ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බුද්ධි ගලනය රටට අනතුරක් ද ?
'ආසියාවේ ආශ්චර්ය', 'සෞභාග්‍යමත් දේශයක්' සහ 'ඉන්න හිතෙන රටක්' ආදී විවිධ නාමික ආමන්ත්‍රණයන් ඔස්සේ පසුගිය කාලය පුරා ශ්‍රී ලංකාව ගොඩනැගීමට පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් දුන් පොරොන්දු වචනවලට පමණක් සීමා වූ පසුබිමක, බොහෝ ලාංකිකයින් පිරිසක් මේවන විට රට හැර යමින් සිටින බව නොරහසකි.
උගත් බුද්ධිමත් පිරිස රට හැරයාම හමුවේ මෙරට ඇතිවිය හැකි සමාජ, ආර්ථික හා දේශපාලනික බලපෑම කඩිනම් අවධානයට ලක් විය යුතු කරුණකි.
ගෝඨාභය රාජපක්ෂ පාලන සමය තුළ ගත් වැරදි අදූරදර්ශී තීරණ, රටට මෙම ඉරණම උදාවීමට බලපෑ බව පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදහස් දක්වමින් දේශපාලන වේදිකාවල දී පවසයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද පසුගිය 16 වැනිදා නාවලපිටියේදි කියා සිටියේ "අපිටත් වැරදුන තැන් තියෙනවා. අපි ඒක පිළිගන්නවා."යනුවෙනි.
වැරදි තීරණ හේතුවෙන් ආහාර සුරක්ෂිතතාව බිඳ වැටුණු අතර ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස උද්ධනමය ඉහළ ගොස් තිබේ. ආහාර උද්ධමනය මේ වන විට 94% ඉක්මවා ගොස් ඇත. වෙනත් මුදල් ඒකකවලට සාපෙක්ෂව රුපියලේ අගය දැඩි පසුබෑමකට ලක්විය. විදෙස් සංචිත අවසන් අඩියටම පහත වැටී තිබේ.ඉන්ධන නැවක් කොළඹ වරායට පැමිණෙන තුරු ඊට මුදල් සොයා ගැනීමට නොහැකි තරමටම රට ආර්ථික බංකොලොත් භාවයට වැටී ඇත. විදෙස් ණය ගෙවා ගැනීමට නොහැකි බව මහ බැංකු අධිපතිවරයා නිවේදනය කළේය.
රටේ තරුණ ප්‍රජාවගේ බලාපොරොත්තු බොහොමයක් මේ වන විට සිහින බවට පත්ව තිබේ. එවැනි පසුබිමක් තුළ ඇති හැකි මෙන්ම උගත් වෘත්තීයවේදීන් හා බුද්ධිමතුන් රට හැර යෑම නතරකළ නොහැකි තත්ත්වයක් බවට පත්ව තිබේ.
විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට දිනපතා ඇති පෝලිම සහ විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ඔන්ලයින් ඔස්සේ දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීමට උත්සහ කිරීමේදී ඇති ඉල්ලුම සලකා බැලීමේදී විදෙස්ගත වීම සඳහා ජනතාව දරණ උත්සාහය මනාව පැහැදිලි වෙයි.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව 2022 වසරේ මුල් මාස 9 තුළ නිකුත් කර ඇති විදෙස් ගමන් බලපත්‍ර සංඛ්‍යාව හත් ලක්ෂයකට අධික වේ.
2021 වසරේ නිකුත් කරන ලද විදෙස් ගමන් බලපත්‍ර සංඛ්‍යාව ලක්ෂ 4ක් පමණ විය.
2022 වසරේ දත්තවලට අනුව පිරිමි පුද්ගලයින් හාරලක්ෂයකට අධික පිරිසක් සහ දෙලක්ෂයකට අධික කාන්තාවන් පිරිසක් විදෙස් ගමන් බලපත්‍ර ලබා ගෙන තිබේ.
වැඩිම විදෙස් ගමන් බලපත්‍ර සංඛ්‍යාවක් නිකුත් කර ඇත්තේ පසුගිය අගෝස්තු මාසයේ වන අතර එම සංඛ්‍යාව 15,286කි.
මෙරට ආර්ථිකය අර්බුදයට ලක්වීම ආරම්භයත් සමඟ ඇති හැකි අය බොහෝ දෙනෙක් විදේශගත වූහ. ඇතමුන් සිය පවුලේ සාමාජිකයින් සමඟම විදෙස් රටවලට ගොස් තිබේ.
ඒ අතරට මහාචාර්යවරුන්, ආචාර්යවරුන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවරුන්, වරලත් ගණකාධිකාරීවරුන් ඇතුලු වෘත්තියවේදීහූ විශාල පිරිසක් වෙති.
330,000 ක් විදෙස් රැකියා සඳහා යැවීමට ඉලක්කයක්...
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ දත්තවලට අනුව 2022 වසරේ මුල් මාස 09 තුළ විදේ රටවල රැකියා සඳහා ගොස් ඇති ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සංඛ්‍යාව 240,000 ඉක්මවයි.
මේ වසර තුළදී 300,000 - 330,000ත් අතර ශ්‍රමිකයින් සංඛ්‍යාවක් විදෙස් රැකියා සඳහා යැවීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය ඉලක්ක කර තිබේ.
මීට පෙර වැඩිම පිරිසක් විදෙස් රැකියා සඳහා ගොස් තිබුණේ 2014 වසරේදීය.
මේ වසර තුළදී එම වාර්තාව අභිබවා යෑමට හැකි වෙතැයි අපෙක්ෂා කරන බව විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේය.වැඩිම පිරිසක් විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් තිබුණේ මැද පෙරදිග කලාපයේ රටවලටය.
අධ්‍යාපන, සෞඛ්‍ය සහ ඉදිකිරීම් ක්ෂේත්‍ර බිඳ වැටෙයිද?
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අනාවරණය කළේ, "මේ වෙනකොට වෛද්‍යවරු 400කට වඩා රට හැර ගිහිල්ලා. ඒ ගොල්ලෝ ගියා කියලා මේ රටට ඩොලර් එන්නේ නැහැ. ඒ ගොල්ලෝ පවුල් අරන් යන්නේ"
ඔහු පෙන්වා දුන්නේ "සෞදියට ගියොත් ලංකාවේ ඉංජිනේරුවෙක් රුපියල් ලක්ෂ 20ක මාසික වැටුපක් ගන්නවා. එතකොට සෞදියට ගිහිල්ලා ලක්ෂ 20ක් හොයන්න පුලුවන්කම තියෙද්දි තමා එක් ලක්ෂ පනස් දහසකට මෙහෙ වැඩ කරන්නේ."
"අර ඉන්න ඉංජිනේරුවට බදු ගහද්දි මොකද වෙන්නේ, ඉංජිනේරුවෝ බුරුතු පිටින් රට හැර යන්න පටන් ගන්නවා. තුනෙන් එකක්වත් අන්තිමට ඉතුරු වෙන්නේ නැහැ." පුබුදු ජයගොඩ අවධාරණය කළේය.
ඔහු පෙන්වා දුන්නේ, "අචාර්යවරු, මහාචාර්යවරු ගොඩක් අය ලංකාවෙන් යනවා. එතකොට මේක විසින් බුද්ධිගලනයක් වෙනවා විතරක් නෙමේ. අධ්‍යාපනය , උසස් අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය, ඉදිකිරීම් ක්ෂේත්‍රය පූර්ණ බිඳ වැටීමකට ලක්වෙනවා."
විශේෂඥ වෛද්‍යවරුන් 299 යළි නොපැමිණෙයිද?
රාජ්‍ය සේවයේ විශ්‍රාමයෑමේ වයස අවුරුදු 60කට අඩුකිරීමේ තීරණය හේතුවෙන් මෙම වසරේ දෙසැම්බර් 31 වැනිදා විශේෂඥ වෛද්‍යවරුන් 249 දෙනකු විශ්‍රාමයාමට නියමිතය.
ඒ හේතුවෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය තවත් උග්‍ර වනු ඇති බවත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙයි.
විදේශීය පුහුණුව නිම කර ලබන වසරේදී මෙරටට නැවත පැමිණෙතැයි අපේක්‍ෂිත විශේෂඥ වෛද්‍යවරුන් 299 ක ප්‍රමාණයෙන් මෙම හිඟය සපුරාගැනීමට හැකි බවට අදහස් කළත් එය එසේ නොවනු ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර ප්‍රනාන්දු සඳහන් කළේය.
මෙම විශේෂඥ වෛද්‍යවරුන් සියලු දෙනා ජනවාරි මස මෙරටට නොපැමිණෙන අතර එය වසර පුරාම සිදුවන ක්‍රියාවලියක් බව ඔහු පැවසීය.
රටේ වත්මන් තත්ත්වය අනුව එම සියලුම වෛද්‍යවරුන් නැවත මෙරටට පැමිණීම ගැන සුබවාදී බලාපොරොත්තු තැබිය නොහැකි බවද ඔහු පෙන්වා දුන්නේය.
විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු සඳහන් කළේ, එම වෛද්‍යවරුන්ගෙන් ද යම් ප්‍රමාණයකට විශේෂඥ වෛද්‍ය පුහුණුව සම්පූර්ණ කිරීම සඳහා මෙරටදී යම් කාලයක් පුහුණු කළ යුතු බැවින් පැමිණි විගස ඔවුන් වැඩබලන විශේෂඥ වෛද්‍යවරුන් ලෙස හෝ පත්කළ නොහැකි බවය.
එමෙන්ම අලුත පත්වීම් ලබන වෛද්‍යවරුන් මෙරටදී පශ්චාත් උපාධි ප්‍රවේශ විභාග සඳහා අයදුම් නොකර, ඔස්ට්‍රේලියානු AMC සහ බ්‍රිතාන්‍ය PLAB විභාග සඳහා පෙනී සිටිමට සූදානම් බවද ඔහු සඳහන් කළේය.
ඔහු කියා සිටියේ නවක වෛද්‍යවරුන් සැලකිය යුතු පිරිසක් බොහෝ දුරට මෙරටින් පිටව යෑමට නියමිත බවය.
මෙම තත්ත්වය තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශාල අර්බුදයක් නිර්මාණය වීමේ අවදානමක් ඇතැයි, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙයි.
රටහැර යාමක් නොවේ...
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය සමත් ධර්මරත්න පැවසුවේ, නිශ්චිත සංඛ්‍යාලේඛන නොමැති වුවත්, වෛද්‍යවරුන් හා හෙදියන් විදේශගත වීමේ වැඩිවීමක් පෙන්නුම් කරන බවයි.
එහෙත් එය රට හැර යෑමක් නොවන බව ඔහු සඳහන් කළේය. මහාචාර්යවරයා පෙන්වා දුන්නේ, වැඩි දෙනෙක් වසර 5ක නිවාඩු ලබා විදෙස් ගත වී ඇති බවයි.
වෛද්‍යවරුන් විදේශ රටවල යෑම දිගින් දිගටම සිදුවූ ක්‍රියාවක් බවද ඔහු සඳහන් කළේය.
ඔහු පෙන්වා දුන්නේ, බ්‍රිතාත්‍ය වැනි රටවලට මෙරටින් හෙද සේවය සඳහා යෑමේ වැඩි ප්‍රවණතාවක් ඇති බවයි.
මෙරට නව වෛද්‍ය පීඨ දෙකක් ආරම්භ කිරීම සහ වාර්ෂිකව වැඩි වෛද්‍යවරුන් සංඛ්‍යාවක් විශ්ව විද්‍යාල වලින් පිටවන බවද ඔහු පැවසීය.එය මෙරට පවතින පුරප්පාඩු සංඛ්‍යාවටත් වඩා වැඩි විය හැකි බවද මහා චාර්යවරයා පෙන්වා දුන්නේය.
එැබැවින් මෙය විශාල ගැටලුවක් නොවනු ඇතැයි ඔහු සඳහන් කළේය.
බුද්ධි ගලනය අනතුරක් නොවේ…!
කෙසේවෙතත් බුද්ධි ගලනය රටට අනතුරක් නොවන බව වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු රවී කුමුදේශ් සඳහන් කළේය. ඔහු පෙන්වා දුන්නේ එය රටට ඇති අවස්ථාවක් බවයි.
සෞඛ්‍ය සේවය පැත්තෙන් 'බුද්ධි ගලනය' වැඩි කළහොත් විශාල විදේශ විනිමයක් සොයා ගැනීමට හැකි බව ඔහු සඳහන් කළේය.
රවී කුමුදේශ් පෙන්වා දුන්නේ "බුද්ධි ගලනයක් වෙනවා නෙමේ, බුද්ධි ගලනයක් කර විය යුතුයි. බුද්ධිමතුන් බිහිකරලා පිටරට ට තල්ලුකරන එක කරන්න ඕනේ.. විදේශ විනිමය හොයා ගන්න."
"අපිට තියෙන ලොකුම සම්පත තමා අපේ රටේ අධ්‍යාපනයට තාම ගරු කරනවා ලෝකේ හැම තැනම. අපේ රටේ වෛද්‍යවරයෙක් හැඳුවාම ඒ වෛද්‍යවරයාට, MLTට , ඖෂධවේදීන්ට ලොකු පිලිගැනීමක් තියෙනවා. අපිට ඕනෑ තරම් නිෂ්පාදනය කරන්න ඒලෙවල්, ඕලේවල්, කරපු අය ඉන්නවා. හොඳ උපාධි අරන් රස්සාවල් නැති අය ඉන්නවා"
ඔහු වැඩිදුරටත් පැවසුවේ බුද්ධි ගලනය උපක්‍රමයක් විදහට භාවිතා කළ යුතු බවයි. "බුද්ධි ගලනය අපි උපක්‍රමයක් විදහට කරන්න ඕනේ. අපි මිනිස්සු එහෙම නිෂ්පාදනය කරලා යැව්වොත් අපේ රටේ ආර්ථික ප්‍රශ්නය අපිට අවුරුදු දෙකකින් තුනකින් ජය ගන්න පුලුවන්. ඒක තමා දැන් අපිට තියෙන ස්මාර්ට්ම උත්තරය." ඔහු පෙන්වා දුන්නේය.