අර්බුදය විසඳීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් කළ යෝජනා 13 මෙන්න

රට තුළ මේ වන විට පැනනැගී ඇති දේශපාලන අස්ථාවරභාවයෙන් ගොඩ ගැනිමටනම් දේශපාලන ස්ථාවරත්වයක් පිටවිය යුතු අතර ඒ සඳහා ආණ්ඩුවක් පත්කළ යුතු බවට දේශපාලන විචාරකයන් පවසයි. මේ වන විට අගමැතිවරයා ඉල්ලා අස්වී පැය 24ක් ගතවී ඇතිමුත් මේ වන තෙක් අගමැතිවරයකු පත්කිරීමට නොහැකිවීම මත රට අරාජික තත්ත්වයකට පත්ව ඇති බවට දේශපාලන විචාරකයන් චොදනා කරයි.

රට තුළ ආර්ථික සහ දේශපාලනික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් යෝජනාවන් 13ක් ඉදිරිපත්ව තිබේ.

ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට කඩිනම් විසඳුම් ලබාදී ආර්ථිකය ස්ථාවර කිරීමට ශ්‍රී ලංකා නීති සංගමය ඉදිරිපත් කරන ලද යෝජනා මාලාව මත පදනම්ව, අර්බුදය විසඳීම සඳහා වූ ජාතික වැඩසටහනක් සඳහා පාර්ශව රැසක් එකඟතාව පළ කිරීම මේ වන විට සිදුව තිබේ.

එම යෝජනා මාලාව මත පදනම්ව අර්බුදය විසඳීමේ ජාතික වැඩසටහනක් සඳහා සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය සිය සහයෝගය ලබාදීමට තීරණය කර ඇත.

මෙම යෝජනාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හා ස්වාධීන වූ පක්ෂ 11ක නියෝජිතයින් සමග මැයි 08 වැනිදා සාකච්ඡා පැවැත්වීය.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නීතීඥ සභාව විසින් අනුමත කරන ලද මෙම යෝජනා මේ වන විටත් ලංකා වාණිජ මණ්ඩලය විසින් ද අනුමතව තිබේ.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය හා ලංකා වාණිජ මණ්ඩලය එම යෝජනා ඒකාබද්ධ වාණිජ මණ්ඩල, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය, වෘත්තික සංගම් සංවිධානය (OPA) සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය වෙත ද ඉදිරිපත් කර ඇත.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ යෝජනා 13 මොනවා ද?

  • සියලුම ක්‍රියාමාර්ග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අදාළ නීතිමය තත්ත්වයන් මෙන්ම විනිවිදභාවයට අනුකූල විය යුතු ය. මෙහිදී නිර්දේශ කරනු ලබන සංක්‍රාන්තීය ප්‍රතිපාදන හුදෙක් වර්තමාන තත්ත්වයන්ගේ අවශ්‍යතාවය නිසා වන අතර එය පසුව පූර්වාදර්ශයක් ලෙස භාවිත නොවිය යුතු ය
  • 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විධිවිධාන වහා ඉවත්කර 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ප්‍රතිශ්ඨාපනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 21 වැනි සංශෝධනය වහා හඳුන්වාදිය යුතු ය. එසේ කිරීමේ දී දැනට පවතින අභියාචනාධිකරණ, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව නොවෙනස්ව පැවතිය යුතු ය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ විදිවිධාන හඳුන්වාදීමේ ප්‍රතිඵලයක් ලෙස 19 වැනි සංශෝධනය දී පැවති ස්වාධීන කොමිෂන් සභා, මූල්‍ය ස්වාධීනත්වය, විනිවිදභාවය සහ වගවීම වැඩිදියුණු කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව යළි ස්ථාපිත කළ යුතු ය
  • 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විධිවිධානවලට අමතරව 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් මෙසේ සඳහන් කළ යුතු ය:
  • ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ මුදල් මණ්ඩලයේ අධිපතිවරයාගේ පත්වීම් ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ඇතිව කළ යුතු ය
  • අමාත්‍යංශ ලේකම්වරුන් හා ආණ්ඩුකාරවරුන්, තානාපතිවරුන් සහ දූත මණ්ඩල ප්‍රධානීන් පත් කිරීම අමාත්‍ය මණ්ඩලය සමග සාකච්ඡා කර අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත සිදුකළ යුතු ය
  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් පත් කරන ලද නීතියෙන් ස්ථාපිත ආයතනයක නිර්දේශයට අනුව ජනාධිපති සමාව ලබාදිය යුතු ය
  • 21 වැනි සංශෝධනය බලාත්මක කිරීමෙන් පසු සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කළ යුතු අතර අධිකරණ සේවා කොමිෂන් සභාව හැර අනෙකුත් සියලුම ස්වාධීන කොමිෂන් සභා ප්‍රතිසංවිධානය කළ යුතු ය
  • ජනාධිපතිවරයා කිසිදු අමාත්‍යධුරයක් නොදැරිය යුතු ය (19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් නියම කර ඇති පරිදි)
  • විධායක ජනාධිපති ක්‍රමය හැකි ඉක්මනින් අහෝසි කිරීම (මාස 15ක් ඇතුළත). ඒ සඳහා වන සංශෝධනය 2022 නොවැම්බර් 30 වැනි දිනට නොඅඩු කාලයක දී පාර්ලිමේන්තුවේ දී සම්මත විය යුතු අතර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ක්‍රියාකාරී දිනය එමඟින් නියම කළ යුතු ය. විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ඇති කිරීමට නියමිත අතර එහිදී රජයේ ප්‍රධානියා ලෙස අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුවට වගකිව යුතු ය
  • කැබිනට් අමාත්‍යවරුන් 15 දෙනෙකුගෙන් සමන්විත "ජාතික සමගි අන්තර්වාර රජයක්" පිහිටුවීම. ජාතික ආර්ථිකය යථාවත් කිරීම සම්බන්ධයෙන් කතානායකවරයා මූලිකත්වය ගෙන පාර්ලිමේන්තුවේ පිළිගත් සියලුම දේශපාලන පක්ෂ අතර සම්මුතියක් ඇතිකර ගැනීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ ඇති කිරීමට හැකිවන පරිදි, තෝරාගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කිරීම. පවතින අවශ්‍යතාව මත මෙම නිර්ණායක සපුරාලන මන්ත්‍රීවරයෙකු නොමැතිනම් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ඉල්ලා අස්වීමෙන් ඇතිවන පුරප්පාඩුවක් මෙම නිර්ණායක සපුරාලන පුද්ගලයකුට පාර්ලිමේන්තුවට ප්‍රවේශවීම පහසු කිරීම සඳහා යොදාගත හැකි ය. මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ ද මුල් ලැයිස්තුවේ එවැනි පුද්ගලයකුගේ නම නොතිබුණ ද දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නොවන පුද්ගලයකු අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමට එකඟතාවක් ඇති කරගත යුතු ය
  • අමාත්‍යංශ 15කට අනුරූප හෝ ජාතික ආර්ථිකයට අදාළ විෂය ක්ෂේත්‍රවලින් සුදුසුකම් ලත් වෘත්තිකයින් 15 දෙනකුගෙන් සමන්විත ස්වාධීන උපදේශක සභාවක් පත් කිරීම සඳහා අන්තර්කාලීන රජය විසින් අදාළ සියලු ස්වාධීන, දේශපාලනික නොවන වෘත්තීය/වෙළඳ/සිවිල් සමාජ සංවිධාන සමග සාකච්ඡා කර ස්වාධීන උපදේශක සභාවක් පත් කිරීම. රජයේ සියලුම ප්‍රධාන ප්‍රතිපත්ති තීරණ විනිවිදභාවයෙන් යුතුව මෙම උපදේශක සභාව සමග සාකච්ඡා කර ගත යුතු ය
  • ගැසට් පත්‍ර අංක 2212/ 53 සහ විෂය 2157/ 44 දරණ ගැසට් පත්‍රය මඟින් පත්කරන ලද විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව 2015 සිට 2019 දක්වා කාලසීමාව තුළ දේශපාලන පළිගැනීම පිළිබඳ චෝදනා විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශ හා තීරණ ක්‍රියාත්මක කිරීම අවලංගු කිරීම
  • ජාතික සමගිය පිළිබඳ කැබිනට් මණ්ඩල උපදේශක සභාව සමග සාකච්ඡා කර පොදු අවම වැඩසටහනක් සකස් කළ යුතු ය. එම වැඩසටහන අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවේ සභාගත කෙරෙන අතර එය ක්‍රියාත්මක කිරීම ජාතික සමගිය පිළිබඳ කැබිනට් මණ්ඩලය වගකීම වේ. මෙම අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ වඩාත්ම අවධානමට ලක්වී ඇති ජනතාව ගැන සැලකිලිමත් වීම පිළිබඳව අදාල වැඩසටහන විශේෂ අවධානය යොමු කළ යුතු ය. මේ යටතේ,
  • ණය ප්‍රතිව්‍යුහගත කිරීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනක් පිළිබඳ සාකච්ඡා කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන අපේක්ෂාවෙන් සිටින ද්වීපාර්ශවික හවුල්කරුවන්ගෙන් විදේශ විනිමය මූල්‍ය පහසුකම් ලබාගැනීම
  • අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා හිඟය වහා විසඳීම
  • රාජ්‍ය වත්කම් කළමනාකරණය, පෞද්ගලීකරණය කිරීම, සහ ප්‍රසම්පාදන ඇතුළු ටෙන්ඩර් ප්‍රදානය කිරීම පිළිබඳ විනිවිදභාවයෙන් යුත් වැඩපිළිවෙලක් සැකසීම
  • ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය ඉදිරියට ගෙනයාම සඳහා නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් සහ නිදහස තහවුරු කරන බවට සහතික කිරීම
  • ජාතික අවශ්‍යතා සඳහා සහාය වන විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම
  • අපරාධ වැළැක්වීම පිළිබඳ නීති පැනවීම, රාජ්‍ය වත්කම් අයකර ගැනීම පිළිබඳව සහ ලැබෙන ආදායම් පිළිබඳ නීති සම්පාදනය කිරීම, දූෂණ විරෝධී නීති සම්පාදනය කිරීම, දේශපාලන පක්ෂ නියාමනය කිරීම සහ ඔවුන්ගේ ප්‍රචාරක වියදම අධීක්ෂණය සහ තේරී පත්වූ අයගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ ප්‍රකාශයට පත් කිරීමට හැකිවන එම නීතියට අවශ්‍ය සංශෝධන ගෙනඒම
  • ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වය ශක්තිමත් කිරීම සඳහා මුදල් නීතියට අවශ්‍ය සංශෝධන හෝ නව නීති සම්පාදනය කිරීම
  • ජාතික ආර්ථිකය සංවර්ධනය කිරීමට සහ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීම සඳහා වෘත්තීය සංවිධාන සහ වෙළඳ සංගම්වල ද්විපාර්ශ්වික සහය සහ ඇතිව සම්මත කිරීම
  • පාර්ලිමේන්තුවේ උපදේශක කාරක සභා සහ ආංශික අධීක්ෂණ කාරක සභා ශක්තිමත් කිරීම සහ එවැනි රැස්වීමට සහභාගි වන ලෙස වෘත්තිය සංවිධාන සහ වෙළඳ සංගම්වලට ආරාධනා කිරීම
  • මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් අවශ්‍ය සියලුම ප්‍රතිසංස්කරණ කඩිනමින් සම්පූර්ණ කිරීම (විශේෂයෙන් ප්‍රමාද වී ඇති) මැතිවරණ පැවැත්වීම සඳහා පිරිවැය අවම කෙරෙන ක්‍රම සම්පාදනය කිරීම (මැතිවරණ ඒකාබද්ධ කිරීම වැනි) සහ ජනාධිපතිවරණයක් හෝ පාර්ලිමේන්තුව මැතිවරණයක් හෝ වෙනත් මැතිවරණ පැවැත්වීම සඳහා ව්‍යවස්ථාපිත නිශ්චිත කාල රාමුවක් සැකසීම
  • 2021 දෙසැම්බර් 22 දිනැති ලිපියක් මඟින් විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීති නීතීඥ සංගමය ඉදිරිපත් කළ යෝජනා සලකා බලා ඒවා සංශෝධනය කිරීම
  • ව්‍යාපාර කිරීමේ පහසුව වැඩිදියුණු කිරීමට පියවර ගැනීම
  • විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පොදු අවම වැඩසටහනට ඇතුළත් කළ යුතු ය
  • අන්තර්වාර රජය විසින් ඉදිරිපත් කරන අයවැයක් පොදු අවම වැඩසටහන මත පදනම් විය යුතු ය
  • "ජාතික සමගි රජය" මැතිවරණ අධීක්ෂණය සඳහා භාරකාර රජයක් ලෙස උපරිම මාස 18ක කාලයක් සහ තවත් සති 6ක් පවතිනු ඇත. එම මාස 18 අවසන් වන විට පාර්ලිමේන්තුව විසුරුවාහැර සති 6කින් මහ මැතිවරණයක් පවත්වනු ලැබේ. මහමැතිවරණ අවසන්වීමෙන් පසු ජාතික සමගි ආණ්ඩුවේ කාර්යභාරය අවසන් වේ

වත්මන් ආර්ථික අර්බුදය, නිදහසෙන් පසු ශ්‍රී ලංකාව මුහුණදුන් බරපතලම අර්බුදය බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙන අතර, මෙම අර්බුදය රටේ නායකත්වය සහ ආයතන කෙරෙහි මහජන විශ්වාසය නැති කිරීමට හේතුවී ඇතිබව ද, විධායක ජනාධිපති ක්‍රමයේ අසාර්ථකත්වය පෙන්නුම් කරන බව ද ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසන්නේ, විශේෂයෙන්ම 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමෙන් පසු විධායකය පිළිබඳ අර්ථවත් පාර්ලිමේන්තු අධීක්ෂණයක් නොමැතිකම, වගවීම සහ විනිවිදභාවය නොමැතිකම පිළිබඳ චෝදනා සහ ඉහවහා ගිය දූෂණයක් පවතින බව වටහා ගැනීම වත්මන් දේශපාලන නොසන්සුන්තාවයට හේතු වී ඇතැ යි යනුවෙනි.

යෝජනා ගැන ජනපතිගේ ස්ථාවරය

පවතින දේශපාලන සහ ආර්ථික අස්ථාවරභාවයෙන් මිදීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් කර ඇති යෝජනා සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කිරීම ගැන සලකා බලන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කියා සිටියේ ය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක සභාව සමග මැයි (08) කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ය.

යෝජනා ඉදිරියට ක්‍රියාත්මක කරන ආකාරය සාකච්ඡාවට ලක්කළ ජනාධිපතිවරයා එහිදී නීතියේ ආධිපත්‍ය සුරැකීමේ වැදගත්කම අවධානයට ලක් කරනු ලැබී ය.

ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක සභාව අතර එම යෝජනා සම්බන්ධයෙන් දීර්ඝව පැවති සාකච්ඡාවේ දී සියලු යෝජනා කෙරෙහි අවධානය යොමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, ලේකම් නීතිඥ ඉසුරු බාලපටබැදි ඇතුළු විධායක සභාවේ සාමාජිකයෝ ජනාධිපතිවරයා සමග සාකච්ඡාවට එක්වූහ.