විදුලි බිල තෙගුණයකින් ඉහළ යන ලකුණු - ඔබටත් බලපෑමක් ඇත්දැ යි දැනගන්න

Hurricane lantern hangs outside the village cabana house,

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති හා සැලසුම් බොහෝමයකට බාලගිරි දෝෂය ලබා ඇතැයි විදුලිබල ක්ෂේත්‍රයේ විශේෂඥයින් පවසයි.

රජය පුනර්ජනනීය විදුලි උත්පාදනය ඉහළ නැංවීම සඳහා කෙතරම් සැලසුම් ඉදිරිපත් කළ ද ඒවා බොහෝමයක් ප්‍රතිපත්ති හා සැලසුම්වලටම පමණක් සීමා වී තිබෙන බවට විදුලිබල ක්ෂේත්‍රයේ විශේෂඥයින් තවදුරත් පවසයි.

වගකිව යුතු නිලධාරීන් ව්‍යාපෘති අනුමත කිරීමට මැලිකමක් දක්වන බව ද කලෙක පටන් පවතින විවේචනයකි. ඉදිරිපත්වන බොහෝ ව්‍යාපෘති අනුමත නොකිරීම හෝ අනුමැතිය පමාකර කල්මැරීම මෙම තත්ත්වයට හේතුවී ඇතිබවට විශේෂඥයින් පවසයි.

විනිමය අර්බුදය, ඉන්ධන තොග සීමිතවීම හා දෛනික විදුලි කප්පාදුව හේතුවෙන් විදුලිබල ක්ෂේත්‍රය මේ වන විට දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති අතර විදුලි ඒකකයක නිශ්පාදන පිරිවැය ඉහළ යෑම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය දෛනිකව ලබන පාඩුව ද ඉහළ යමින් තිබේ.

මෙනිසා වැඩි විදුලි පරිභෝජනයක් සහිත ක්ෂේත්‍ර සඳහා විදුලි ගාස්තු ඉහළ දැමීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය මේ වන විට යෝජනා කර ඇත.

ඉදිරියේ දී විදුලි ගාස්තුව ද ඉහළ ගියහොත්, ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව තවදුරටත් පීඩාවට පත්වීම නොවැළැක්විය හැකි ය. මාසික විදුලි පරිභෝජනය ඒකක 30ට අඩු මෙරට විදුලි පාරිභෝගිකයින් සංඛ්‍යාව ලක්ෂ 18කි.

කෙසේ වෙතත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසන්නේ නව ගාස්තු ඉහළ නැංවීම කර්මාන්ත වැනි ඉහළ විදුලි පාරිභෝජනයක් සහිත ක්ෂේත්‍රවලට පමණක් සීමා කරන බව ය.

දැනට විදුලි ඒකකයක් නිශ්පාදනයට වැය වන පිරිවැයට වඩා වැඩියෙන් කිසිදු පාරිභෝගිකයෙකු විදුලි ඒකකයක් සඳහා විදුලිබල මණ්ඩලයට ගෙවීම් නොකරන බව ඔහු කියා සිටියේ ය.

අඩු ආදායම්ලාභී සහ අඩුවෙන් විදුලිය භාවිතා කරන පිරිස්වලට බලනොපාන අයුරින් විදුලි බිල සංශෝධනය කළ යුතු බව ද අමාත්‍යවරයා පැවසීය. මෙරට ජනතාව විදුලි බල අර්බුදය තවමත් තේරුම් ගෙන නොමැති බව ඔහු පවසයි.

වසර නවයක් පුරා පැවති විදුලි මිල ගණන් සංශෝධනය කිරීමට විදුලිබල මණ්ඩලය ඉල්ලීම් කර ඇති බව කී අමාත්‍යවරයා, මහජන උපයෝගීතා කොමිෂන් සභාව ද විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් යම් යෝජනා ඉදිරිපත් කර ඇති නමුත් කිසිදු යෝජනාවකට තවමත් අනුමැතිය ලබාගෙන නොමැති සඳහන් කළේ ය.

එසේම කැබිනට් මණ්ඩලය ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ජනාධිපතිවරයා දැනුවත් කළ බවත්, එහිදී අඩු ආදායම්ලාභී පවුල්වලට සහ විශේෂයෙන්ම රජයේ රෝහල් වැනි ගොඩනැගිලිවලට ඒ සංශෝධනය මේ අවස්ථාවේ දී නොකළත්, විදුලි ඒකක විශාල ප්‍රමාණයක් භාවිතා කරන කර්මාන්ත සහ හෝටල් සඳහා යම් ගාස්තු සංශෝධනයක් මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අනුමැතිය සහ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව කළයුතු බව යෝජනා වී ඇතැ යි ද කීය.

වර්තමාන විදුලි බිල සංශෝධනය වුවහොත් මහා පරිමාණ කර්මාන්තවලට, හෝටල්වලට හෝ මහා පරිමාණයෙන් විදුලිය භාවිතා කරන නිවාසවලට විදුලි බිල තුන් ගුණයකින් හෝ හතර ගුණයකින් වැඩිවීමට ඉඩ තිබෙන බව කී අමාත්‍යවරයා, එම බිල අවමකර ගැනීමට ඔවුනට ඇති හොඳම විසඳුම සූර්ය පැනල භාවිතා කිරීම බවත්, ඒ සඳහා කඩිනමින් යොමු විය යුතු බවත් යෝජනා කළේ ය.

වසරේ දින 365හේම පාහේ හොඳින් හිරු එළිය පතිත වන ශ්‍රී ලංකාවට සූර්ය ශක්තිය උපයෝගී කර ගනිමින් විශාල විදුලි ධාරිතාවක් නිශ්පාදනයට හැකි බව බොහෝ විද්වත්හු පෙන්වා දෙති. එහෙත් පුනර්ජනනීය විදුලි ව්‍යාපෘතිවලට වගකිව යුතු නිලධාරීන් මැලිකමක් දක්වන්නේ ඇයි?

ඉබි ගමනේ යන පුනර්ජනීය විදුලියට ජවය ලැබෙන්නේ කවදා ද?

කඩිනම් පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සඳහා තවත් සැලැස්මක් ජූනි 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යා කංචන විජේසේකර සඳහන් කරයි.

විදුලිබල අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවක දී, මේ සඳහා කඩිනම් පියවර ගැනීමට තීරණය කර ඇත.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

විදුලිය උත්පාදනය සඳහා මසකට ඉන්ධන සඳහා පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 100ක් ඉක්මවන මුදලක් වැයවේ. එක් ඒකකයක් නිෂ්පාදනය සඳහා සාමාන්‍ය පිරිවැය රුපියල් 48 දක්වා ඉහළගොස් ඇත.

පුනර්ජනනීය බලශක්ති උත්පාදන සැලැස්ම යටතේ කඩිනම් විසඳුම් ක්‍රියාත්මක කිරීමට මේ අනුව පියවර ගෙන තිබේ.

මේ යටතේ, කර්මාන්ත, රජයේ ගොඩනැගිලි, රෝහල්, හෝටල් සහ අනෙකුත් වහළ අවකාශය ලබාගත හැකි ස්ථානයන්හි වහළ මත සූර්ය බලය නිෂ්පාදනය කළ හැකි පරිදි සකස් කිරිමට යෝජනා කරයි.

දැනට යෝජනාකර ඇති විදුලි ගාස්තු වෙනස් කිරීම් මඟින්, අදාළ බොහෝ ආයතනවල වත්මන් විදුලි බිල තුන්ගුණයකින් වැඩිවීමට ඉඩ ඇතැ යි විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.

එම ආයතනවල වර්තමාන විදුලි බිලේ සඳහන් මුදල සූර්ය පැනල සඳහා ආයෝජනය කළ හැකි අතර, සූර්ය පැනල ලබාදෙන සමාගම්වලට එම මාසිකව ගෙවිය යුතු මුදල ලෙස මෙය ගෙවා දැමිය හැකි ලෙස සකස්කරන බවට අමාත්‍යවරයා පැවසීය.

මෙහිදී, සූර්ය පැනල සවි කිරීම සම්බන්ධයෙන් අදාළ නිලධාරීන්ගෙන් ලිඛිතව ඉල්ලීමක් කරන බව බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කළ අතර, යම් අයුරකින් විදුලි බිල වැඩිකිරීමට සිදුවුවහොත්, ඒ සඳහා ගෙවිය යුතු මුදල පිළිබඳව මෙම ආයතනවල ප්‍රධානීන් දැනුවත් කරන බව ද පැවසුවේ ය.

විදුලිබල මණ්ඩලයට මෙමඟින් ජල හා තාප බලාගාර කළමනාකරණය කර දහවල් කාලයේ දී භාවිතා කිරීමට අවශ්‍ය විදුලිය නිෂ්පාදනයට වැය වන මුදල ඉතිරි කර ගැනීමටත්, ජනන පිරිවැය අඩු කර ගැනීමටත් හැකියාව ලැබෙන බවට ඔහු පැවසීය.

යෝජිත ව්‍යාපෘති සඳහා කඩිනමින් තාවකාලික අනුමැතිය ලබාදෙන අතර, ආයෝජන පිරිවැය වැඩි වීම හේතුවෙන් සාධාරණ ගාස්තු සංශෝධනයක් කරනු ලැබේ

මිල දී ගැනීමේ ගිවිසුම නිකුත් කිරීමෙන් පසු, ව්‍යාපෘති ආයෝජකයාගෙන් ලැබෙන ආයෝජන සමග ජාතික පද්ධතියේ ධාරිතාව වැඩි දියුණු කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය, සුනිත්‍ය බලශක්ති අධිකාරිය සහ ආයෝජකයා සමග එක්ව කටයුතු කර, ආයෝජකයාගේ මූල්‍ය අරමුදල් ආයෝජනය හරහා සිදුකිරීමට බලාපොරොත්තු වේ. මෙමඟින් ව්‍යාපෘතිවල කාලරාමුව වේගවත් කරනු ඇත.

ඉහත ඉක්මන් පියවර දෙක හැරුණු විට, මහා පරිමාණ පුනර්ජනනීය ආයෝජන වෙනුවෙන් තෝරාගත් ව්‍යපෘති, තාක්ෂණික හා මූල්‍ය ඇගයීමෙන් පසු කඩිනමින් ඉඩ සලසාදීමට කටයුතු සම්පාදනය කිරීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ ය.

Janaka Inimankada critisising energy minister's move on solar power

ඡායාරූප මූලාශ්‍රය, Janaka Inimankada

ඡායාරූප ශීර්ෂ වැකිය, කෙසේ නමුත්, අමාත්‍යවරයාගේ යෝජනාවට මෙවන් බොහෝ විවේචන එල්ලවිය

පුනර්ජනනීය විදුලි නිශ්පාදකයින්ට ගෙවීම් ප්‍රමාද වෙයි

පුනර්ජනනීය විදුලිය ප්‍රවර්ධනය සඳහා රජය අලුතින් සැලසුම් සකස් කළ ද, දැනට ලංකා විදුලිබල මණ්ඩලයට හා පුනර්ජනනීය විදුලිය සපයන නිශ්පාදකයින්ට ලැබීය යුතු ගෙවීම් මාස ගණනාවකින් ගෙවා නොමැති බවට අදාළ පාර්ශවයන් මැසිවිලි නඟයි.

ගෘහස්තව විදුලි නිශ්පාදකයින් මෙන්ම කුඩා පරිමාණ ජලවිදුලි නිශ්පාදකයින් ද මේ හේතුවෙන් දැඩි අර්බුදයකට මුහුණ පා සිටියි. ඒ, අදාළ ව්‍යාපෘති බොහෝමයක් ණය ලබා ගනිමින් ක්‍රියාත්මක කර ඇති බැවිනි.

අයවිය යුතු මුදල් ලැබීම ප්‍රමාදවීම හේතුවෙන් අදාළ විදුලි නිශ්පාදකයෝ ණය වාරික ගෙවා ගැනීමේ දුෂ්කරතාවන්ට ද මුහුණ පා සිටින බවට ඔවුන් පවසයි.

විදුලි ඒකක පිරිවැය ඉහළට

විදුලි ජනන මූලාශය ඒකකයක නිශ්පාදන පිරිවැය

ජල විදුලිය රුපියල් 4.17

ඉන්ධන (CEB) රුපියල් 59.65

ගල් අඟුරු රුපියල් 31.19

පෞද්ගලික තාප බලාගාර රුපියල් 67.15

පුනර්ජනනීය බලාගාර රුපියල් 16.69

මේ අනුව සාමාන්‍යයෙන් ඒකකයක ජනන පිරිවැය දළ වශයෙන් රුපියල් 47.18කි.

පුනර්ජනනීය බලශක්තිය යනු කුමක් ද?

පුනර්ජනනීය බලශක්තිය යනු හිරු එළිය, සුළඟ, වර්ෂාව, උදම් රළ, භූ තාපය ආදී ස්වභාවික ප්‍රභවයන්ගෙන් ලැබෙන්නා වූ බලශක්තිය යි. මෙම ප්‍රභවයන් භාවිතාව හේතුවෙන් ක්ෂයවීමට ලක් නොවන්නේ ය.

ගෝලීය බලශක්ති පරිභෝජනයට 16%ක් පමණ බලශක්තිය සැපයෙනු ලැබෙන්නේ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතයෙනි (කර්මාන්ත, ප්‍රවාහන, නිවාස, සේවා හා කෘෂිකාර්මික ආදී ක්ෂේත්‍ර සියල්ලම පාහේ ඇතුළත්වන).

ඉන් 10%ක් පැමිණෙන්නේ සම්ප්‍රදායික ජෛව ස්කන්ධයන්ගෙන් වන අතර, එය ප්‍රධාන වශයෙන් උණුසුම සැපයීම සඳහා භාවිතා වේ. 3.4%ක ප්‍රමාණයක් ජල විදුලිය වන්නේ ය.

නව පුනර්ජනනීය බලශක්ති (කුඩා ජල විදුලි, නව ජෛව ස්කන්ධ, සුළං, සූර්ය බලශක්තිය, භූ තාපය සහ ජෛව ඉන්ධන) 2.8%ක පමණ අගයක් ගනියි.

එමෙන්ම ඒවා ඉතා වේගයෙන් වර්ධනය වෙමින් පවතින්නේ ය.

විදුලිබල ක්ෂේත්‍රයට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ලැබෙන දායකත්වය ගත්කල එය 19%ක් පමණ වේ.

ගෝලීය විදුලිබල උත්පාදනයෙන් 16%ක් පමණ ජල විදුලි බලයෙන් ලැබෙන අතර, 3% අනෙකුත් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ලැබෙයි.

"විවිධ බලපෑම් නිසා විදුලිබල මණ්ඩලයේ දිගුකාලීන සැලසුම් නිසියාකාරව ක්‍රියාත්මක කිරීමට නොහැකි වුණා"

මෙරට විදුලි බල පද්ධතියේ අනාගතය කෙසේ විය යුතු ද යන්න පිළිබඳව, විශේෂඥ දැනුමැති පිරිසක් විසින් දීර්ඝ කාලයක් තිස්සේ විස්තරාත්මකව අධ්‍යයනය කර සකසන දිගුකාලීන ජනන සැලසුමක් ලංකා විදුලි බල මණ්ඩලය සතු බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු ලක්මාලී කරුණානායක කියා සිටියි.

එම සැලසුම වසර 20ක් වැනි දීර්ඝ කාලයක් වෙනුවෙන් සකසන අතර, වසර දෙකකට සැරයක් යාවත්කාලීන කරනු ලබයි.

අදාළ සැලසුම සකස් කිරීමේ දී තාක්ෂණික කරුණුවලට අමතරව අඩු පිරිවැයකින් නිපදවීම යන කරුණු පිළිබදවත් විශේෂයෙන්ම සලකා බලයි.

"එම සැලසුම් පසුගිය අවුරුදු අටක් වැනි කාලයක් තුළ නිසියාකාරව ක්‍රියාත්මක වූවා නම්, අද මේ පවතින අර්බුදය මෙතරම් තීව්‍ර වෙන්නේ නැහැ. නමුත් එම අවධියේ දී අපට මුහුණපාන්නට සිදු වූ විවිධ සමාජ, දේශපාලන මෙන්ම ව්‍යාපාරික බලපෑම් නිසා විදුලි බල මණ්ඩලයේ දීර්ඝකාලීන ජනන සැලසුම් නිසියාකාරව ක්‍රියාත්මක කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ. පුනර්ජනනීය බලශක්තීන්ගෙන් ක්‍රියාත්මක වන බලාගාරවලට වගේම, අනෙකුත් සැලසුම් කළ බලාගාරවලටත් මෙය එකසේ බලපෑම් ඇති කළා. අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය පරිදි බලාගාර, නිසි කලට ඉදිනොකිරීම වර්තමානයේ උද්ගත වී ඇති ආර්ථික අර්බුදයටත් දැඩි සේ බලපෑම් ඇති කර තියෙනවා," ඉංජිනේරු කරුණානායක පැවසුවා ය.

"ඒ වගේම පුනර්ජනනීය බලශක්තීන් (අප රටේ නම්, ප්‍රධාන වශයෙන් සුළං සහ සූර්ය බලාගාර) විදුලි බල පද්ධතියට එක් කරගැනීමේ තාක්ෂණික සීමාවන් පවතිනවා. එය අපේ රටේ පමණක් නොවෙයි ඕනෑම රටක විදුලි බල පද්ධතියකට පොදුවේ බලපාන දෙයක්. පුනර්ජනනීය බලාගාර සහ පුනර්ජනනීය නොවන බලාගාර නිසි එකතුවක් සහිතව යි විදුලි බල පද්ධතියක් ක්‍රියාත්මක කළ හැකි වන්නේ," ඇය පෙන්වා දුන්නා ය.

"ඒ සීමාවන් සමග හැකි උපරිමයෙන් පුනර්ජනනීය බලශක්තීන්ගෙන් ක්‍රියාත්මක වන බලාගාර ජාතික පද්ධතියට එක්කර ගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් ක්‍රියාත්මක කරමින් පවතිනවා. එම සීමාවන් යටතේ සැලසුම් වූ පුනර්ජනනීය බලාගාර සෑහෙන ප්‍රමාණයක් ඉදිකිරීමට නියමිතව ඇතත්, පෙර සඳහන් කළ අභියෝගයන් නිසයි එම කටයුතු තවමත් ක්‍රියාත්මක කරගන්නට නොහැකි වී ඇත්තේ."

නිවෙසේ සූර්ය පැනල සවිකිරීමට අවසර දෙන්න කල් යන්නේ ඇයි? - චෝදනාවට පිළිතුරු

"සමහර රටවල් වැඩි වශයෙන් පුනර්ජනනීය බලශක්තීන්ගෙන් ක්‍රියාත්මක වන බලාගාර පවතින්නේ, ඒ රටවල විදුලි බල පද්ධතිය තවත් රටවල් සමග සම්බන්ධව යි පවතින්නේ. එවැනි පද්ධතිවලට උවමනා ඒකාකාරී සැපයුමක් පවතින බලාගාරයන් එම පද්ධතිය සම්බන්ධ වී ඇති අනෙක් රට තුළ යි පවතින්නේ. නමුත් අපේ රටේ එවැනි වෙනත් රටවල් සමග සම්බන්ධ වූ පද්ධතියක් නැහැ. ඒ නිසා පුනර්ජනනීය බලශක්තීන්ගෙන් ක්‍රියාත්මක වන බලාගාර යම් සීමාවන් සහිතව යි සැලසුම් කළ යුතු වන්නේ," ඇය සඳහන් කළා ය.

"එසේ පද්ධතියට සම්බන්ධ කර ගැනීමේ සීමාවන් ඇති නම්, නිවෙස්වල වහල මත ඉදිකරන සූර්ය බල පද්ධතීන්වලට වත් අනුමැතිය ලබා දෙන්නේ නම්, ඒක මේ වෙලාවේ රටට පහසුවක් වෙනවනේ තමතමන් තමන්ගේ විදුලි අවශ්‍යතාවය සපුරා ගැනීමට. නමුත් ඒ සඳහාත් විදුලි බල මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමේ අපහසුතාවයන් ඇති බවනේ මහජනතාව නිතරම චෝදනා කරන්නේ," ඉංජිනේරු ලක්මාලි කරුණනායක පවසයි.

ජනතාව එසේ අනුමැතිය ඉල්ලන්නේ ජාතික පද්ධතියට සම්බන්ධ වූ සූර්ය බල පද්ධති සඳහා යි.

මෙහිදී ඇතිවන එක අපහසුතාවක් වන්නේ ජාතික විදුලිබල පද්ධතියේ යම් විදුලි කප්පාදුවක් හෝ බිඳවැටුමක් සිදුවූ අවස්ථාවක අපගේ සූර්ය බල පද්ධතියට සම්බන්ධ ඉන්වර්ටරය (සරල ධාරාව ප්‍රත්‍යාවර්ථ ධාරාව බවට පරිවර්තනය කරන උපාංගය) ක්‍රියාවිරහිත වීම යි. එවිට එම අවස්ථාවේ ජනනය කරන සූර්ය විදුලිබලය කිසිවෙකුට හෝ පරිභෝජනයට ගත නොහැකි වෙයි.

සූර්ය බල පද්ධතියක් ඍජුවම ජාතික පද්ධතියට සම්බන්ධ කිරීමේ දී ළඟම පිහිටි ට්‍රාන්ස්ෆෝමරයට ඇති දුර, එම ට්‍රාන්ස්ෆෝමරයට තවත් සූර්යබල පද්ධති කීයක් (උපරිමය 11ක්) සම්බන්ධ කර ඇති ද යන්න වැනි තවත් කරුණු කීපයක් පිළිබඳව සැලකිලිමත් විය යුතු බවට ඇය පවසයි.

"මේ සියල්ල සැලකිල්ලට ගෙන යි විදුලි බල මණ්ඩලය ජාතික පද්ධතියට සම්බන්ධ වන සූර්ය පද්ධතීන් සඳහා අනුමැතිය ලබා දෙන්නේ," ඉංජිනේරුවරිය පැවසුවා ය.

මේ සඳහන් කළේ විදුලිබල මණ්ඩලය පැත්තෙන් දරන්නට සිදුවන අපහසුතාව සහ ඒවා මැඬලීමට සිදුකළ යුතු අමතර වියදම් පිළිබඳව යි.

"මේ සීමාවන් බොහොමයක් සඳහා තාක්ෂණික වශයෙන් විසඳුම් තිබුණත්, ඒ සියල්ලක්ම වෙනුවෙන් ඉතාමත් අධික පිරිවැයක් දරන්නට සිදුවෙනවා. එය අපි වගේ රටකට මෙවැනි අර්බුදකාරී අවස්ථාවක කිසිසේත්ම කළ හැකි දෙයක් නොවෙයි."

"විශාල ප්‍රමාණයේ සූර්ය බලාගර ඉදිකරනවා නම් හොඳයි. ඒක අපිට පාලනය කරන්න පුළුවන් ජාතික පද්ධතියට සම්බන්ධ කිරීමේ දී," ඇය සඳහන් කළා ය.

ජාතික පද්ධතියට සම්බන්ධ නොවන සූර්ය බල පද්ධති

තමන්ගේ විදුලි අවශ්‍යතාව තමන්ටම සපුරාගත හැකි ජාතික පද්ධතියට සම්බන්ධ නොවන සූර්ය බල පද්ධතීන් (Off grid solar systems) හැකි සෑම අයෙකුම සවිකර ගන්නේ නම්, එය ඉතාමත් කාලෝචිත මෙන්ම වටිනා දෙයක් බව ඉංජිනේරු ලක්මාලී කරුණනායක පැවසුවා ය.

ඒ සඳහා මණ්ඩලයෙන් කිසිදු බාධාවක් නොමැති අතර, කිසිදු අනුමැතියක් ලබාගැනීමට අවශ්‍ය නොවන බව ඇය කියා සිටියි.

ජාතික පද්ධතියට සම්බන්ධ නොවන සූර්ය බල පද්ධතියක් වෙනුවෙන් ආයෝජනය කළ හැකි පාරිභෝගිකයින්ට තමන්ගේ විදුලි අවශ්‍යතාවය සපුරා ගැනීමට තම වහල මත එවැනි පද්ධතියක් සවිකර ගත හැකි ය.

එය විදුලි බල මණ්ඩලයට මෙන්ම පාරිභෝගිකයින් වශයෙන් ඔවුන්ට වාසිදායක තත්ත්වයකි. මන්ද, එවිට විදුලි කප්පාදුව සිදුකරන වේලාවන්හි දී ඔවුන්ගේ විදුලි අවශ්‍යතාව ඒ හරහා සපුරා ගන්නට හැකි වෙනවා සේම, විදුලි බිලට ද යම් සහනයක් ලැබීම ය.

"බැටරි ගණන්. නමුත් හැකියාව තියෙන අයට පුළුවන් සෝලා එකෙන් බැටරිය චාජ් කරලා ගෙදර පාවිච්චි කරන්න."