ප්‍රීමියර් ලීගයට පෙර 'දූෂණ මැඬලීමේ පියවර ගත යුතුයි'

ඡායාරූප මූලාශ්‍රය, BBC World Service
ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාකරන සියලුම රටවල් ක්‍රීඩාවේ දූෂණ මැඬලීමේ නීති ක්‍රියාත්මක කළ යුතු නමුත්, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය මේ වනතුරුම එම නීති ක්‍රියාවට නැගීමට පියවර ගෙන නැතැයි ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය කියයි.
ජුනි 24 සහ 25 දිනවල මැලේසියාවේ ක්වාලාලම්පූර් අගනුවර දී රැස්වුණු ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සමුළුව එම නීති ක්‍රියාවට නගන මෙන් ශ්‍රී ලංකාවට සහ බංග්ලාදේශයට උපදෙස් දෙන මෙන් අයිසීසී ජාත්‍යන්තර පාලක මණ්ඩලයට නිර්දේශ කොට තිබේ.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාව මේ වසරේ අගෝස්තු මාසයේදී දියත් කිරීමට යෝජිත ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග තරඟාවලියට පෙරාතුව "අනිවාර්යයෙන්ම" දූෂණ මැඬලීමේ පියවර ගත යුතු බවත් ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
එමෙන්ම පසුගියදා නිමාවූ බංග්ලාදේශ ප්‍රීමියර් ලීග තරඟාවලියේදී සිදුවූ බව පැවසෙන දූෂණ සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් සපයන මෙන් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයට නියෝග කරන්නැයි ද ප්‍රධාන විධායක සමුළුව අයිසීසීයට නිර්දේශ කොට තිබේ.
ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාකරන බොහෝ රටවල් නියෝජනය කරමින් එම රටවල පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරීන් සහභාගි වූ මෙම රැස්වීමට ශ්‍රී ලංකාව වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග සහභාගි වී සිටියේය.




