ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
2023 : ශ්‍රී ලංකාවේ කල දසාව කුමක් විය හැකි ද?
උග්‍ර ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින ශ්‍රී ලංකාව 2023 වසරට පිය නගන්නේ විසඳුම් නොලද ප්‍රශ්න රැසක් පොදි බැඳගෙන ය.
IMF ණය, චීන ණය ප්‍රතිව්‍යුගතකරණය, බදු ආදායම වැඩි කිරීම, ජීවන වියදම පාලනය, ව්‍යාපාර වැසීයාම වැළැක්වීම, විදුලි අර්බුදය, මානව හිමිකම් සුරැකීම, මැතිවරණ පැවැත්වීම, උද්ඝෝෂණ පාලනය මෙන් ම භූ දේශපාලනය වැනි ප්‍රශ්න රැසකට රජය මුහුණ දී සිටියි.
මෙම ප්‍රශ්නවලට සාර්ථකව විසඳුම් සෙවීමට රජයට ඇති හැකියාව මත 2023 වසරේ අනාගතය තීරණය වනු ඇතැයි යන්න ආර්ථික විචාරකයින්ගේ අදහස වේ.
ඉහළ යන ජීවන වියදම, බදු බර, පොහොර අර්බුදය, දෛනික විදුලි කප්පාදුව, රැකියා අහිමි වීම්, ණය පොළී ඉහළ යාම, මානව හිමිකම් උල්ලංඝණය වැනි ප්‍රශ්න හේතුවෙන් ජනතාව ද විශාල පීඩනයකින් 2023 වසරට පිය නගති.
ප්‍රශ්න රැසකින් මිරිකී සිටින ජනතාවට මේ වසර තුළදී වඩාත් අභියෝගාත්මක වන්නේ ආහාරපාන සපයා ගැනීම, දරුවන් පාසල් යැවීම, මාසික උපයෝගීතා බිල්පත් ගෙවීම, ණය වාරික ගෙවීමවැනි මූලික කටයුතු සඳහා අරමුදල් සපයා ගැනීම සම්බන්ධයෙන් ය.
ආර්ථික, කර්මාන්ත, මානව හිමිකම් සහ දේශගුණික යන අංශ ගත් විට 2023 වසර ශ්‍රී ලංකාවට තවත් අභියෝගාත්මක වසරක් වනු ඇතැයි යන්න නොඅනුමානය.
2023 ආර්ථික අභියෝගය
ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසන්නේ, 2023 නව වසරට පිවිසෙන්නේ අතිමහත් දුෂ්කරතා මෙන් ම අවිනිශ්චිතතාවන් සහ බලාපොරොත්තු සුන්වීම් හමුවේ ගත කළ වසරක් නිමා කරමින් බවය.
රටේ සිදූ වූ පෙර නොවූ විරූ ආර්ථික කඩා වැටීම හමුවේ අප සියලු දෙනාමත පැටවී ඇති විශාල බර සහ අප බහුතරයක් අත්විඳින ලද පසුබෑම පිළිබඳමනා වැටහීමක් තමා සතු බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි.
නමුත් දැනටමත් මෙම අයහපත් කාලය පසුකර තිබෙන බව තමා විශ්වාස කරන බවත් 2023 නව වසර මෙරට ආර්ථිකයේ නව හැරවුමක් සනිටුහන් කරන තීරණාත්මක වසරක් වනු ඇතැයි ජනාධිපතිවරයා සඳහන් කළේය.
2023 වසරට රජය පිය නගන්නේ IMF ණය පහසුකම ලැබෙනු ඇතැයි යන අපේක්ෂාවෙනි. එහෙත් 2022 වසරේ දෙසැම්බර් 31 වන දා දක්වාම ඒ සඳහා නිශ්චිත එකඟතාවක් ලැබී නොතිබිණි.
ජනවාරි මාසය තුළ එය ලැබීම ද අවිනිශ්චිතය.
රජය මුහුණ දෙන තවත් ප්‍රමුඛතම අභියෝගයක් වන්නේ 2023 වසර සඳහා පසුගිය වසරේ නොවැම්බර් මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමය.
ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ආයතනවලින් සහය ලබා ගැනීමට නම් රජයට අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇති බවය. ඒ අනුව ආදයම් 63% කින් වැඩි කර ගැනීම සඳහා රජය බදු ආදයම වැඩි කර ගත යුතුව තිබේ.
බදු අදායම වැඩි කර ගැනීමට නොහැකි වුවහොත් රජයට සිය ඉලක්කවලට ළඟා වීමට නොහැකි වනු ඇත.
මෙරට දළ දේශීය නිෂ්පාදිතයේ වටිනාකම ඩොලර් බිලියන 85කි. එය 2023 වසර තුළදී දළ වශයෙන් 9.2%කින් පමණ පහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව ඩොලර් බිලියන 50ක පමණ ආර්ථිකයක් දක්වා ශ්‍රී ලංකාව පහළට වැටෙනු ඇත.
කර්මාන්තශාලා තවදුරටත් වැසී ගියහොත් සේවකයින්ට තදුරටත් රැකියා අහිමි වෙනු ඇත.
“2022 කට වඩා 2023 අමාරුයි. බරපතළයි. අපි ගන්න තීරණ අනුව තමා හෙට දවස තීරණය වෙන්නේ.” යනුවෙන් වයඹ විශ්වවිද්‍යාලයයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පැවසුවේය.
“අපි අද ණය ගෙවන්නේ නැහැ. අපි අද ඩොලර් එක පාලනය කරලා තියෙන්නේ, ඩොලර් එක අතහැරියහොත් ඊළඟ මාර්තු වගේ වෙන කොට ඩොලර් එක රුපියල් 550 ටවගේ යයි කියලා කියනවා. ඩොලර් එක 550 ගියොත් ආයිත් පෙට්‍රල් වැඩි වෙනවා. ඛනිජ තෙල් සංස්ථාවේ පාඩුව වැඩි වෙනවා. රජය බලාපොරොත්තු වෙනවා ඩොලර් බිලියන 3ක් තමන්ගේ වත්කම් විකුණලා ලබා ගන්න. වෘත්තීය සමිති ඊට ඉඩ දෙයිද? ඛනිජ තෙල් සහ වරාය වෘත්තීය සමිති වර්ජනය කළොත් ආයෙත් අපේ ව්‍යාපාර වැටිලා , සංචාරක කර්මාන්තේ වැටිලා ඔක්කොම නැති වෙනවා.” මහාචාර්ය අමින්ද මෙත්සිල විස්තර කළේය.
“65%කින් විදුලි බිල වැඩි කළොත් අනිවාර්යයෙන් අපේ ගාමන්ට් ෆැක්ට්‍රීස් ටික ඉවරයි. අනික් පැත්තෙන් අපි කියනවා අපනයන නැහැ. නිෂ්පාදන වියදම වැඩි කියලා.”
“මේක ගැට ගැහිච්ච නූල් බෝලයක්. ඉස්සෙල්ලා හොයන්න ඕනේ මුල කොතනද කියලා. පිළිවෙළින් මේක දිග අරිනවා මිසක්. එක එක්කෙනාට ඕන විදිහට තැන් තැන්වලින් මේක අදින්න ගියොත් වෙන්නේ මේක තවත් ගැට ගැහෙනවා. ගැට ගගහා ඉන්නවා මිසක් තාම කොන හොයා ගෙන නැහැ.” යනුවෙන් මහාචාර්ය අමින්ද මෙත්සිල පැවසීය.
නැවත අරගලයක් ඇති වෙයි ද?
ජීවන වියදම, ආණ්ඩුවේ මර්දනකාරී වැඩපිළිවෙළට එරෙහිව දැනටමත් වර්ජන හා විරෝධතා පැවැත්වෙමින් තිබේ.
මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා සඳහන් කළේ, “මන්ත්‍රීවරුන්ට වරප්‍රසාද දෙන්න, ප්‍රභූ දේශපාලනය හා ඒ සැපතුළ තමා ජීවත් වෙන්න හදන්නේ. මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට උත්තර දෙන්නේ නැහැ. උත්තර දුන්නේ නැත්නම් ඊළඟ පාර උද්ඝෝෂණයට එන්නේ පරම්පරා දෙකක කට්ටිය.”
ඔහු පෙන්වා දුන්නේ “ඊළඟට උද්ඝොෂණ කරන්නේ කන්න නැතිව, ළමයි ඉස්කොලේ යවා ගන්න බැරිව, දේපළ සින්න වෙලා එවගේ දේවල්වලට. එතනදී අපේ බැංකු පද්ධතිය කඩා වැටෙන්න තියෙන අවස්ථා වැඩියි. මිනිස්සු සංවිධානය වෙලා ණය නොගෙවා හිටියොත්, බදු ගෙවන් නැතිව හිටියොත්, එවැනි තත්ත්වයකට ගියොත් එවැනි උද්ඝෝෂණ අර ගෝල්ෆේස් උද්ඝෝෂණයට වඩා හරි බරපතළයි,” යනුවෙනි.
“පසුගිය අවුරුද්දෙ ම ප්‍රශ්නයට විධිමත් විසඳුම් දැක්කෙ නැහැ. අයි.එම්.එෆ්. විතරක් දිහා බලන් ඉන්න විසඳුම් අපි දැක්කෙ. හැබැයි කිසි ම පිළියමක් නැහැ. අද වෙන කොට ඒක ඔප්පු වෙලා තියෙනවා. හැබැයි මිනිස්සුන්ට දැනෙන්නේ නැහැ. අපිට තෙල් ටික තියෙනවා. ගෑස් ටික තියෙනවා. පෝලිම් නැහැ. ඒවා නිසා මිනිස්සු හිතනවා ප්‍රශ්නය ඉවරයි කියලා. පැය එක හමාරක් දෙකහමාරක් ලයිට් නැහැ. මිනිස්සු ඒකට හුරු වෙලා. ඒවට විසඳුම් නැහැ. දවසින් දවස පල්ලෙහාට යනවා.” ඔහු පෙන්වා දුන්නේය.
“මේ අවුරුද්දෙත් මේ විදියට නම් ආර්ථිකය ගෙනියන්න බලාපොරොත්තු වෙන්නෙ අනිවාර්යයෙන් ජනතාව අප්‍රේල් මාසය වෙනකොට පාරට බහින්න ඕනේ. ජනතාව එක පැත්තකින් පාරට බහිනවා කන්න නැතිව. වෘත්තීය සමිති පාරට බහිනවා බදු ඇතුළු අනෙකුත් වියදම් සම්බන්ධයෙන්. අලුත් ජෙනරේෂන් එක තමන් මගින් නවත්තපු බැටල් එක ආයි අතට ගන්නවා. එහෙම ගත්තොත් මේ රට සම්පූර්ණයෙන් විනාශයි,” මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පැවසීය.
ඔහු අවධාරණය කළේ “රජය ජනවාරි මාසයේ හරි කමක් නැහැ. විසඳුම් හොයන්න යම් වැඩපිළිවෙළක් ආරම්භ කළොත් අඩු ම ගාණේ පොඩි කොන්ට්‍රෝල් එකක් තියෙයි. ඒක තීරණය වෙන්නේ ආණ්ඩුව ගන්න තීරණය අනුව," ලෙසයි.
මානව හිමිකම් අභියෝගය
2023 වසරේ සාමාන්‍ය ජනතාවට කෑම තියෙයි ද? බෙහෙත් තියෙයිද? විරෝධතා ඇති වෙයි ද? ආණ්ඩුවේ මර්දනය කෙසේ වෙයි ද? දූෂණය නතර කරන්නේ කොහොම ද? ආර්ථික අපරාධවලට එරෙහිව ආණ්ඩුව කෙසේ කටයුතු කරයි දැයි විමසා බැලිය යුතු බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ නීතිඥ භවානි ෆොන්සේකා පැවසුවාය.
“එක එක විදිහට මානව හිමිකම් සම්බන්ධ ප්‍රශ්න එන්න පුළුවන් ලංකාවට 2023 අවුරුද්දේ. මැතිවරණය තමා අලුත් ම ප්‍රශ්නය, මැතිවරණයක් තියෙයි ද? මිනිස්සුන්ට ඡන්ද භාවිත කරන්න පුළුවන් වෙයි ද? කියලා බලන්න ඕනේ. මැතිවරණයක් තියෙන්න අවශ්‍යයි.”
“ මැතිවරණයක් තියන්න ඕනේ. ඒ ප්‍රශ්නත් එනවා. ආර්ථික අපරාධ විතරක් නෙමේ ඉලෙක්ෂන් පැත්තෙනුත් එන්න පුළුවන්. මීට පෙර ලංකාවේ මැතිවරණ කල් දාන කොට උසාවියට ගියා ම උසාවිය කියලාතියෙනවා මැතිවරණයක් අවශ්‍යයයි කියලා. මානව අයිතිවාසිකම් උල්ලංඝණය වෙන්න පුළුවන් මැතිවරණයක් තිබ්බෙ නැත්නම් කියලා. හැම පුරවැසියෙකුට ම ඡන්දයට අයිතියක් තියෙනවා. ඡන්ද කල් දානකොට ඔය ප්‍රශ්න එනවා. 2023 ආර්ථික පැත්තෙන් සහ මැතිවරණ පැත්තෙන් ප්‍රශ්න එන්න පුළුවන්," භවානි ෆොන්සේකා සඳහන් කළාය.
ඇය පැවසුවේ, 2023 වසරේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට යෝජනාවක් ඉදිරිපත් නොවනු ඇති බවය.
එහෙත් මෙරට මානව හිමිකම් තත්ත්වය සහ ආර්ථික අපරාධ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ වාර්තා කෙරෙනු ඇතැයි ඇය පැවසුවාය.
“යෝජනාවක් එනවා නම් එන්නේ 2024. නමුත් අර්ථික අපරාධ ගැන අවධානය යොමු වෙයි. 2023 අවුරුද්දෙ ආර්ථික පැත්ත සහ මානව හිමිකම් සම්බන්ධයෙන් ලංකාවේ තත්ත්වය ගැන වාර්තා කිරීමක් වෙයි.”
“එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව අපිට ආධාර දෙන කොට මානව හිමිකම් තත්ත්වය ගැන බලයි. ආර්ථික අපරාධ ගැන ප්‍රශ්න එනවා ඉස්සරහට.” යනුවෙන් ඇය විස්තර කළාය.
“ඉතින් මේ අභියෝගවලට, 2023 මොනව ද ආණ්ඩුව කරන්න යන්නේ කියලා අපි බලන්න ඕනේ. ආර්ථික පැත්තෙන්, ආර්ථික අපරාධ, මානව හිමිකම්, නීතියේ ආධිපත්‍යය, කොහොම ද දූෂණය වළක්වන්නේ කියලා බලන්න ඕනේ.”
“2022 ත් අපිට හුඟක් ප්‍රශ්න තිබ්බා, 2023 ත් හුඟක් ප්‍රශ්න තියෙනවා ලංකාවට, ඒකට කොහොම ද ආණ්ඩුව මුහුණ දෙන්නෙ කියන එක තමා ප්‍රශ්නය”
2022 වසරේදී අපි හුඟක් දැක්කා හදිසි නීතිය, ත්‍රස්ත මර්දන නීතිය භාවිත කළා. ජනාධිපති ම කියලා තියෙනවා විරෝධතා තිබ්බොත් හමුදාව යොදවනවා කියලා. ලංකාවේ හුඟක් ප්‍රශ්න තියෙනවා, ආර්ථිකය පැත්තෙන් ප්‍රශ්න තියෙනවා. මිනිස්සුන්ට කෑම නැති වුණා ම විරෝධතා වැඩිවෙන්න පුළුවන්. ආණ්ඩුව විරෝධතා පවත්වන්න දෙයි ද? කොහොම ද කරන්නෙ කියලා බලන්න ඕනේ. හමුදාව යෙදෙව්වොත් ඒක ලොකු ප්‍රශ්නයක්. 2022 කරපු විදිහ බැලුව ම ආණ්ඩුව 2023දිත්එහෙම කරයි. ජනාධිපති ම කියලා තියෙනවානේ.” ඇය සඳහන් කළාය.
පෝෂණ අභියෝගය
එක්සත් ජාතීන්ට අනුව ශ්‍රී ලංකාව 1948දී නිදහස ලබා ගැනීමෙන් පසු එහි දරුණුතම ආර්ථික අර්බුදය අත්විඳිමින් සිටී.
ලෝක ආහාර වැඩසටහනට අනුව මෙරට ලක්ෂ 60 කට වැඩි ජනතාවක් - ජනගහනයෙන් සියයට 30 කට ආසන්න පිරිසකට දැනට ආහාර අනාරක්ෂිත වන අතර මානුෂීය ආධාර අවශ්‍යව තිබේ.
දේශීය කෘෂිකාර්මික නිෂ්පාදනය අඩුවීම, විදේශ විනිමය සංචිතවල හිඟකම සහ දේශීය මුදල් අවප්‍රමාණය වීම ආහාර හිඟය සහ ජීවන වියදම ඉහළ යාමට හේතු වී ඇති අතර එමගින් සෞඛ්‍ය සම්පන්න සහ දැරිය හැකි ආහාර සඳහා ජනාතාවට ඇති ප්‍රවේශය සීමා කර ඇත.
ආර්ථික අර්බුදය හේතුවෙන් පවුල් සාගින්න හා දරිද්‍රතාවට තල්ලු කර තිබේ. ලෝක බැංකුව ඇස්තමේන්තු කර ඇති ආකාරයට වසංගතය හේතුවෙන් මෙරට මිලියන භාගයක ජනතාව දරිද්‍රතා රේඛාවෙන් පහළට වැටී ඇත.
ලෝක ආහාර වැඩ සටහනේ නවතම තක්සේරුව හෙළි කරන්නේ පවුල්වලින් සියයට 86ක් මිල අඩු සහ අඩු පෝෂ්‍යදායී ආහාර මිල දී ගන්නා බවයි. ඇතැම් අවස්ථාවල ආහාර වේල් සම්පූර්ණයෙන් ම මග හරින බව ද අදාළ වාර්තාව අනාවරණය කරයි.
ආර්ථික අර්බුදයට සහ වසංගතයට පෙර, ශ්‍රී ලංකාව පුරා මන්දපෝෂණ අනුපාතය ඉහළ මට්ටමක පැවතිණි. පවතින ආර්ථික අර්බුදය මෙය තවත් උග්‍ර කරනු ඇත.
එබැවින් 2023 වසරේදී ජනතාවගේ පෝෂණය සම්බන්ධයෙන් සහ සැමට ආහාර පාන සැපයීම සම්බන්ධයෙන් රජයට විශාල වගකීමක් පැවරෙනු ඇත.
දේශගුණික අභියෝගය
මෑත කාල සීමාව තුළ ආන්තික කාලගුණ තත්ත්වයන් හේතුවෙන් ශ්‍රී ලංකාව විවිධ ආපදාවන්ට මුහුණ දුන්නේය.
නියඟය, ගංවතුර සහ නායයාම් වැනි ආන්තික කාලගුණික තත්ත්වයන් ආහාර හා පෝෂණ අනාරක්ෂිතභාවය ඉහළ නංවයි.
එම නිසා 2023 වසරේදී දේශගුණික අභියෝගයන්ට සාර්ථිකව මුහුණ දීමට ද ශ්‍රී ලංකාවට සිදුවනු ඇත.
මේ වන විට ලානිනා තත්ත්වය දුර්වල වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අනුෂා වර්ණසුරිය පැවසුවාය. එය 2020 වසරේ සිට වසර තුනක් අඛණ්ඩව පැවතිණි.
“ලානිනා දුර්වල වීමත් සමග මෙරට කාලගුණයට තියෙන බලපෑම අඩුයි. ඒක තිබ්බනම් වැස්ස හොඳයි, ජනවාරි පෙබරවාරි. ඒකෙ බලපෑමෙන් වැස්ස වැඩිවීම නැතිව යනවා.” දැනට සාමාන්‍ය වර්ෂාපතනයක් බලාපොරොත්තු වන බව ඇය සඳහන් කළාය.
පෙබරවාරි, මාර්තු, අප්‍රේල් දක්වා තද වැසි අපේක්ෂා කළ නොහැකි බවත් මැයි මාසයේ දී වර්ෂාව බලාපොරොත්තුවන බවත් ඇය පැවසුවාය.
දැනට මෙරට වාරි ජලාශවල ජල මට්ටම 55% - 60% අතර පවතී.