ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය: ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයන්ට සිදුවුණේ කුමක් ද?

    • Author, සෑම් කබ්‍රාල්
    • Role, බීබීසී පුවත්, කොළඹ

නිදහසින් පසු ශ්‍රී ලංකාව මුහුණදුන් දරුණුතම ආර්ථික අර්බුදය අතරතුර මාස ගණනාවක් තිස්සේ ජනාධිපති කාර්යාලයය අවට ප්‍රදේශයක රැඳීසිටි විරෝධතාකරුවන් නික්මගොස් බොහෝ කලක් ගතව තිබේ.

ඒ වෙනුවට එහි සිටින්නේ, ජනාධිපති ලේකම් කාර්යාලයයේ දැඩි ආරක්‍ෂිත වැටවල් අතරින් මහජනතාවට නත්තල් කැරොල් ගී ගැයූ කැරොල් ගායකයින් පිරිසකි. ගොඩනැගිල්ලට යාබදව, සැරසිලි, ආහාර වෙළඳ කුටි සහ සංගීත සංදර්ශන සහිත භූමියේ මීටර 24ක් උස නත්තල් ගසක් කැපී පෙනෙන සේ නැඟී සිටියේ ය. නව වසර උදාව සලකුණු කරමින් මල්වෙඩි පිපිරෙද්දී ගාලුමුවදොර පිටියට අතිවිශාල ජනකායක් පැමිණ සිටියහ.

ඒ සියල්ල, වසර අවසාන සංචාරක ආකර්ෂණයක් ලෙස කොළඹ දී රජය විසින් සැලසුම් කෙරුණු උත්සව කලාපයක කොටසකි.

එහෙත්, අප්‍රේල් සිට අගෝස්තු දක්වා මෙම භූමිය අත්පත්කරගැනීමේ විරෝධතාවන්ගේ ආකෘතියේ මුලස්ථානය වූ "ගේට් සීරෝ" ලෙස භාවිතා කරමින් සිය රාජ්‍ය නායකයින්ට ඉල්ලා අස්වීම සඳහා බලකළ බොහෝ ලාංකිකයින්ට සැමරීමට ඇත්තේ අල්පයකි.

"ඒක පිළිකුල්සහගත යි," ස්වස්තිකා අරුලිංගම් පවසයි. "ඒක මේ රටට නැති ධනයක්, අපේ රටේ ජනගහණයේ දුර්වලම පිරිස්වලට ලබාදෙන්න ප්‍රතික්ෂේප කරන සම්පත් කැත විදියට ප්‍රදර්ශනය කිරීමක්."

රජය විසින් පවත්වාගෙන යන විදුලිබල මණ්ඩලය 2022 වසරේ දැරූ අලාභය රුපියල් බිලියන 150ක් නිසා විශේෂයෙන්ම මෙම සංදර්ශනයේ ආලෝකකරණය සිතට වධදෙනබව ඇය පවසයි.

දෛනික විදුලිය කප්පාදු තව දුරටත් දීර්ඝ කෙරෙනු ඇතැ යි යන අඳුරු අපේක්ෂාව නැවත මතුවේ. ආහාර ද්‍රව්‍ය, ප්‍රවාහන ගාස්තු සහ ළමුන්ට පාසල් සඳහා අවශ්‍ය භාණ්ඩ වල මිල වඩ වඩාත් දැරිය නොහැකි තත්ත්වයකට පත්ව තිබේ. නව වසර විශාල බදු ඉහළයෑම් ද ගෙන එන්නේ දුක්ඛිත තත්ත්වය වැඩිදියුණු කරමිනි.

මේ වන විට "එක්තරා අයුරක ව්‍යාජ ස්ථාවරත්වයක්" පවතිනබව අරුලිංගම් පවසතත්, ජීවනෝපාය සරිකර ගැනීම දුෂ්කරව පවතින බැවින් රටවැසියෝ දැඩි පීඩනයකට ලක්ව සිටිති.

රජය අනුගමනය කළ ප්‍රතිපත්ති මාලාවක් සහ ඉන්පසු වසංගතය ද පැමිණීම නිසාවෙන් රටෙහි විදේශ සංචිත ක්ෂයවී, රට බංකොලොත්භාවයේ අද්දරට පැමිණීමෙන් පසු, පසුගිය වසරේ වැඩි කාලයක් පුරා ශ්‍රී ලාංකිකයෝ ආහාර, ඉන්ධන සහ අනෙකුත් මූලික සැපයුම්හි උග්‍ර හිඟයකට මුහුණදුන්හ. දිගු ඉන්ධන පෝලිම් සහ විදුලිය ඇනහිටීම් මාස ගණනක් පුරා පැවැති මහජන නොසන්සුන්තාවන්ට තුඩුදුන් අතර, ජුලි මාසයේ දී ජනතාව එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ කාර්යාලයයට සහ නිවෙසට කඩාවැදී වාඩිලාගත්තෙන් ජනපතිවරයා රටින් පළාගියේ ය.

ඉන් සයමසකට පසු, තව තවත් දුෂ්කරතා ඇතිවීමට කල් තිබිය දී, ඉක්මන් මැතිවරණයක් පැවැත්වීමට ඉල්ලුම් ලැබී තිබේ. රාජපක්ෂගේ පාර්ලිමේන්තුව ආදේශයක් ලෙස පත්කළ රනිල් වික්‍රමසිංහ බොහෝදෙනා ප්‍රතික්ෂේපකර ඇතත්, වසරක පමාවකින් පසු, ලබන මාසයේ දී පළාත් පාලන මැතිවරණය පවත්වනු ඇතැ යි අපේක්ෂා කෙරෙයි.

"අපගේ ව්‍යවස්ථාව ඉරාදමන්න ෆැසිස්ට්වාදීන්ට" ඉඩදෙන්නේ නැතැ යි ප්‍රතිඥා දුන් වික්‍රමසිංහ, ආණ්ඩු-විරෝධී විරෝධතා ව්‍යාපාරය සහ එහි නායකයින් ද මර්දනයකර තිබේ.

"ශ්‍රී ලංකාව තුළ මේ මොහොතේ ඕනෑම ආකාරයක විරෝධතාවක් පාලනය කෙරෙනවා," මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන ශ්‍රීන් සරූර් පවසයි. "ඔහු තමාට අවශ්‍ය දේවල් කරන්නත්, රට පාලනය කරන්න හමුදාව කැඳවන්න අවශ්‍ය නම් ඒ දේ කරන්නත් තමන්ගේ බලතල අඩු නොකර තියාගෙන ඉන්නවා."

ඔහුට ආරක්ෂක හමුදා දියත්කළ හැකි අතර, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (PTA) යටතේ රඳවා තබාගැනීමේ නියෝග ද නිකුත් කළ හැකි ලෙස විධායක ජනාධිපති ක්‍රමයේ බලතල රඳවාගෙන සිටින බව සරූර් පෙන්වා දෙයි.

විවේචකයින් පවසන්නේ ජනාධිපතිවරයා අතට බලය දැඩි සේ කේන්ද්‍රගතකර ඇති මෙම ක්‍රමය, දශක දෙකක් මෙරට බලයේ සිටි රාජපක්ෂවරුන් විසින් ශක්තිමත් කරන ලදබවත්, සුදුසු සංවරණ සහ තුලන ක්‍රම නොමැතිබවත් ය. එය අහෝසි කිරීමටත්, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් සඳහාත් වන ඉල්ලීම් පසුගිය වසරේ විරෝධතාවන්හි ප්‍රධාන ඉල්ලීමක්විය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ, පහරදීම සහ නීතිවිරෝධී රැස්වීම් ඇතුළු විවිධ සාපරාධී වැරදි සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින විරෝධතා නායකයින් අතර, කතෝලික පූජකයෙකු වන ජීවන්ත පීරිස් පියතුමා ද වේ. ඔහු, "පදනම් විරහිත චෝදනා" ලෙස ඔහු හඳුන්වන එම චෝදනා වලට එරෙහිව උසාවියේ දී සටන් වදිමින් සිටියි.

මීට පෙර හයවරක් අගමැතිවූ "දූෂිත ක්‍රමය සමග බැඳි තවත් වරදකරුවෙකු" ලෙස වික්‍රමසිංහව හඳුන්වන ඔහු, හෙතෙම ජනාධිපති ධූරයට පත්කරමින් ඡන්දය ප්‍රකාශ කළ අවස්ථාවේ දී පාර්ලිමේන්තුව විසින් මහජනතාව "මුළුමනින්ම පාවාදුන්"බව පවසයි.

"පේන විදිහට දැන් අර්බුදය විසඳිලා, නමුත් අභ්‍යන්තරයෙ, ඒකේ සැබෑ හේතුවලට පිළියම් කරලා නැහැ," ඔහු පවසයි. "දූෂණය තවමත් සිදුවෙනවා. මන්දපෝෂණය, ඖෂධ හිඟය වගේ සැබෑ ප්‍රශ්න තියෙනවා . මේ උද්ධමනයට මුහුණදෙන්න පීඩිත ජනතාවට බැහැ."

රාජ්‍යය ඔහු වැනි පුරවැසියන් බියගන්වනබවට චෝදනා කරන ඔහු, "ආර්ථික වශයෙන් අසාධාරණයන් සිදුකළ, මානව හිමිකම් කඩකළ අය නීතිය ඉදිරියට ගෙනාවොත් මිස මේ අර්බුදය විසඳන්නේ නැහැ"යි පැවසීය.

පීරිස් පියතුමා රත්නපුර දිස්ත්‍රික්කයේ දොළොස්වල නම් ග්‍රාමයේ දෙමළ ජාතික රබර් වතු කම්කරුවන් වැඩි පිරිසක වසම් පූජකවරයා වේ. නැවත නැවතත් පත්වූ රජයයන් ශ්‍රී ලංකාවේ දුප්පත්ම සහ වඩාත්ම අවදානමට ලක්විය හැකි ජනතාව නොසලකාහැර ඇතිබව ඔහු ප්‍රකාශ කරයි.

වසංගතය පැමිණි විට, තම නිවෙස් තුළ සමාජීය දුරස්ථබව පවත්වා ගැනීමට හැකියාවක් නොමැති, එන්නත් සඳහා ප්‍රවේශයක් නොතිබූ ගම්වැසියන් රංචු පිටින් රෝගාතුරවූ බව ඔහු පවසයි. පාසල් වසාදැමීමත් සමග, දුරස්ථව ඉගෙනීමේ කිසිදු හැකියාවක් නොවූ ඔවුන්ගේ දරුවන් ද පීඩාවට පත් වූ බව ඔහු පවසයි.

"අම්මලා මගේ ගෙදරට ඇවිල්ලා ඔවුන්ගේ හාමතේ ඉන්න දරුවන් ගැන කියලා අඬනවා," ඔහු පවසයි. "ඔවුන් අතරෙ වැඩකරන පූජකයෙක් විදියට, ඔවුන්ගෙ එදිනෙදා දුක්ඛිතභාවය දිහා බලාගෙන ඉන්න මට බැරිවුණා."

කාලවර්ණ දිගු කෙස් ද, තිතක් හෝ නැති සුදුපැහැ ලෝගුවෙන් ද සැරසි මේ පූජකයා ගාලුමුවදොර විරෝධතාව සඳහා සෑම දිනෙකම පැමිණ සිටියේ ය. ඔහුගේ පණිවුඩය වූයේ, රටෙහි ව්‍යුහාත්මක වෙනසක් ඇතිකිරීම සඳහා මෙරටට ජාතික මට්ටමේ ව්‍යාපාරයක් අවශ්‍යබව යි.

ඔහු එය විස්තර කරන්නේ බහුතරයකගේ සුබසිද්ධිය තකා, ජාති, ආගම් හෝ මතවාද නොතකා ශ්‍රී ලාංකිකයන් එකමුතුවූ ප්‍රථම අවස්ථාව ලෙස යි: "අපි අතර භේදයක් තිබුණෙ නැහැ. අප හැමෝටම දැනුණේ අපි වින්දිතයින් විදියට."

අප්‍රේල් 9 වැනිදා සිට පැවැත්වුණු දෛනික විරෝධතා පෙළපාලි ඉක්මණින්ම "ගෝඨාගෝගම" දක්වා වර්ධනයවිය.

ජනාධිපති ලේකම් කාර්යාලයය ඉදිරිපිට කඳවුරු බැඳගත් කුඩා ප්‍රජාව එහි රැස්වීම්, ඉටිපහන් දැල්වීම්, වේදිකා නාට්‍ය පැවැත්වූ අතර, ජනතාව පරිත්‍යාග කළ පොත්පත් විශාල ප්‍රමාණයකින් සැදුම්ලත් පුස්තකාලයක් ද ඉදිකළහ. මේ සියල්ලෙන් ඉලක්ක කෙරුනේ දේශපාලන සාක්ෂරතාව පුළුල් කිරීම යි.

එය, අතීතයේ දී ශ්‍රී ලංකාවේ සිදුකෙරුණු ම්ලේච්ඡ ක්‍රියාද සිහිපත් කළේ ය; සුළුජාතික බෙදීම් පිළිබඳ විවෘත සාකච්ඡා පැවැත්වීය; එසේම, රජයට සම්බන්ධ මැරයින් එම ස්ථානය ක්‍රූර ලෙස වටලන විට වඩාත් ශක්තිමත්විය.

නමුත්, රාජපක්ෂ ධුරයෙන් ඉවත්වීම ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව විරෝධතාකරුවන් වැඩි වැඩියෙන් නොසන්සුන්වෙමින් සිටි ජුලි මාසය වන විට එහි සෙනඟ වර්ධනයවී, පාලනය කිරීමට වඩවඩාත් අපහසු තත්ත්වයකට පත්ව තිබුණි.

ජනාධිපතිවරයාගේ නිවසට හා කාර්යාලයයට කඩා වැදීමෙන් දින කිහිපයකට පසු රාජපක්ෂ මාලදිවයිනට පළාගොස් අවසානයේ ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග, ඔහුගේ අනුප්‍රාප්තිකයාගේ නියෝග මත ක්‍රියාත්මකවූ ආරක්ෂක අංශ අදාළ ගොඩනැගිලි දෙක නැවත තමා යටතට ලබාගෙන, ගෝඨාගෝගම විරෝධතා කඳවුර වටලා, විරෝධතාකරුවන් අත්අඩංගුවට ගෙන, ඔවුන්ගේ කූඩාරම් කඩාදැමූහ.

එහි ප්‍රධාන චරිත බොහොමයක් දැන් සිරගෙවල්වල හෝ, නීතිමය ක්‍රියාමාර්ගවලට මුහුණදෙමින් හෝ, රජයේ නිරන්තර සෝදිසිය යටතේ සිටින අතර, "අරගලය" බොහෝ දුරට නිහඬවී තිබේ.

"ඒක ජාතික ව්‍යාපාරයක්, ශ්‍රී ලංකාවට පත්විය හැක්කේ කුමන තත්ත්වයට ද කියන එක පිළිබඳ දැක්මක්," විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ නිර්මාතෘ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු පවසයි. නමුත්, "මධ්‍යම පන්තිය ඒක අතහැර දමලා තියෙනවා, සාමාන්‍ය ප්‍රජා කණ්ඩායම් සියල්ලම ඒක අතහැර දමලා තියෙනවා," ඔහු පවසා සිටියි.

"[වික්‍රමසිංහ] හොඳ අරගලයක් සහ නරක අරගලයක් තියෙනබව පෙන්වන්න ආඛ්‍යානය සාර්ථක ලෙස වෙනස් කළා. දැන් අපට ඈඳලා තියෙන්නේ නරක අරගලය," ඔහු පවසයි.

ජනගහණයේ කොටස්, විශේෂයෙන්ම වයෝවෘද්ධ ශ්‍රී ලාංකිකයන්, මුදල්-හිඟ ආර්ථිකය ගොඩගැනීම සඳහා හොඳම විකල්පය ලෙස වික්‍රමසිංහ සලකන නමුත්, ඔහු පළාත් හා ජනාධිපති මට්ටමේ මැතිවරණ සඳහා සාධාරණ කාලසටහනකට අනුගතවිය යුතුබවට ආචාර්ය සරවනමුත්තු තර්ක කරයි.

"යම් නීත්‍යානුකූලභාවයක් ඉක්මණින් ඇතිවන එක වඩා හොඳයි," ඔහු වැඩිදුරටත් පවසයි. "ඒත් රනිල්ගේ පැත්තෙන් බැලුවම, ඔහුට ඕන මේ රටේ ජනාධිපති විදියට තේරී පත්වෙන්න. ඒ නිසා ඔහු ඔහු නායකත්වය දෙන කිසිම ආණ්ඩුවකට ලොකු චෝදනාවක් එන කිසිම දෙයක් කරන්න යන්නේ නැහැ."

ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් බිලියන 2.9ක IMF ඇපදීමක් ද, චීන සහ අනෙකුත් ද්විපාර්ශ්වික ණයහිමියන්ගේ මූල්‍ය සහතිකකිරීම් ද බලාපොරොත්තුව සිටින මොහොතක, මෙරට ජනතාව තවත් කාලයක් දුෂ්කරතාවයේ ගිලී සිටිනු ඇත. ආචාර්ය සරවනමුත්තු අනතුරු අඟවන්නේ, නුදුරු අනාගතයේ දී, විශේෂයෙන්ම කොළඹින් පිටත, දුප්පත් ජනතාව - ආහාර මිල ඉහළයාම සහ ඉන්ධන හිඟය නිසා දැඩි පීඩාවට පත්ව සිටින ජනතාව - වෙසෙන ප්‍රදේශවල මහජන විරෝධතා නැවත ඇරඹෙනු ඇතිබව යි.

"මිනිස්සු එළියට බහීවි. ඒ ඔවුන්ට ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අවශ්‍ය නිසා හෝ, දණ්ඩමුක්තිය නිමාකිරීමට අවශ්‍ය නිසා නෙවෙයි, ඔවුන්ට ජීවත් වෙන්න බැරි නිසා," ඔහු පවසයි. "ඒක වඩාත් භයානක වෙන්න පුළුවන්, මොකද, ඒක ක්ෂණයෙන් සිද්ධවෙන්න පුළුවන් වගේම, ඒකට උන්ට-එරෙහිව-අපි මානයක් තිබෙන්න පුළුවන්."

ගෝඨාගෝගම විරෝධතාවන් සංවිධානය කිරීම සඳහා දායකවූ 27-හැවිරිදි සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන බුවනක පෙරේරාට අනුව නම්, ඉදිරියේ දී කුමක් සිදුවුවත් 2022 විරෝධතා ව්‍යාපාරය ස්ථිර සලකුණක් තබා ඇත.

"මිනිස්සු රාක්ෂයන්ට එරෙහිව නැඟී ඉඳලා, ඔවුන්ට මැදඟිල්ල පෙන්නුවා," ඔහු පවසයි.

"ගෝඨාබයව ගෙදර යවන්න අපට පුළුවන් වුණා. මිනිස්සුන්ට පුළුවන් නම් ඔහුව එළවන්න, [හමුදා] කඳවුරුවල සහ දූපත්වල හැංගෙන්න එලවන්න පුළුවන් නම්, එතනින් එහාට පසුබහින්න බැහැ."