බීබීසී කොළඹ වාර්තාකරු චාර්ල්ස් හැවිලන්ඩ් ට පැවසීය.
කෙසේ නමුත් නව අගවිනිසුරුවරයා යටතේ අධිකරණයේ පෙනී සිටීමට ඉදිරි කාලයේදී නීතිවේදීන්ට සිදුවනු ඇති බව සභාපතිවරයා පිළිගත්තේය.
'දෙවියන්ගේ හාල් කැවිලා'
"ගිය අවුරුද්දේ අපි ඇමෙරිකාවෙන් ණය ආධාර ලබා ගෙන තියෙනව ඩොලර් මිලියන 2.7 ක්. මේ අවුරුද්දේ අපි අපේක්ෂා කරනවා ඩොලර් මිලියන 16.5 ක්. අත යටින් මේවා අරගෙන උඩින් කියනවා ඇමෙරිකාවට බම්බු ගහ ගන්න කියල"
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා
සමස්ත දෝෂාභියෝග ක්‍රියාදාමය නීතිවිරෝධී බව රටේ ප්‍රධානම අධිකරණ දෙක විසින්ම තීන්දු කොට තිබෙන අතර, තමා තවමත් නීත්‍යානුකූල අගවිනිසුරුවරිය බවයි, ශිරාණි බණ්ඩාරනායක පවසන්නේ.
මේ අතර ප්‍රකාශයක් කරන රටේ ප්‍රධාන විපක්ෂය, නොවැම්බරය සඳහා සැලසුම් කොට ඇති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නොහැකි වීමේ අවදානම් සහගත තත්වයක් උදාවී ඇතැයි අනතුරු අඟවයි.
එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා මාධ්‍යවේදීන්ට කියා සිටියේ රජය රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් පිළිගත නොහැකි අයුරින් කටයුතු කරන බව.
අමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව, එක්සත් ජාතීන් ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව දෝෂාභියෝග ක්‍රියාදාමය සහ සමාජ ක්‍රියාධරයන්ට එල්ලවී ඇති ප්‍රහාර හා තර්ජන සම්බන්ධයෙන් ප්‍රබල අවධානය පළ කොට තිබෙන නමුත් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ එක්සත් ජනපදය විවේචනයට ලක් කොට තිබුණි.
"ගිය අවුරුද්දේ අපි ඇමෙරිකාවෙන් ණය ආධාර ලබා ගෙන තියෙනව ඩොලර් මිලියන 2.7 ක්. මේ අවුරුද්දේ අපි අපේක්ෂා කරනවා ඩොලර් මිලියන 16.5 ක්. අත යටින් මේවා අරගෙන උඩින් කියනවා ඇමෙරිකාවට බම්බු ගහ ගන්න කියල," යනුවෙන් ද සඳහන් කල එජාප මහ ලේකම්වරයා, ශ්‍රී ලංකා ආණ්ඩුවට දැන් "දෙවියන්ගේ හාල් කැවී" තිබෙන බව ද පැවසීය.












