අල්කයිඩා නායක අයිමාන් අල් සවාහිරි අමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් මරුට

Osama Bin Laden and Ayman al-Zawahiri - 2001

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, බින් ලාඩන් (වමේ) සහ සවාහිරි එක්ව එක්සත් ජනපදයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළ අතර 9/11 ප්‍රහාරය සංවිධානය කළහ.

ඇෆ්ගනිස්ථානයේදී කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් අල්කයිඩා නායක අයිමන් අල් සවාහිරි ඇමරිකාව විසින් ඝාතනය කළ බව ජනාධිපති ජෝ බයිඩන් තහවුරු කළේය.

පසුගිය ඉරිදා ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවරදී CIA සංවිධානය විසින් සිදු කරන ලද ත්‍රස්ත විරෝධී මෙහෙයුමකදී ඔහු මිය ගියේය.

සවාහිරි "ඇමරිකානු පුරවැසියන්ට එරෙහිව මිනීමැරුම් සහ ප්‍රචණ්ඩත්වය පතුරුවා ඇති" බව බයිඩන් පැවසීය.

"දැන් යුක්තිය ඉටු වී ඇති අතර මෙම ත්‍රස්තවාදී නායකයා තවදුරටත් අප අතර නැහැ," ඔහු තවදුරටත් පැවසීය.

සවාහිරි 2011 ඔසාමා බින් ලාඩන්ගේ මරණින් පසු අල්-කයිඩාව භාර ගත්තේය. ඔහු සහ බින් ලාඩන් එක්ව 9/11 ප්‍රහාරය සැලසුම් කළ අතර ඔහු එක්සත් ජනපදයට අත්‍යවශ්‍යව සිටි ත්‍රස්තවාදීයෙකි.

සවාහිරි ආරක්ෂිත නිවසක බැල්කනියේ සිටියදී ඩ්‍රෝන යානය ඔහුට මිසයිල දෙකක් එල්ල කළ බව නිලධාරීහු පැවසූහ.

පවුලේ අනෙකුත් සාමාජිකයන් එහි සිටි නමුත් ඔවුන්ට කිසිදු හානියක් සිදු නොවී ඇති අතර ප්‍රහාරයෙන් මිය ගියේ සවාහිරි පමණක් බව ඔවුහු වැඩිදුරටත් පැවසූහ.

මාස ගණනක සැලසුම් වලින් පසු 71 හැවිරිදි අල්කයිඩා නායකයාට එල්ල කළ "සාර්ථක ප්‍රහාරය" සඳහා තමා අවසන් අනුමැතිය ලබා දුන් බව බයිඩන් පැවසීය.

ඔහුගේ ඝාතනය 2001 ප්‍රහාරයට ගොදුරු වූ 3,000 කට ආසන්න සංඛ්‍යාවක පවුල්වලට සාධාරණය ඉටු කිරීමක් වනු ඇතැයි බයිඩන් පැවසීය.

"කොපමණ කාලයක් ගත වුවත්, ඔබ කොතැනක සැඟවී සිටියත්, ඔබ අපේ ජනතාවට තර්ජනයක් නම්, එක්සත් ජනපදය ඔබව සොයාගෙන ඔබව ඉවත් කරනු ඇත," බයිඩන් පැවසීය, "අපගේ ජාතිය සහ එහි ජනතාව ආරක්ෂා කරන්න අපි කිසි විටෙකත් පසුබට වෙන්නේ නැහැ".

සවාහිරි වෙනත් ප්‍රචණ්ඩ ක්‍රියා ද සැලසුම් කර ඇති බව බයිඩන් පැවසීය. එක්සත් ජනපද නාවිකයින් 17 දෙනෙකුට මරු කැඳවමින් 2000 ඔක්තෝම්බර් මාසයේදී ඒඩන්හි USS කෝල් යුධ නෞකාවට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සහ පුද්ගලයන් 223කට මරු කැඳවූ 1998 කෙන්යාවේ සහ ටැන්සානියාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලවලට එල්ල වූ ප්‍රහාරය ඒ අතර වේ.

ඔහු තරයේ අවධාරණය කළේ ඇෆ්ගනිස්ථානය යළි කිසි දිනෙක ත්‍රස්තවාදීන්ගේ තෝතැන්නක් බවට පත් නොවනු ඇති බවයි.

The alleged location of the US strike
ඡායාරූප ශීර්ෂ වැකිය, බීබීසීයේ ඇෆ්ගනිස්ථාන වාර්තාකරු, සෙකන්දර් කර්මනි, කාබුල්හි ප්‍රහාරය සිදුවූ බවට සැක කෙරෙන ස්ථානයට ගියේය.

තලේබාන් ප්‍රකාශකයෙකු විසින් එක්සත් ජනපද මෙහෙයුම විස්තර කළේ ජාත්‍යන්තර සාරධර්ම පැහැදිලිවම උල්ලංඝණය කිරීමක් ලෙසයි. නමුත් එම ප්‍රකාශකයා සවාහිරි ගැන සඳහන් කළේ නැත.

"මෙවැනි ක්‍රියාවන් පසුගිය වසර 20 ක අමිහිරි අත්දැකීම් යළි සිහිපත් කිරීමක් වන අතර එය ඇමරිකා එක්සත් ජනපදයේ, ඇෆ්ගනිස්ථානයේ සහ කලාපයේ සාරධර්මවලට පටහැනියි," ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත්, මෙම මෙහෙයුමට නීතිමය පදනමක් ඇති බව එක්සත් ජනපද නිලධාරීන් කියා සිටියේය.

සවාහිරි ඝාතනය සිදුවන්නේ වසර 20ක් අවසානයේ බයිඩන්ගේ නියෝගය මත අමෙරිකානු හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් වී වසරකට ආසන්න කාලයකට පසුවය.

2020 දී එක්සත් ජනපදය සමඟ ඇති කරගත් සාම ගිවිසුමක් යටතේ, තලේබාන් සංවිධානය අල්කයිඩා හෝ වෙනත් අන්තවාදී කණ්ඩායමකට තම පාලනය යටතේ පවතින ප්‍රදේශවල ක්‍රියාත්මක වීමට ඉඩ නොදීමට එකඟ විය.

කෙසේ වෙතත්, තලේබාන් සහ අල්-කයිඩා යනු දිගුකාලීන මිතුරන් වන අතර එක්සත් ජනපද නිලධාරීන් පැවසුවේ සවාහිරි කාබුල්හි සිටින බව තලේබාන් සංවිධානය දැන සිටි බවයි.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පැවසුවේ සවාහිරිට කාබුල්හි සත්කාරකත්වය ලබා දීමෙන් සහ නවාතැන් දීමෙන් තලේබාන් සංවිධානය සාම ගිවිසුම "දැඩි ලෙස උල්ලංඝණය කර ඇති" බවයි.

අයිමන් අල්-සවාහිරි යනු

Al-Qaeda

අයිමන් අල්-සවාහිරි අල්-කයිඩාවේ මතවාදය මෙහෙයවූ පුද්ගලයායි.

සටන්කාමී ඉස්ලාමයට සම්බන්ධ වීම නිසා 1980 ගණන්වල සිරගත කරනු ලැබූ ඊජිප්තු වෛද්‍යවරයකු වූ ඔහු නිදහස ලැබීමෙන් පසු රට හැර ගොස් ජාත්‍යන්තර ජිහාඩ් ප්‍රචණ්ඩ ව්‍යාපාරවලට සම්බන්ධ විය.

අවසානයේ ඇෆ්ගනිස්ථානයේ පදිංචි වී ඔහු සෞදි ජාතික ධනවතකු වන ඔසාමා බින් ලාඩන් සමඟ එකතු විය. ඔවුන් එක්සත් ජනපදයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළ අතර 2001 සැප්තැම්බර් 11 දින ක්‍රියාත්මක වූ ප්‍රහාරය සැලසුම් කළහ.

එක්සත් ජනපදයට බින් ලාඩන් ලුහුබැඳ ගොස් මරා දැමීමට දශකයක් ගත විය. ඉන් පසුව, සවාහිරි අල්-කයිඩාවේ නායකත්වය භාර ගත් නමුත්, ඔහු දුරස්ථ හා සුළු චරිතයක් පමණක් විය. ඔහු කළේ ඉඳහිට පණිවිඩ නිකුත් කිරීම පමණි.

පසුගිය වසරේ ඇෆ්ගනිස්ථානයෙන් අවුල් සහගත ලෙස ඉවත් වීමෙන් පසුව සිදුවූ මෙම ඝාතනය එක්සත් ජනපදය තම ජයග්‍රහණයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ඇත. මන්ද, ඉස්ලාමීය රාජ්‍ය වැනි නව කණ්ඩායම් සහ ජනතා ව්‍යාපාර වඩ වඩාත් බලගතු වී ඇති පසුබිමක සවාහිරි සැලකිය යුතු බලයක් දැරූ බැවිනි. ඔහුගෙන් පසු නව අල්-කයිඩා නායකයෙකු බිහිවනු ඇති බවට සැකයක් නැත. එනමුත් නවකයා සහාහිරිට සහ බින් ලාඩන්ට වඩා අඩු බලයක් ඇති අයෙක් වනු ඇත.

ඊජිප්තු ඉස්ලාමීය ජිහාඩ් සටන්කාමී කණ්ඩායම ඇරඹීමට උදව් කළ අක්ෂි ශල්‍ය වෛද්‍යවරයකු වූ සවාහිරි, 2011 මැයි මාසයේදී එක්සත් ජනපද හමුදා විසින් බින් ලාඩන් මරා දැමීමෙන් පසු අල්කයිඩාවේ නායකත්වය භාර ගත්තේය.

ඊට පෙර, සවාහිරි බොහෝ විට හැඳින්වූයේ බින් ලාඩන්ගේ දකුණු හස්තය සහ අල්-කයිඩාවේ ප්‍රධාන මතවාදියා ලෙසිනි.

සමහර ප්‍රවීණයන් විශ්වාස කරන්නේ 2001 සැප්තැම්බර් 11 ප්‍රහාරය පිටුපස සිටි මහ මොළකරු ඔහු බව යි.

බයිඩන්ට සංකේතාත්මක මොහොතක්

ඇමරිකාව ඇෆ්ගනිස්ථානයෙන් ඉවත්ව වසරකට පසුව සිදුවූ මෙම සිදුවීම ජෝ බයිඩන්ට සුවිශේෂී සන්ධිස්ථානයකි. 2011 දී උප ජනාධිපති ලෙස ඔසාමා බින් ලාඩන් මරා දැමීමේ මෙහෙයුමේ ඡායාරූපයක පෙනී සිටි ඔහු දැන් ජනාධිපති ලෙස වත්මන් අල්-කයිඩා නායකයා ඩ්‍රෝන් ප්‍රහාරයකින් මරා දැමූ බව නිවේදනය කර ඇත.

මෙහි අර්ථය කුමක් වුවත් ඔහුගේ පවතින දුර්වලතා හමුවේ එය වඩාත් උපායමාර්ගික වාසියක් වනු බව නිසැකය. සවාහිරි කාබුල්හි සිටීම පිළිබඳව ජ්‍යෙෂ්ඨ තලේබාන් නායකයින් කොතරම් දැන සිටියාද යන්න සහ ඔවුන් සැපයූ ආධාර මොනවාද යන්න පිළිබඳව පර්යේෂණයක් පවත්වනු ඇත.

ඩ්‍රෝන ප්‍රහාරයෙන් පසු තලෙයිබාන් හි අනුබද්ධිතයන් සවාහිරි සිටි නිවසට ගොස් සාක්ෂි වසන් කිරීමේ උත්සාහයක නිරතව ඇති බවට ද පසුබිම් සාකච්ඡාවලදී ජ්‍යෙෂ්ඨ එක්සත් ජනපද නිලධාරීන් පැවසීය.

දශක දෙකකට වඩා ගතවී තිබු, සවාහිරි මහ මොළකරු වූ 9/11 ප්‍රහාරය බයිඩන්ගේ කතාවේ දී වැඩි වශයෙන් සඳහන් කෙරුණ ද තලෙයිබාන් රජයක් දැන් බලයෙහි සිටියි. අමෙරිකාව ද තම හමුදාවන් ඉවත් කරගෙන තිබුණ ද තවදුරටත් පුළුල් හමුදා ක්‍රියාමාර්ග ගැනීමෙහි නිරතව සිටින ආකාරය ද දකින්නට ලැබේ.

"ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය" තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතියි.

පසුගිය අගෝස්තුවේ හමුදාවන් ඉවත් කරගැනීමෙන් පසු එක්සත් ජනපදය ඇෆ්ගනිස්තානය තුළ දියත් කළ පළමුවැන්න මෙම ඩ්‍රෝන ප්‍රහාරය යි.

ඇෆ්ගනිස්තානයෙන් ඉවත් වීමට දින කිහිපයකට පෙර, වැරදි ගණනය කිරීමක් මත එක්සත් ජනපදය දියත් කළ ඩ්‍රෝන ප්‍රහාරයක් නිසා කාබුල් හි සිවිල් වැසියන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය. ඒ අතර සහන සේවකයෙකු සහ ළමුන් හත් දෙනෙක් ද වූහ. එක්සත් ජනපදය පැවසුවේ එය "ඛේදනීය අත්වැරැද්දක්" බවත්, එම ප්‍රහාරය ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායමේ ප්‍රාදේශීය ශාඛාවක් ඉලක්ක කර ගත් ප්‍රහාරයක් බවත් ය.

වීඩියෝ ශීර්ෂ වැකිය, 'යුක්තිය ඉටු වී ඇත' සවාහිරි ඝාතනය ගැන අදහස් දක්වමින් බයිඩන් කීය.