
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව දිනපතාම උදෑසන විවිධ පුද්ගලයන් දේශද්‍රෝහීන් ලෙසින් නම් කරමින් කෙරෙන මඩ ගැසීම් ඔවුන්ට ප්‍රහාර එල්ල කිරීම සඳහා කෙරෙන උසිගැන්වීම් බව ආසියානු මානව හිමිකම් කොමිසම පවසයි
අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව ඉදිරිපත් වූ දෝෂාභියෝගයට විරුද්ධව හඬ නැගූ නීතිවේදීන්ට එල්ල වෙමින් තිබෙන මරණ තර්ජන පිළිබඳව වහාම පරීක්ෂණ ආරම්භ කරන්නැයි නීතිවේදී එකමුතුව ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.
රොමේෂ් ද සිල්වා සහ ජයම්පති වික්‍රමරත්න ජනාධිපති නීතිඥයන්ට හා ක්‍රිශාන්ත වැලිඅමුණ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් නීතිවේදීන්ට මරණ තර්ජන එල්ල කරමින් ලිපි එවා තිබෙන බව පවසන නීතිවේදී එකමුතුව මෙය සම්පූර්ණයෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය රැක ගැනීම උදෙසා තමන් ගෙන යන සටන අඩාල කිරීමේ ප්‍රයත්නයක් බව ද පවසයි.
ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ට නීතිවේදියා වූ අතර, අනෙක් නීතිවේදීන් තිදෙනා දෝෂාභියෝගයට එරෙහිව පාර්ලිමේන්තුවේත්, ඉන් පිටතත් ප්‍රසිද්ධියේ හඬ නැඟූහ.
'ඝාතනය කිරීමේ සැලසුමක්'
"දිගින් දිගටම රාජ්‍ය මාධ්‍ය මගින් මේ කියන නම් සඳහන් වුනා. විවිධ මඩ ප්‍රචාර අරං ගියා. අපි විශ්වාස කරන්නේ අන්න ඒ මඩ ප්‍රචාර අරන් ගිය පාර්ශ්වයන්ගේ වැඩක් කියල," බවයි, නීතිවේදී එකමුතුවේ නීතිවේදී සුනිල් වටගල බීබීසී සංදේශයට කියා සිටියේ.
"දිගින් දිගටම රාජ්‍ය මාධ්‍ය මගින් මේ කියන නම් සඳහන් වුනා. විවිධ මඩ ප්‍රචාර අරං ගියා. අපි විශ්වාස කරන්නේ අන්න ඒ මඩ ප්‍රචාර අරන් ගිය පාර්ශ්වයන්ගේ වැඩක් කියල"
නීතිවේදී එකමුතුවේ නීතිවේදී සුනිල් වටගල
"දේශප්‍රේමී පෙරමුණ" නමින් හඳුන්වා ගන්නා ලද කණ්ඩායමක් විසින් මෙම මරණ තර්ජන ඒවා ඇති බවයි, ආසියානු මානව හිමිකම් කොමිසම නිකුත් කළ නිවේදනයක සඳහන් වෙන්නේ.
විශේෂයෙන්ම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව දිනපතාම උදෑසන ජනමාධ්‍ය කලාවේ සියලු රීතින් උල්ලංඝණය කරමින් විවිධ පුද්ගලයන් දේශද්‍රෝහීන් ලෙසින් නම් කරමින් කෙරෙන මඩ ගැසීම් ඔවුන්ට ප්‍රහාර එල්ල කිරීම සඳහා කෙරෙන උසිගැන්වීම් බව ද ආසියානු මානව හිමිකම් කොමිසම සඳහන් කරයි.
මුලින්ම මෙවැනි බිය ගැන්වීම් සහ තර්ජන එල්ල වූයේ මාධ්‍යවේදීන්ට බව පෙන්වා දෙන ආසියානු මානව හිමිකම් කොමිසම, ඉන් අනතුරුව දැන් එම තර්ජන නීතිවේදීන් සහ විනිසුරුවන් ඇතුළු නීති ක්ෂේත්‍රයේ ප්‍රධානීන් කෙරෙහි එල්ල වෙමින් තිබෙන බවද පෙන්වා දෙයි.
මේ අතර ඊයේ මාධ්‍ය හමුවක් ඇමතූ එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක මංගල සමරවීර මන්ත්‍රීවරයා, ක්‍රිශාන්ත වැලිඅමුණ නීතිවේදියා ඝාතනය කිරීමේ සැලසුමක් පිළිබඳව තමන්ට දැනගන්නට ලැබී තිබෙන බවත්, ඒ සඳහා නම් දැරූ අපරාධකරුවෙකු බලධාරීන් විසින් බන්ධනාගාරයෙන් නිදහස් කොට ඇති බවත් පැවසීය.
වහාම පරීක්ෂණ ආරම්භ කරන මෙන් තමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින නමුත්, විශේෂයෙන්ම මංජුල තිලකරත්න අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයාට පහර දීම පිළිබඳව හෝ විජේදාස රාජපක්ෂ සහ ගුණරත්න වන්නිනායක නීතිවේදීන්ට පහර දීමේ ප්‍රයත්නයන් පිළිබඳව තවමත් කිසිවෙකුත් අත් අඩංගුවට ගෙන නොමැති බැවින් මේ පිළිබඳවත් කිසිදු පරීක්ෂණයක් පැවැත්වෙනු නැති බව ද නීතිවේදී එකමුතුවේ නීතිවේදී සුනිල් වටගල සංදේශයට පැවසීය.












