සරණාගතබව පතා බෝට්ටුවෙන් තමිල්නාඩුවට ගිය වයෝවෘධ ශ්‍රී ලාංකික කාන්තාව මියයයි

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් සරණාගතභාවය සොයා සිය ස්වාමිපුරුෂයා සමඟ බෝට්ටුවකින් තමිල්නාඩුවට පැමිණ, පසුගිය ජුනි 27 වැනිදා උදෑසන දනුෂ්කොඩි වෙරළේ සිහිසුන්ව සිටිය දී සොයාගත් පරමේෂ්වරී නමැති ශ්‍රී ලාංකික කාන්තාව ජූලි දෙවැනිදා මියගොස් තිබේ.

ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් සොයාගැනුණු මේ දෙදෙනා තමිල්නාඩු පොලිසිය වෙත භාරදීමෙන් පසු මදුරෙයිහි රාජාජි රජයේ රෝහලට ඇතුළත්කොට ප්‍රතිකාර ලබමින් සිටිය දී පරමේෂ්වරී සෙනසුරාදා රාත්‍රියේ මියගොස් තිබිණ.

ශ්‍රී ලංකාවෙන් පැමිණි වයෝවෘද්ධ යුවළක් තමිල්නාඩුවේ රාමනාදපුරම් දිස්ත්‍රික්කයේ රාමේශ්වරම් අසල දනුෂ්කොඩි කෝදන්ඩරාමර් උතුර වෙරළ තීරයේ සිහිසුන්ව වැටීසිටින බවට ජුනි 27 වන දා උදෑසන ධීවරයින් රාමේශ්වරම්හි වෙරළාරක්ෂක පොලිසියේ නිලධාරීන්ට (මැරීන් පොලිසියට) දැනුම් දී ඇත.

වෙරළාරක්ෂක බලකාය වැඩිහිටි යුවළ ගලවාගනියි

පණිවුඩය ලද පසු රාමේශ්වරන් වෙරළාරක්ෂක බලකාය වැඩිහිටි යුවළ බේරාගැනීම සඳහා අදාළ ස්ථානයට ගොස් තිබුණි. දෙදෙනාම සිහිසුන්ව සිටි බැවින් ගිලන් රථයක් කැඳවනු ලැබිණ.

කෙසේ නමුත් ගිලන් රථයට අදාළ ස්ථානයට ළඟාවීමට නොහැකි වී ඇති අතර වෙරළාරක්ෂක පොලිසිය හා රාමනාදපුරම් දිස්ත්‍රික් පරිපාලන අංශ ඒ බව මණ්ඩපම්හි වෙරළාරක්ෂක කාර්යාලයට දැනුම් දී ඔවුනගේ උපකාර පතා තිබේ.

අනතුරුව වෙරළාරක්ෂක බලකායට අයත් හෝවර් ආරක්ෂක යාත්‍රාවක් මඟින් සිහිසුන්ව සිටි වයෝවෘද්ධ යුවළ මූලික ප්‍රතිකාර සඳහා රාමේශ්වරන්හි රජයේ රෝහල වෙත යොමුකොට තිබිණ.

මූලික ප්‍රතිකාරවලින් අනතුරුව දෙදෙනාම වැඩිදුර ප්‍රතිකාර සඳහා රාමනාදපුරම් රජයේ වෛද්‍ය විද්‍යාලයීය රෝහලට යොමුකොට තිබිණ. ප්‍රතිකාරවලින් සැමියා සුව අතට පත්වූව ද, වයෝවෘද්ධ කාන්තාව සිහිසුන්ව සිටි බැවින් ඇයට දිගටම ප්‍රතිකාර ලබාදෙනු ලැබිණි.

ශ්‍රී ලංකාවේ ජීවත්වීමට විදියක් නෑ

ඉන්දියාවේ මධ්‍යම රජයේ හා ප්‍රාන්ත බුද්ධි අංශ වැඩිහිටි පුද්ගලයා ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වී ඇත්තේ ඔවුන් මන්නාරම දිස්ත්‍රික්කයේ මුරුන්කන්පිට්ටි ප්‍රදේශයේ පදිංචි සිවන් (82) නමැත්තෙකු හා ඔහුගේ බිරිඳ පරමේෂ්වරී (70) බව යි.

ඔවුන් දෙදෙනාම නිධන්ගත රෝග සඳහා දිනපතා ඖෂධ ගැනීමට සිදුව ඇති වැඩිහිටි යුවළක් වන අතර, පරමේෂ්වරී අධිරුධිර පීඩනය හා දියවැඩියාවෙන් පෙළී ඇත.

නමුත් ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුද තත්ත්වය හේතුවෙන් අදාළ ඖෂධ හිඟවීම හා ප්‍රතිකාර සඳහා මුදල් නොමැතිවීම මත මේ දෙදෙනා සරණාගතයින් ලෙස තමිල්නාඩුවට පැමිණ තිබිණ.

යුවළ දින දෙකක කාලයක් තිස්සේ ආහාර නොමැතිව බෝට්ටුවෙන් පැමිණ තිබුණි.

ඔවුන් දෙදෙනා බෝට්ටුවක දමාගෙන රැගෙන ආ පුද්ගලයින් වෙරළ සීමාවේ දී ඔවුන් මුහුදේ දමාගිය බව විමර්ශනයේ දී සිවන් පවසා ඇත.

"බෝට්ටුවෙන් අපිව අරන් ආපු කට්ටිය මධ්‍යම රාත්‍රියේ දී අපිව මුහුදට දාලා ගියා. අපි කොහේ යනවා ද කියලා දන්නේ නැතුව වැල්ලේ කැරකි කැරකි හිටියා. කෑම නැතුව මුහුදු වතුර බිව්වා. කෑමබීම නැතුව හිටපු හින්දා අපි වැල්ලේ සිහි නැතුව වැටුණා," සිවන් මින් පෙර්ස් BBCය හා පවසා තිබුණි.

ඔවුනගේ පුතු රාජා හා දියණිය උදයරාණී ත්‍රිචි ප්‍රදේශයේ පිහිටි සරණාගත කඳවුරක වෙසෙන අතර, ඔවුන් හමුවී ඔවුන් හා ජීවත්වීමට අවශ්‍ය බව ඔහු සඳහන් කර තිබුණි.

රාමනාදපුරම් රෝහලේ වෛද්‍යවරුන් පරමේෂ්වරීගේ හිසෙහි ස්කෑන් පරීක්ෂාවක් සිදුකිරීමෙන් අනතුරුව, ඇගේ මොළයෙහි ගෙඩියක් පවතින හෙයින් එය වහාම ඉවත්කළ යුතු බව ඇයට පවසා ඇත.

ඒ අනුව දිස්ත්‍රික් පාලක ජොනී ටොම් වාර්ගීස්ගේ නියෝගය පරිදි පරමේෂ්වරී වැඩිදුර ප්‍රතිකාර සඳහා මදුරෙයිහි රාජාජී රජයේ රෝහල වෙතට යොමු කර ඇත. එහිදී ඇගේ හිසෙහි සැත්කම සිදුකොට ඇති අතර සෙනසුරාදා (ජුලි 2) රාත්‍රී 9.00ට පමණ පරමේෂ්වරී මියගියා ය.

මේ සම්බන්ධයෙන් රාමනාදපුරම් දිස්ත්‍රික් පාලක වර්ගීස් BBC වෙත මෙසේ පැවසීය: "තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයාගේ නියෝග මත, තමිල්නාඩුවට සරණාගතයින් ලෙස පැමිණෙන ශ්‍රී ලාංකික දෙමළ ජනතාවට රාමනාදපුරම් දිස්ත්‍රික්කයේ පූර්ණ සහයෝගය ලබාදෙනවා."

"පසුගිය සඳුදා උදෑසන ශ්‍රී ලංකාවේ සිට පැමිණ කෝදන්ඩරාමර් වෙරළතීරයේ සිහිසුන් වැටී සිටි ශ්‍රී ලාංකිකයින් දෙදෙනාම වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට දන්වා බේරාගෙන රෝහල්ගත කළා."

"පරමේෂ්වරීගේ තත්ත්වය දිගින් දිගටම අයහපත් අතට හැරුණු බැවින් ඇයව මදුරෙයි රජයේ රෝහල වෙත යවා ප්‍රතිකාර කළා. ඇගේ හිසට සිදුකළ සැත්කමකින් අනතුරුව ඇය මියගිහිල්ලා තිබෙනවා."

"පරමේෂ්වරීගේ පුතා හා දියණිය ත්‍රිචිවල පිහිටි ශ්‍රී ලාංකික සරණාගත කඳවුරේ රැඳී සිටිනවා. වහාම ඒ අයට දන්වලා පරමේෂ්වරීගේ සිරුර ඔවුනට භාරදුන්නා. චෙන්නායිහි පිහිටි තමිල්නාඩු රජයේ සුභසාධන හා පුනරුත්තාපන දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයාගේ උපදෙස් පරිදි පරමේෂ්වරීගේ අවසන් කටයුතු ඇගේ ඥාතීන් විසින් සිදුකිරීමට නියමිත යි."

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාව හැරදා පැමිණ සරණාගතයින් ලෙස මණ්ඩපම් සරණාගත කඳවුරේ රැඳී සිටින ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයින් පිළිබඳව දිස්ත්‍රික් පරිපාලනය විශේෂ අවධානයක් යොමුකොට ඇති බව ද දිස්ත්‍රික් පාලකවරයා පැවසුවේ ය.

බෝට්ටුවේ සිටියදී හිසට තුවාල සිදුවෙලා

මියගිය පරමේෂ්වරීගේ දියණිය උදයරාණී ද BBC සමඟ කතාබහ කළා ය.

"ශ්‍රී ලංකාවේ තිබ්බ යුද්ධේ හින්දා මමත්, මගේ සැමියත් 1990 දී සරණාගතයින් විදියට පැමිණිලා ඉන්දියාවේ තිරුච්චි (ත්‍රිචි) සරණාගත කඳවුරේ ජීවත්වෙනවා."

"මගේ අම්මයි තාත්තයි ජීවත්වුණේ මන්නාරම දිස්ත්‍රික්කේ. මගේ අම්මා රසකැවිලි හැදුවා. තාත්තා ඒවා විකුණුවා," ඇය පැවසුවා ය.

"ලංකාවේ දැන් තියෙන තත්ත්වෙ එක්ක අම්ම යි තාත්ත යි සරණාගතයින් විදියට දනුෂ්කොඩිවලට ආවේ කෑම විකුණාගන්නා බැරුව ලංකාවේ ජීවත්වෙන්න බැරි නිසා."

"ලංකාවේ ඉඳලා ඉන්දියාවට එනවා කියලා අපිට කලින් දන්වලා තිබ්බේ නෑ. ප්‍රවෘත්තිවලින් තමයි දැනගත්තේ මගේ අම්මයි තාත්තයි දනුෂ්කොඩි ඇවිල්ලා කියලා. හදිසියේම ගිහිල්ලා රාමේශ්වරම්වල බැලුවා. එහෙදි එයාලා ප්‍රතිකාර වෙනුවෙන් මදුරෙයි යවලා තිබුණා," ඇය කියා සිටියා ය.

"මගේ අම්මාට තිබුණේ අධිරුධිර පීඩනය හා දියවැඩියාව විතර යි. මොළේ ගෙඩියක් හෝ හිසේ ගැටළුවක් තිබුණේ නෑ. බෝට්ටුවේ ගෙනාපු අය ඒ දෙන්නටම කියලා ඔරුව ඇතුලේ හැංගිලා ඉඳගන්න කියලා. පැය ගාණක අනතුරුදායක ගමනක් හින්දා බෝට්ටුව මුහුදු රළකට හසුවෙලා ඔළුවට තුවාල වෙලා තිබිලා. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පස්සේ රජය අම්මාගේ සිරුර මට භාරදුන්නා. තිරුච්චිවල ඉන්න මගේ ඥාතීන් ගෞරව දැක්වීමෙන් පස්සේ අවසන් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා," උදයරාණී ප්‍රකාශ කළා ය.

"අම්මා මැරුණා කියලා දැනගත්තොත් තාත්තාට දරාගන්න බැරිවෙයි"

මියගිය පරමේෂ්වරීගේ පුත්‍රයා වන රාජා ද BBCය හා අදහස් දැක්වීය.

"මදුරෙයි රාජාජි රෝහලට ඇතුළත් කළ අම්මාට වෛද්‍යවරු නිසි ප්‍රතිකාර ලබාදීලා තියෙනවා. ඒත් ප්‍රතිකාර අතරතුර මගේ අම්මා මියගිහිල්ලා."

"මොළේ ඇතිවූ ආබාධයක් හින්දා ඇය මියගියා කියලා වෛද්‍යවරුන් කිව්වා. අම්මා මියගියා කියන ආරංචිය මගේ තාත්තා තවම දන්නේ නෑ. තාත්තාගේ තත්ත්වය දැන් ටිකෙන් ටික යහපත් වෙනවා.

"අම්මා මැරුණා කියලා දැනගත්තොත් තාත්තාට දරාගන්න බැරිවෙයි. ඒ හින්දා ඒ ගැන තාත්තාට කිව්වේ නෑ. තාත්තා සුව අතට හැරුණට පස්සේ අම්මාගේ වියෝව ගැන තාත්තාට කියන්න අපි තීරණය කළා," රාජා පැවසුවේ ය.