කොටුව ජනාධිපති මන්දිරය ගැන මේ තොරතුරු ඔබ දැන සිටියාද?

කොටුව ජනාධිපති මන්දිරය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ජූලි 09 වැනිදා අරගලකරුවන් කොටුව ජනාධිපති මන්දිරය අත්පත් කර ගැනීමෙන් පසු එය සියැසින් දැක ගැනීම සඳහා නන් දෙසින් දහස් සංඛ්‍යාත පිරිසක් වැල නොකැඩී පැමිණිමෙන් සිටිති. ඊයේ රාත්‍රියේත්, අදත් විශාල පිරිසක් ජනාධිපති මන්දිරය සියැසින් දැකගැනීමට වැලනොකැඩී පැමිණෙමින් තිබේ.

සුන්දර පරිසරයක පිහිටි, කොටුව ජනාධිපති මන්දිරය ඓතිහාසිකව වැදගත් වූ ස්ථානයක් ලෙස සැලකෙයි.

පොදු ජනතාව තුළ ජනපති මන්දිරය ගැන කුතුහලයක් පවතින්නේ එය සාමාන්‍යයෙන් ඔවුන්ට නැරඹීමට ඉඩක් නොලැබෙන නිසාවෙනි.

ලන්දේසි ආණ්ඩුකාරවරයෙක්, ඉංග්‍රීසි ආණ්ඩුකාරවරු 30 දෙනෙක්, නිදහසින් පසු ජනාධිපතිවරු හත් දෙනෙකු මෙහි වාසය කර ඇත.

ඉතිහාසය

කොළඹ, කොටුව ජනාධිපති මන්දිරය හෙවත් රජ ගෙදර අතීතයේ කිංග්ස් හෝ ක්වීන්ස් හවුස් ලෙස හැඳින්විය.

මෙය යටත්විජිත සමයේ පටන්ම මෙරට රාජ්‍ය නායකයන්ගේ නිල නිවස ලෙස යොදාගත් මන්දිරයයි.

ඉංග්‍රිසි පාලන සමයේ දී ඔවුන්ගේ ආණ්ඩුකාරවරු මෙහි වාසය කළ අතර නිදහසින් පසු රටේ ජනාධිපතිවරු එය නිල නිවස ලෙස භාවිත කළහ.

අවසාන ලන්දේසි ආණ්ඩුකාරයා වූ එංගල් බීක් විසින්, කොළඹ වරායට යාබදව පිහිටි මෙම භූමියේ මුලින්ම දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකර තිබේ.

එයට පෙර මෙම ස්ථානයේ ශාන්ත ප්‍රැන්සිස් දේවස්ථානය පිහිටා තිබුණේය.

දේවස්ථානයට යාබදව පිහිටා ඇත්තේ සුසාන භූමියකි.

පෘතුගීසි සමයේ දොන් ජුවන් ධර්මපාල රජු ආදාහනය කරනු ලැබුවේ මෙම ස්ථානයේ බව පැවසෙයි.

ඒ අනුව මෙය සුසාන බිමක ඉදිකළ රාජකීය මන්දිරයක් ලෙසද සැලකෙයි.

ඉංග‍්‍රීසීන් කොළඹ කොටුව යටත් කරගන්නා විට පවා එංගල් බීක් ලන්දේසි ආණ්ඩුකාරයා මෙම නිවස අතනොහැරි බව සඳහන් වෙයි.

පසුව මේ මන්දිරය ඔහුගේ මිණිපිරිය වූ ජැකොමිනාට අයත් වී තිබේ.

ඇය විවාහ වී සිට ඇත්තේ ඉංග‍්‍රීසී ආණ්ඩුවේ සිවිල් නිලධාරියෙකු වූ ජෝර්ජ් මෙල්වින් ලෙස්ලි සමඟින්ය.

ඔහු ප‍්‍රධාන ආදායම් නිලධාරි ධුරය දැරූ අවදියේදී ගිණුම් පියවීමේ දී සිදු වූ මුදල් අක‍්‍රමිකතාවයක් නිසා පවුම් දස දහසක මුදලක් ආණ්ඩුවට ලබාදිය යුතුව තිබේ. එම මුදල පියවීමට මාමණ්ඩියගෙන් (එංගල් බීක්ගෙන්) ලැබුණු මන්දිරය ආණ්ඩුවට ලබාදීමට ඔහුට සිදුව තිබේ.

ඉංග්‍රීසි රජය එය තක්සේරු කර ඇත්තේ පවුම් 35000කටයි. පසුව ඔහු මෙම මන්දිරය බ්‍රිතාන්‍ය පාලකයින්ට පවරා දී ඇත.

ආණ්ඩුවට හිමි වූ පසු ආණ්ඩුකාර ප්‍රෙඩ්රික් නෝත් මෙම මන්දිරයේ පදිංචියට පැමිණියේය.

නෝත්ගෙන් පසු තෝමස් මෙට්ලන්ඩ් ආණ්ඩුකාරයා එහි වාසය කර තිබේ.

එම කාලයේ එය කිංග්ස් හවුස් යන නාමයෙන් හඳුන්වා තිබේ.

ඉංග්‍රීසි පාලන සමයේ දී එය විවිධ වෙනස්කම්වලට ලක් කෙරුණු අතර ගොඩනැගිල්ලද විශාල කර තිබේ.

අද දක්නට ලැබෙන්නේ බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ලක්ෂණ සහිත මන්දිරයකි.

මුල් කාලීන පරණ ඕලන්ද ගොඩනැගිල්ල අද දක්නට ලැබෙන්නේ නොමැත.

පහත මාලය ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පය අනුව සැකසුණු එකක් වුවත් ඉහළ මාලය බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ලක්ෂණ සහිත වෙයි.

ආරුක්කු සහිත පිටත බිත්ති හා අභ්‍යන්තරයේ ශක්තිමත් දැවමය නිර්මාණ බොහෝමයකින් සමන්විතව පවතී.

ඉහළ මාලයේ ඇත්තේ දැව සොල්දරයකි.

මෙහි බ්‍රිතාන්‍යයෙන් ආනයනය කරන ලද උසස් තත්ත්වයේ විදුලි උපකරණ ද, ගෘහ භාණ්ඩද දක්නට ලැබෙයි.

මෙම මන්දිරයෙහි වටේට ඇති ගෘහෝද්‍යානය විසිතුරු මල් වර්ග රැසකින් අලංකාර කර ඇත.

එංගලන්තයේ වික්ටෝරියා රැජිනගේ ( 1837-1901) පාලනය සමයේ මෙම මන්දිරය ක්වීන්ස් හවුස් ලෙස හඳුන්වා ඇත.

ජොර්ජ් රජ සමයේ යළිත් රජගෙදර වී එළිසබෙත් රැජිනගේ පාලනය සමයේ නැවතත් එය ක්වීන්ස් හවුස් බවට පත්ව තිබේ.

ශ්‍රී ලංකාව 1972 මැයි 22 දා ජනරජයක් වූ දා සිට මෙය හඳුන්වනු ලබන්නේ ජනාධිපති මන්දිරය ලෙසයි.

ජනාධිපති මන්දිරයට පැමිණි මුල්ම ලාංකික ජනපතිවරයා වන්නේ විලියම් ගොපල්ලවයි.

ඔහු 1972 සිට 1978 දක්වා එහි පදිංචිව සිටියේය.

1978 දී ප්‍රථම විධායක ජනාධිපති වූ ජේ. ආර්. ජයවර්ධන මෙහි පදිංචි නොවීය.

නමුත් ඔහු විදේශ රාජ්‍ය නායකයන් හමුවීම, තානාපතිවරු පත්කිරීම වැනි නිල කටයුතු සහ වෙනත් උත්සව සඳහා පමණක් මෙම ජනාධිපති මන්දිරය යොදා ගෙන ඇත.

1989 දී ජනාධිපති වූ රණසිංහ ප්‍රේමදාසත් මෙය නිල කටයුතු සඳහා පමණක් භාවිත කර තිබේ.

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ ජනපති මහින්ද රාජපක්ෂ මෙම මන්දිරය සහ අරලියගහ මන්දිරයත් සිය වාසය සඳහා යොදා ගත්හ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ කොටි ත්‍රස්තවාදීන්ගේ යුද සමයේ මෙම මන්දිරයේ රහසිගත භූගත මන්දිරයක් ද ඉදිකර තිබේ. එය භූගත බංකරයක් ලෙසද හැඳින්වෙයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙම මන්දිරයේ පදිංචි නොවූ අතර ඔහු කොළඹ කැප්පෙට්ට්පොල මාවතේ වෙනත් නිල නිවසක් තෝරා ගන්නා ලදි. කෙසේවෙතත් ජනාධිපති මන්දිරය සාද, රාජ්‍ය නායක හමුවීම් සඳහා භාවිතයට ගැණින.

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කොටුව ජනාධිපති මන්දිරියේ වාසයට නොගොස් මිරිහානේ සිය පෞද්ගලික නිවසේ දිවි ගෙවීය. ඔහුද සාද, රාජ්‍ය නායක හමුවීම් සඳහා ජනාධිපති මන්දිරය භාවිතයට ගැණින.

එහෙත් පසුගිය මාර්තු මස අග ජනාධිපතිවරයේ මිරිහාන නිවස අසළ පැවති ජන විරෝධතා සහ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ගෝඨාගෝගම අරගල භූමිය පිහිටුවීමෙන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති මන්දිරය වෙත කොටුවිය.

මහජනතාව හමුවට යාමට නොහැකිව සිටි ජනපති ගෝඨාභය රාජපක්ෂ සියලු රාජකාරි හා නිල හමුවීමේ සියල්ලු සිදු කෙරුණේ ජනාධිපති මන්දිරයේදිය.

බ්‍රිතාන්‍ය යුගයට අයත් චිත්‍ර සහ ගෘහ භාණ්ඩ, රාජ්‍ය නායකයන් තෑගි කළ සමරු භාණ්ඩ රාශියක් ද ජනපති මැඳුරේදී දැකගත හැකියි.

මෙම චිත්‍ර හා එහි තිබූ සමහර වටිනා උපකරණ සමහරක් පසුගිය කාලවල අස්ථානගතවූ බවටද වාර්තා වී තිබුණි.

එම චිත්‍ර හා බොහෝමයක් වසර සියය, දෙසීය හෝ ඊටත් වඩා පැරණි, මිල අධික ඒවා බව කියවෙයි.

ජනාධිපති මන්දිරය ඉදිරිපස මහා මාර්ගයේ (ජනාධිපති මාවත) කොළඹ නුවර මාර්ගය ඉදිකිරිමට මුල් වූ ආණ්ඩුකාර එඩ්වඩ් බාන්ස් ගේ ලෝකඩ ප‍්‍රතිමාවක්ද ස්ථාපිත කර ඇත.

අද මෙම මන්දිරය පුරාවිද්‍යාත්මකව වැදගත් ස්මාරකයක් ලෙස හැඳින්වෙන අතර මෙම මන්දිරය නඩත්තුවට රජය වාර්ෂිකව රුපියල් මිලියන ගණනක් වැය කරයි.

මහජන ප්‍රදර්ශනය

පොදු ජනතාවගෙන් වසන් වී පැවති ජනාධිපති මන්දිරය පසුගිය 2016 වර්ෂයේ ජූනි මාසයේ සතියක් පුරා ජනතා ප්‍රදර්ශනය සඳහා විවෘත කෙරිණ. එහිදී දී පාසල් සිසුන් ඇතුළු දහස් ගණනක් ජනාධිපති මැදුර නැරඹීමට පැමිණියහ.

වර්ෂ 1920 දී මෙම භූමිය තුළ වික්ටෝරියා රැජිනගේ ලෝකඩ ප්‍රතිමාවක් ද එංගලන්තයෙන් ගෙන්වා සවි කර තිබේ.

කොළඹ කොටුව ජනපති මැදුරේ උයන 1970 දශකය වනතුරුම ජනතාව විවේක ගන්නා තැනක් විය.

පසුව ආරක්ෂක හේතු මත එයට ජනතාව පැමිණීම තහනම් විය.

ඓතිහාසික මතක සටහන් රැසක් සහිත මෙම භූමිය මල්වර්ග සහ ගහකොළින් සමන්විත සොඳුරු බිම්කඩකි.

වර්ෂ 1883 දී මෙරට ආණ්ඩුකාරයා වශයෙන් පැමිණි ආතර් ගෝර්ඩ්න් රජ ගෙදරට නුදුරුව වන වදුලක් වශයෙන් පැවති මේ බිම්කඩ තුළ උද්‍යානයක් පිහිටුවා එය වික්ටෝරියා රැජිනගේ නමින් නම් කළේය.

ඒ අනුව ඔහු අක්කර හතරක් විශාල භූමිය එළිකොට මල් ගස් වර්ග සිටුවා උද්‍යානයක් පිහිටුවිය.

1887 දී පැවති වික්ටෝරියා රැජනගේ ස්වර්ණ ජයන්තියේ දී එය මහජනතාවට විවෘත විය.

ඒ සඳහා ඔහු වැය කළේ තම පෞද්ගලික ධනය බව කියවෙයි.

මෑතක දී රෝපණය කළ බෝධි වෘක්ෂයක් හා බුද්ධ ප්‍රතිමාවක් ද මෙහි දක්නට ලැබෙයි.

මාර, අඹ, කිතුල්, අරලිය, තේක්ක, නුග, කොහොඹ ඇතුළු ශාක රැසකින් සමන්විත මෙම උයන කොළඹට මනරම් අසිරියක් මවයි.

අධිආරක්ෂිත කලාපයක පිහිට මෙම භූමිය සැබවින්ම ජනතාවට තහනම් වූ කලාපයක පිහිටා තිබීම හේතුවෙන් එය දැක ගැනීම සඳහා මේවන විට ජනතාව තුළ මහත් උනන්දුවක් හා උද්යෝගයක් දක්නට ලැබෙයි.

කෙසේවෙතත්, එහි ඇති විටිනා පෞරාණික වස්තු, සිතුවම් හා වෙනත් භාණ්ඩවලට පසුගිය දින කිහිපය පුරා හානි වීම සිදු වී ඇති අයුරු දක්නට ලැබුණි.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

පෞරාණික වැදගත් කමක් ඇති කොටුව ජනාධිපති මන්දිරය පත්වන ජනාධිපතිවරයාගේ පෞද්ගලික දේපළක් නොවන අතර එය මහජන දේපලකි. ඒ නිසාම එය ජාතික වස්තුවකි. එබැවින් මේ රටේ සියලු පුරවැසියන්ට එම අවකාශය රැකගැනීමට වගකීමක් ද ඇත.