ජනතා ප්‍රශ්න පසෙකලා මන්ත්‍රී ප්‍රශ්නවලට විසඳුම් සොයමින් සිටින පාර්ලිමේන්තුව

People queue up to buy kerosene for domestic use at a supply station in Colombo on May 17, 2022.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

මේ වන විට අපගේ රෝහල් පද්ධතිය තුළ අත්‍යාවශ්‍යම ජීවිතාරක්ෂක ඖෂධ නැත. ඉන්ධන නැති හෙයින් පිරවුම්හල් අසල දිගු රථවාහන පෝලිම් දක්නට ලැබේ. ගෑස් හිඟය. දෛනිකව පැය තුනකට අධික විදුලි කප්පාදුවකි. විදෙස් ණය ගෙවා ගැනීමට නොහැකිව තවත් අර්බුදයකි.

මෙකී ප්‍රශ්න, ගැටළු, අර්බුදවලට රටේ ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරු 225 දෙනා රැස්වන පාර්ලිමේන්තුවෙන් විසඳුමක් ලැබෙනු ඇති ද?

පසුගිය මාර්තු මස අග සිට මෙරට ඇතිවූ දේශපාලන හා ආර්ථික පීඩාකාරී තත්ත්වයට සැබෑ විසඳුම් ලබාදීමට මහජන නියෝජිතයින් කටයුතු කරන්නේ ද, ඔවුන් ඒ ගැන පර්ලිමේන්තුවේ දී සැබෑ ලෙස කතා කරන්නේ ද යන්න ප්‍රශ්නාකාරී ය.

ජනතාව මුහුණපාන ගැටලු විසඳීමට පර්ලිමේන්තුව ගෙන ඇති පියවර ගැන අදහස් දක්වමින් පුත්තලමේ ධීවරයෙකු වන කේ. ෆොන්සේකා මෙසේ කියා සිටියේ ය: "ගාණක්වත් නැහැ පාර්ලිමේන්තුවේ කට්ටියට. කිසිම ගැම්මක්වත් නැහැ. පර්ලිමේන්තුව මොනවද නිකං තේරුමක් නැහැ ඕහේ එක එක්කෙනාට වෙච්ච හානි පිළිබඳව යි, ඒගොල්ලන්ගේ ආරක්ෂාව පිළිබඳව යි කතා කරනවා. ඒගොල්ලෝ මොනවද අද කතා කරන්න ඕනේ?

"ඒ ගොල්ලන්ගේ එක මන්ත්‍රීකෙනෙක් මරුණා කියලා ඒගොල්ලෝ හඬ නඟනවා. සාමාන්‍ය මිනිහෙකුත් මරුණා රඹුක්කන දී. එක්කෙනෙක් හනුමා ගිනි අරං වගේ ගියා යන්න."

ගෝඨාගෝගම අරගල භුමියේ සිටින විරෝධතාකරුවන් පවසන්නේ ද මේ වන විට භූමියේ යථාර්ථය පාර්ලිමේන්තුව තුළ නියෝජනය නොවන බව යි. සැබෑ ජනතා හඬ පාර්ලිමේන්තුව තුළ ඉස්මතු නොවන බව ඔවුන්ගේ අදහස වී තිබේ.

පාර්ලිමේන්තුව කාලය හා මුදල් කා දැමීමක්ද?

පසුගිය සති දෙක තුළ පර්ලිමේන්තුවේ සිදුවූ සුවිශේෂි කටුයුතු සලකා බැලීමේ දී නියෝජ්‍ය කතානායකවරයෙකු තෝරා පත්කර ගැනීම සඳහා ඡන්ද විමසීම් දෙකක් පැවැත්විණි.

නියෝජ්‍ය කතානායකධුරයෙන් රංජිත් සියඹලාපිටිය ඉල්ලා අස්වීමෙන් පසු එක් ඡන්ද විමසීමක් පැවැත්වුණු අතර, දවස පුරා පැවති එම ඡන්ද විමසීමේදී රංජිත් සියඹලාපිටිය යළි නියෝජ්‍ය කතානායකධුරයට පත්විය. ඊට පසු දින ඔහු යළි ධුරයෙන් ඉල්ලා අස්විය.

ඒ අනුව පසුගිය සතියේ තවත් රහසිගත ඡන්ද විමසීමක් පැවැත්වුණු අතර එහිදී අජිත් රාජපක්ෂ මන්ත්‍රීවරයා නියෝජ්‍ය කතානායකධුරයට තේරී පත්විය.

පාර්ලිමේන්තුව රැස්වීම වෙනුවෙන් රුපියල් මිලියන 9කට අධික ජනතා මුදලක් දෛනිකව වැයවන අතර, පර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් සහන මිලට ආහාර පාන මෙන්ම දෛනික පැමිණීම වෙනුවෙන් අමතර දීමනා ද සැපයෙයි.

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යධුරයේ දිවුරුම් දුන් අතර කැබිනට් අමාත්‍යවරු සිව්දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.

ඒ, විදේශ කටයුතු, විදුලිබල හා බලශක්ති, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන, සහ නාගරික සංවර්ධන හා නිවස යන අමාත්‍යංශ සඳහා යි.

නාගරික සංවර්ධන හා නිවාස යන අමාත්‍යංශ සඳහා අමත්‍යවරයෙකු පත්කර ඇතත්, මුදල් අමාත්‍යවරයෙක් හෝ සෞඛ්‍ය අමාත්‍යවරයෙකු මෙතෙක් පත්කර නොමැත.

ඖෂධ හිඟය හේතුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය මේ වන විට දැඩි අර්බුදකාරී වාතාවරණයක පවතියි.

ආණ්ඩුවේ ප්‍රමුඛතාව

පසුගිය මාර්තු 31 වැනි දා සිට විවිධ අවස්ථාවල දී රට තුළ සිදු වූ ප්‍රචණ්ඩකාරී ක්‍රියා හේතුවෙන් නිවාස හා දේපල හානි වූ සියලුදෙනාට සාධාරණය ඉටුකරදීම සඳහා තමන් පෞද්ගලිකවම මැදිහත් වන බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග පැවසීය.

ඔහු කියා සිටියේ මේ වන විටත් තමන් මේ පිළිබඳව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමග සාකච්ඡා සාකච්ඡා කර ඇති බව යි.

හිටපු අග්‍රාමාත්‍යවරයාට සහ ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණ හා ප්‍රචණ්ඩක්‍රියා ආරම්භ වූයේ පසුගිය මාර්තු 31 වෙනිදා ජනාධිපතිවරයාගේ මිරිහාන නිවස අසල ඇතිවූ ජන විරෝධයත් සමග ය.

Prasanna Ranatunga

ඡායාරූප මූලාශ්‍රය, Prasanna Ranatunga/Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රසන්න රණතුංග නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස මැයි 18 දා වැඩ භාරගත්තේ ය

එම සිද්ධියෙන් පසු මේ දක්වා දිවයින පුරා විවිධ ප්‍රදේශවල සිටි ඇමතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය සභා නගර සභා සභාපතිවරුන්, ප්‍රාදේශීය සභා හා නගර සභා මන්ත්‍රීවරුන් මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් ඉලක්ක කරගනිමින් සිදුවුණු නිවාස සහ දේපළ ගිනිතැබීම් හා විනාශ කිරීමේ සිද්ධීන් රැසක් වාර්තා වී ඇතැ යි අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළේ ය.

ඒ පිළිබඳ සියලු තොරතුරු ලබාගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව ද ඇමැතිවරයා සඳහන් කරයි.

ඒ පිළිබඳ සියලු තොරතුරු ලබාගෙන ඔවුන්ට සාධාරණය ඉටු කිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ද ඇමති රණතුංග අවධාරණය කළේ ය.

මේ අතර, පසුගිය දිනවල ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය තුළ පොදු සහ පෞද්ගලික දේපළවලට සිදුවූ අලාභය පිළිබද සභාව කල්තැබීමේ විවාදය අදත් (මැයි 19) පාර්ලිමේන්තුවේ දී පැවැත්විමට නියමිත යි. ඒ, තුන්වන දිනට යි.

මැයි 18 සහ 17 වනදා මෙම විවාදය පාර්ලිමේන්තුවේ දී පැවැත්වීය.

දේශපාලන විචාරකයින් පවසන්නේ රටේ දරුණු ආර්ථික අර්බුදයක් ඇති මොහොතක රටේ උත්තරීතර පාර්ලිමේන්තුව රටේ දැවෙන ප්‍රශ්න වලට විසදුම් සෙවීමට අවශ්‍ය නීති සම්පාදනය කරනවා වෙනුවට තමන්ට හා තමන්ගේ දේපළවලට සිදුවූ හානිය පිළිබඳව පමණක් අවධානය යොමුකිරිම හාස්‍යජනක බවයි.

රෝහල්වල දැඩි සත්කාර ඒකක (ICU) සහ අධිසත්කාර ඒකක (HDU) වැසෙයි ද?

සියලුම රෝහල්වල දැඩි සත්කාර සහ අධි සත්කාර ඒකක පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය රුධිර වායු විශ්ලේශක යන්ත්‍ර සදහා අවශ්‍ය ප්‍රතික්‍රීයක නොලැබී යෑමෙන් ඉදිරියේ දී එම ඒකක පවත්වා ගැනීමට නොහැකි දැඩි අර්බුදයක් මතුව ඇතැ යි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය අනාවරණය කළේ ය.

එම සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසා සිටියේ මේ හේතුවෙන් දැඩි සත්කාර සහ අධි සත්කාර ඒකකයන්හි වායු සැපයුම් යන්ත්‍ර මඟින් ප්‍රතිකාර ලබන රෝගීන් දැඩි අවධානමකට ලක්වන අතර, රුධිර වායු විශ්ලේෂක යන්ත්‍ර නොමැතිව එම ඒකක පවත්වාගැනීම පවා නිශ්ඵල විය හැකි බව යි.

එම යන්ත්‍ර ක්‍රියාකරවීමට අවශ්‍ය ප්‍රතික්‍රීයක සඳහා සැපයුම්කරුවන් වෙත ගෙවිය යුතු රුපියල් මිලියන 300 පමණ මුදලක් ගෙවීම, මාස සතරකට වැඩි කලක් තිස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශය පැහැර හැරීම නිසා තවදුරටත් අදාළ ප්‍රතික්‍රීයක ලබාදීම කළ නොහැකි බව අදාළ සමාගම් විසින් දන්වා තිබීම මේ තත්වයට ප්‍රධාන හේතුවක් බව රවී කුමුදේශ් සඳහන් කළේ ය.

මෙවැනි ගැටලු සඳහා තාවකාලික පිළියමක් හෝ යෙදීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකිවයුතු නිලධාරීන් කටයුතු නොකිරීම හේතුවෙන් සැපයුම්කරුවන් ඉතා අසීරු තත්වයකට පත්ව ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

කැබිනට් මණ්ඩලය පත්කර අවසන් කරන්නේ කවදා ද?

මේ වන විට සම්පූර්ණ කැබිනට් මණ්ඩලය පත්නොකිරීම හේතුවෙන් පර්ලිමේන්තුවට පනත් කෙටුම්පත් ඉදිරිපත් නොවන අතර කල්තැබීමේ විවාද පමණක් පැවැත්වෙයි.

මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්නවලට ද පිළිතුරු නොලැබෙන අතර ඒවාට පිළිතුරු දීම කල් දැමේ.

මැයි 18 පර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ දී වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වෙනත් දිනයකට යොමු කරන බව කතානායක මහින්ද යපා අබේවර්ධන කියා සිටියේ ය.

"මේ අමාත්‍ය මණ්ඩලයේ විෂය පථයන් නිර්ණය කිරීම, අදාළ අමාත්‍යවරුන්ගේ විෂය හා කර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිත හෙයින් නියමිත වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වෙනත් දිනයකට යොමු කරනු ලැබේ," කතානායකවරයා කියා සිටියේ ය.

මෙහිදී නැඟී සිටි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මෙසේ කියා සිටියේ ය:

"දැන් සති කිහිපයක් මුළුල්ලේ න්‍යාය පත්‍රයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරන්ගේ ප්‍රශ්න එනවා, කතානායක තුමා ඔතන වාඩිවෙලා එවා පසු දිනයකට කල් තබනවා කියලා කියනවා. නමුත් දැන් අමාත්‍යවරුන් හතරක් ඉන්නවා, අගමැතිතුමාත් එක්ක පස්දෙනෙකු ඉන්නවා. එතකොට දැන් සමහර ප්‍රශ්නවලට පිළිතුරු ලබාදිය හැකියි. දැන් මේ පාර්ලිමේන්තුවට කියන්න ඕනේ අහවල් දිනය වෙනකොට කැබිනට් මණ්ඩලය පත්කරනවා කියලා. එහෙම දිනය නැතිව, කෙලවරක් නැතිව පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කල් දදා යනවා අමාත්‍ය මණ්ඩලයක් පත්වෙනකන් පත්වෙනකන් කියලා."

"එහෙම නැත්නම් අගමැතිවරයා නැගිටලා කියන්න ඕනේ මේන් මේ දිනය වන විට කැබිනට් මණ්ඩල පත්කරලා අවසන් වෙනවා, එතෙක් ඉන්න කැබිනට් අමාත්‍යවරුන්ගේ ප්‍රශ්න ටිකවත් දාන්න කියලා. එහෙම නැතිව ආණ්ඩුව විසින් කැබිනට් මණ්ඩලය පත් කරන් නැතිව පාර්ලිමේන්තුවේ වැඩ අඩාල වෙන්න බැහැනේ."

"මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකමක් තමා ප්‍රශ්නයක් විමසීම. ඒ නිසා ඔබතුමා ඒකට අවස්ථාවක් සලසා දෙන්න. දැන් සති දෙකකට වැඩි කාලයක් දිගටම මේ ප්‍රශ්න කල්තබමින් යනවා. දැන් ආණ්ඩුව පැත්තෙන් ඉදිරිපත් කරන්න ඕනේ කවද වෙනකොට කැබිනට් මණ්ඩලයක් පත් කරලා අවසන් වෙනවද, කවද ඉඳන් පර්ලිමේන්තුවේ නිශ්චිත න්‍යාය පත්‍රයකට කටයුතු කරනවද කියලා."

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

පර්ලිමේන්තුවේ කාලය යොමුවන්නේ ජනතා ප්‍රශ්න ගැන ද?

"ගරු කතානායකතුමණි, අපේ මන්ත්‍රීවරයෙක්ගේ වරප්‍රසාද රීති ප්‍රශ්නයක් මතුව තිබෙනවා රාසමානික්කම් මන්ත්‍රීතුමාට. එතුමට පණිවිඩයක් ලැබුණා මූලාසනය ගන්න පර්ලිමේන්තුවට එන්න කියලා. එතුමා ඇවිල්ලා වාඩිවෙලා හිටියා. ඒ වෙලාවේ එතුමාගේ නම අඬගහන්නේ නැතිව ශාන්ත බණ්ඩාර මැතිතුමාගේ නම අඬගැහුවා ශාන්ත බණ්ඩාර. ශාන්ත බණ්ඩාර පැනල් එකේ නැහැ. පැනල් එකේ නැති එක්කෙනෙක්ව මූලාසනයේ ඉන්න කියලා රාසමානික්කම්ව නිකං හෑල්ලුවට ලක්කළා," යනුවෙන් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල මැයි 18 වැනිදා කතානායකවරයාගේ අවධානයට ප්‍රශ්නයක් යොමු කරමින් පැවසුවේ ය.

මෙහිදී චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා කියා සිටියේ, "අපි දිගින් දිගටම ප්‍රශ්නය ඇහුවා. ඒ ප්‍රශ්නය ඇහුවේ අපේ ගෙදර කඩන එකවත් බිඳපු එක ගැනවත් නෙමේ. වර්තමානයේ රටේ ජනතාවගේ බරපතල ප්‍රශ්න. ඔබතුමා දිගින් දිගටම කල්දානවා. අපි බලාපොරොත්තු වුණා රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති වෙනකොට එතුමා විපක්ෂයේ ඉන්නකොට කතා කළේ මේ රට හදන්නට ගොඩනගන්න වැඩපිළිවෙල. නමුත් මේ දින තුනක් මේ රටේ ප්‍රශ්නය පාර්ලිමේන්තුවේ කතා වෙන්නේ නැහැ. ගිනි තියපු ඒව ගැන කතා වෙනවා," යනුවෙනි.

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා කියා සිටියේ: "අද අපි පාර්ලිමේන්තුවට ආවාම මිලියන 22ක් එළියේ ඉඳලා බලාගෙන ඉන්නවා ඉන්ධන මිල අඩු කරන්නේ කොහොමද, අවහිරතාවයෙන් තොරව ගෙනියන්නෙ කොහොමද කියලා ඒවා පිළිබඳ කතා කරනවා. මේ පුටුවක් ගැන යි, පුටුවට පත්වෙන්න බැරි වෙන එක යි, පුටුවට දුන්නැති එක ගැනයි කතා කරනවා මේ උදේ පාන්දර පාර්ලිමේන්තුවේ."

මේ අතර සමගි ජන බලවේගයේ මන්ත්‍රී තිස්ස අත්තනායක අද (මැයි 19) පාර්ලිමේන්තුවේදී පැවසුවේ මේ වන විට කිසිදු ඵලදායි ක්‍රියාවක් ඉටු කිරීමට අපොසොසත් වී ඇති බවත් අදාළ පනත් කෙටුම් පත් පාර්ලිමේන්තුව ඉක්මනින් ගෙන එම තුළින් නැතිවී ඇති ජනතා විශ්වාසය ගොඩනගා ගත හැකි බවයි.

ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය 'මානෙල් මල' බවට රට දැනුවත් කිරීමේ අවශ්‍යතාව කෝපා කමිටුව පෙන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය 'මානෙල් මල' බවට ජාතික අධ්‍යාපන ආයතනය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා අනෙකුත් අදාළ ආයතන මෙන්ම පුවත්පත් දැන්වීම් හරහාද නිසි පරිදි ජනතාව දැනුවත්කිරීම් කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පරිසර අමාත්‍යාංශයට උපදෙස් ලබාදී තිබේ.

මේ පිළිබඳව පරිසර අමාත්‍යාංශය මඟින් පවත්වනු ලබන දැනුවත් කිරීමේ වැඩසටහන්වලදී ජාතික පුෂ්පය පිළිබඳ පාසල්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන දැනුවත් කළද එය ප්‍රමාණවත් පරිදි සිදුවී නොමැති බවද කාරක සභාව විසින් නිරීක්ෂණය කොට තිබේ.

මේ නිසා 2015 ජුනි මස අමාත්‍ය මණ්ඩල තීරණයක් අනූව ජාතික පුෂ්පය 'මානෙල් මල' බවට අමාත්‍යාංශය යටතේ ඇති ආයතන හා අනෙකුත් රාජ්‍ය ආයතන දැනුවත් කිරීමට ප්‍රමාණවත් තරම් ප්‍රචාරණයක් ලබාදීමට අමාත්‍යාංශය අපොහොසත් වී ඇති බැවින් ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය 'නිල් මානෙල්' ලෙස තවමත් බොහෝ අවස්ථාවල භාවිතා වන බවද කාරක සභාව නිරීක්ෂණය කර තිබේ.

මේ කරුණු අන්තර්ගත වූයේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ විසින් අද (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කෝපා කමිටුවේ 09 වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභා වාරයේ පළමු වාර්තාවේය.

2021.08.04 සිට 2021.11.19 දක්වා කාලය තුළ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් කැඳවන ලද රාජ්‍ය ආයතන 7ක සහ එක් විශේෂ විගණන වාර්තාවක විමර්ශනයන් පිළිබඳ තොරතුරු මෙම වාර්තාවට අන්තර්ගත වේ.