පාස්කු ප්‍රහාර නඩුවෙන් ඊබ්‍රාහිම් හාජ්ජියාර් ඇප මත නිදහස් කලේ ඇයි?

මොහොමඩ් ඊබ්‍රාහිම් හා ඔහුගේ පුත් ඉන්සාෆ් ඊබ්‍රහිම් 2016දි

ඡායාරූප මූලාශ්‍රය, https://www.facebook.com/SujeewaSenasingheOfficial

ඡායාරූප ශීර්ෂ වැකිය, මොහොමඩ් ඊබ්‍රාහිම් හා ඔහුගේ පුත් ඉන්සාෆ් ඊබ්‍රහිම් 2016දි

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු වූ මොහොමඩ් ඉල්හාම් සහ මොහොමඩ් ඉන්සාෆ් යන අයගේ පියා වන ප්‍රකට කුළුබඩු ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රාහිම් ඇතුලු තවත් විත්තිකරුවෙකු ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය අද (මැයි 25) නියෝග කළේය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබී තිබියදීත් එය පොලීසියට වසන් කළේ යැයි චෝදනා කරමින් මොහොමඩ් ඊබ්‍රහිම් ඇතුළු විත්තිකරුවන් 03 දෙනෙකුට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ.

ඒ අනුව එක් එක් විත්තිකරු රුපියල් ලක්ෂ දෙක බැගින්වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප තුනක් මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ නියෝග කළේය.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට ගැනීම ආරම්භ කළ මුල් දිනයේ දී ම කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රාහිම් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගනු ලැබී ය.

මොහොමඩ් ඊබ්‍රාහිම්ගේ පුත්‍රයින් වන මොහොමඩ් ඉල්හාම් සහ මොහොමඩ් ඉන්සාෆ් යන සොහොයුරන් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කර තිබුණේ සිනමන්ඩ් ග්‍රෑන්ඩ් සහ ෂැන්ග්‍රීලා යන හෝටල් දෙකටයි.

විත්තිකරුවන් වසර තුනකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටීම සහ ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඇතුළු සුවිශේෂී කරුණු සැලකිල්ලට ගෙන විනිසුරුවරයා මොවුන්ට ඇප ලබාදීමට නියෝග කළේය.

විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කර ඇති අතර ඔවුන් සෑම මසකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කළ යුතු බවටද අධිකරණය නියෝග කොට ඇත.

කව්ද මේ මොහොමඩ් ඊබ්‍රාහිම්?

මොහොමඩ් ඊබ්‍රාහීම් ප්‍රසිද්ධ කුළුබඩු වෙළෙන්දෙකි. කරුඳු හා ගම්මිරිස් අපයනයකරුවෙකි. කොළඹ ව්‍යාපාරික කවයන් අතර ප්‍රසිද්ධ, දේශපාලනික වශයෙන් මනා සම්බන්ධතා ඇති අයෙකු ලෙස ඔහු සැලකෙයි.

ව්‍යාපාරික ප්‍රජාවේ නායකයෙකු වූ ඊබ්‍රාහිම්ට පුතුන් හය දෙනෙකු සහ දියණියන් තිදෙනෙකු සිටියහ.

මොහොමඩ් ඊබ්‍රාහීම්ව බොහෝ දෙනෙක් හඳුන්වනු ලැබුවේ හජ්ජියාර් ලෙසයි. ධානපතියෙකු ලෙසද ඔහු ප්‍රසිද්ධියට පත්ව සිටියේය.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් නවදෙනා

ප්‍රහාරයන්ට වගකිව යුතු ෂැන්ග්‍රි-ලා බෝම්බකරුවන්ගෙන් එක් අයෙකු වන්නේ සහරාන් හෂීම් ය. අනෙක් පුද්ගලයා ඉල්හාම් අහමර්ඩ් මොහොමඩ් ඉබ්‍රාහිම් ය.

සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා ඉල්හාම් ගේ වැඩිමහල් සහෝදරයා වන ඉන්ෂාෆ් අහමඩ් ඉබ්‍රාහිම්ය.

තෙවන ඉලක්කය වූ කිංස්බරි හෝටලයට බෝම්බ ප්‍රහාරය එල්ල කලේ මොහමඩ් අසාම් මොහොමඩ් මුබාරක් නමැති පුද්ගලයාය. ඔහුගේ බිරිඳ පොලිස් අත්අඩංගුවේ පසුවෙයි.

ශාන්ත අන්තෝනි දේවස්ථානය ඉලක්ක කර බෝම්බ ප්‍රහාරය එල්ල කලේ අහමඩ් මුවාස් නම් පුද්ගලයෙකි. ඔහුගේ සහෝදරයා අත්අඩංගුවට ගෙන ඇත.

ශාන්ත සෙබස්තියන් බෝම්බකරු මොහොමඩ් හස්තුන් ය.

මඩකලපුවේ පිහිටි ක්‍රිස්තියානි සියොන් දේවස්ථානයට මොහොමඩ් නසාර් මොහොමඩ් අසාද් විසින් බෝම්බ ප්‍රහාරය එල්ල කරන ලදී.

කොළඹ ටාජ්සමුද්‍රා හෝටලයේ බෝම්බය පුපුරුවා හැරීමට අපොහොසත් වූ නමුත් දෙහිවල පිහිටි කුඩා ලැගුම්ගලකදී බෝම්බය පුපුරුවා හැරියේ බ්‍රිතාන්‍යයේ සහ ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබූ අබ්දුල් ලතීෆ් ය.

පාස්කු ඉරිදා නඩුවෙන් හිටපු ආරක්ෂක ලේකම් හා හිටපු පොලිස්පති නිදොස්කොට නිදහස්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වලක්වාගැනීමට කටයුතු නොකිරීම ඇතුළු අධිචෝදනා ලැබ සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර පසුගිය පෙබරවාරි 18 වැනිදා නිදොස්කොට නිදහස් කෙරුනි.

ඒ, කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ ඒකමතික තීන්දුවක් ලෙස යි.

නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ හා මොහොමඩ් ඉර්සදීන් යන කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නියෝගය නිකුත් කෙරිණි.

ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් රාජකාරිය පැහැරහැරීම ඇතුළු අධි චෝදනා 855ක් යටතේ නීතිපතිවරයා පවරා තිබුණු මෙම නඩුවෙන් හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර නිදහස් කෙරුනේ විත්තියේ සාක්ෂි කැඳවීමකින් ද තොරවය.