නීතිඥ අම්බිකා සත්කුනනාදන්ගේ ප්‍රකාශයෙන් ලංකාවට GSP + අහිමිවෙයි ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි නිත්‍ය සැසිවාරය මෙවසරේ පෙබරවාරි 28 - අප්‍රේල් 1 දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවාහි දී පැවැත්වීමට නියමිතව ඇත.
ශ්‍රී ලංකා රජය ද මේ වන විට ලහිලහියේ ඒ සඳහා සූදානම් වෙමින් සිටියි.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව ද මෙම සැසිවාරය තුළ දී ඉදිරිපත්වීමට නියමිතව ඇත.
එවන් පසුබිමක් තුළ, මානව හිමිකම් නීතිඥවරියක වන අම්බිකා සත්කුනනාදන් යුරෝපා පාර්ලිමේන්තු අනුකමිටුව හමුවේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් හා කම්කරු අයිතිවාසිකම් පිළිබඳ තත්ත්වය සම්බන්ධයෙන් මෑතක දී සිදුකළ ප්‍රකාශය හේතුවෙන් මේ වන විට ආන්දෝලනාත්මක තත්ත්වයක් උද්ගත වී තිබේ.
ඒ, අම්බිකා සත්කුනනාදන්ගේ ප්‍රකාශය විදේශ අමාත්‍යංශය විසින් දැඩිව ප්‍රතික්ෂේපවීමත් සමග යි.
අම්බිකා සත්කුනනාදන්ගේ චෝදනා

ඡායාරූප මූලාශ්‍රය, Ambiga Sathkunanadan
අම්බිකා සත්කුනනාදන් මානව හිමිකම් නීතිඥවරියක සහ මානව හිමිකම් පිළිබඳ ක්‍රියාකාරිණියක මෙන්ම, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස්වරියක ද වූවා ය.
ඇය ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පිළිබඳ ප්‍රථම ජාතික අධ්‍යයනයට නායකත්වය දුන් අතර, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ නීති උපදේශකවරිය විය.
2022 ජනවාරි 27 වැනි දින යුරෝපා පාර්ලිමේන්තුවේ අනුකමිටුව හමුවේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් හා කම්කරු අයිතිවාසිකම් පිළිබඳ තත්ත්වය සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගත් අවස්ථාවේ දී, අම්බිකා සත්කුනනාදන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය විවේචනය කරමින් අදහස් දැක්වූවා ය.
මානව හිමිකම් නීතිඥවරියක ලෙස එම සංවාදයට එක්වූ ඇය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කරුණු කිහිපයක් පිළිබඳව ප්‍රකාශයන් සිදුකළා ය.
- "මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධය" ශ්‍රී ලංකාවේ පොලිසිය විසින් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමට සහ රඳවා තබා ගැනීමට මෙන්ම, අනීතික ඝාතන සාධාරණීකරණය කිරීමට ද යොදාගනියි
- අමාත්‍යාංශ මිලිටරිකරණ ක්‍රියාවලිය
- 2020 සිට රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා
- "එක් රටක් එක නීතියක්" පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය
- නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුම කළමනාකරණය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය
- සමාජ සංහිඳියාව ආරක්‍ෂා කිරීම ගැන රජය අවධානය යොමු කරන්නේ ද යන්න
එසේම නීතිඥ අම්බිකා යෝජනා කරන්නේ, ශ්‍රී ලංකා රජය මානව හිමිකම් සුරැකීමට බැඳී සිටිතැ යි තහවුරු කිරීම සඳහා GSP+ වෙළඳ සම්බාධක දැඩිසේ භාවිතා කළ යුතු බව යි.
විදේශ අමාත්‍යංශය චෝදනා ප්‍රතික්ෂේප කරයි
කෙසේ නමුත්, නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ නීතිඥ සත්කුනනාදන් ලබාදුන් ප්‍රකාශයේ අඩංගු නොමඟ යවනසුළු ප්‍රකාශ රැසක් පිළිබඳව විදේශ අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇති බව යි.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණ සහ මානව හිමිකම් කවුන්සිලය සමග දිගුකාලීන සහයෝගීතාවක නිරත වෙමින්, දේශීය ක්‍රියාවලීන් සහ ආයතන හරහා සිය වගවීම සහ ප්‍රතිසන්ධාන කටයුතු ඉටුකිරීම සම්බන්ධයෙන් ඇති කැපවීම ක්‍රියාවට නංවන මෙවැනි අවස්ථාවක දී, සත්කුනනාදන් ඉදිරිපත් කළ මෙම ප්‍රකාශය හරහා ශ්‍රී ලංකා රජය විවිධ අංශයන් ඔස්සේ ලබා ඇති ප්‍රගතිය මුළුමනින්ම නොසලකා හැරීමකට ලක්කෙරෙන බව අමාත්‍යංශය පවසයි.
එමඟින් රජයේ අභිප්‍රාය සහ අවංකභාවය පිළිබඳව සැකයක් උද්ගත වන බව ද විදේශ අමාත්‍යංශය කියයි.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 1
GSP +වලට බලපෑමක් වෙයි ද?
සත්කුනනාදන් ඉදිරිපත් කළ නිර්දේශ අතර, මානව හිමිකම් සම්බන්ධයෙන් රජයට බලපෑම්කිරීම සඳහා යුරෝපා සංගමය GSP+ සහනය භාවිතා කළ යුතු බවට ඉදිරිපත් කළ නිර්දේශය සම්බන්ධයෙන් සිය කණගාටුව වන බව විදේශ අමාත්‍යංශය සඳහන් කළේ ය.
විශේෂයෙන්ම දැනට පවතින කොවිඩ්-19 වසංගතය හේතුවෙන් සියලුම ප්‍රජාවන්ට අයත් මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්ගේ ජීවනෝපාය කෙරෙහි මේ වන විටත් බලපෑම් එල්ල වී ඇති අවස්ථාවක, යුරෝපා සංගමයේ GSP+ පහසුකම ශ්‍රී ලංකාවට අහිමි වුවහොත්, එහි ප්‍රතිඵල ලෙස මුහුණදීමට සිදුවන පාඩු හේතුවෙන් දරිද්‍රතාවය ඉහළගොස් ආදායම්වල අසමානතාවය උග්‍රවනු ඇතැ යි විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය.
තව ද, ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත්වල සිදු කෙරෙන ප්‍රධාන කර්මාන්ත අතරට අයත් වන ධීවර කර්මාන්තයට හා කෘෂිකර්මාන්තයට මෙමඟින් දැඩි බලපෑම් එල්ලවනු ඇතැ යි අමාත්‍යංශ නිවේදනයේ සඳහන් ය.
ඊට ප්‍රතිචාර දක්වමින් අම්බිකා සත්කුනනාදන් පවසා සිටියේ, GSP+ වෙළඳ වරප්‍රසාදය මාධ්‍යයක් ලෙස භාවිතා කරමින්, ජාත්‍යන්තර මානව හිමිකම් බැඳීම් ඉටුකිරීමට රජයට බලපෑම් කරන්නැ යි තමා යුරෝපා සංගමයට කළ ආයාචනය ගැන රජය දක්වන "අමනාපය" සිත් කරදර ඇතිකරවනසුළු බව යි. GSP+ වරප්‍රසාද, මානව හිමිකම් වගකීම් ඉටුකරන ලබන්නා මත රඳා පවතියි.
ඉහත කී මානව හිමිකම් බැඳීම් යනු, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයෙකු ලෙස සහ එක්සත් ජාතීන්ගේ සම්මුතීන් කිහිපයකට අත්සන්කර ඇති රටක් ලෙස රජය විසින් ඉටුකළ යුතු යුතුකම් බව ද ඇය පෙන්වා දුන්නා ය.
ඒවා ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට ආරක්ෂාව සපයන බැඳීම් බව ද නීතිඥවරිය වැඩිදුරටත් අවධාරණය කරයි.
ඇය පෙන්වා දෙන්නේ, GSP+ සමාලෝචන ක්‍රියාවලියේ කිසියම් අහිතකර ප්‍රතිඵලයක් ඇතිවුවහොත්, එසේ වන්නේ GSP+ යෝජනා ක්‍රමයේ අවශ්‍යතා සපුරාලීමට තමා අසමත් වීම නිසා පමණක්යැ යි පිළිගැනීම රජය ප්‍රතික්ෂේප කිරීම කණගාටුවට කරුණක් බව යි.
එබැවින් යම් අයහපත් ප්‍රතිඵලයක් සිදුවුවහොත් එහි වගකීම භාරගත යුත්තේ රජයයැ යි ද ඇය සිය නිවේදනය මඟින් පෙන්වා දී තිබේ.
"රජය ඇඟවුම් කරන්නේ නිදහස් වෙළඳ කලාප සේවකයින් වැනි අය රජයේ අසාර්ථකත්වය ඉස්මතු කරන බැවින්, සිදුවිය හැකි අහිතකර ප්‍රතිඵල සඳහා ඔවුන් වගකිව යුතුය යන්න යි. මෙය චෝදනාව මඟහැරීමේ උත්සාහයක්. අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ට අහිතකර බලපෑමක් ඇති නොවන බව සහතික කිරීම සඳහා, මෙම අර්බුදය පුරවැසියන්ගේ යහපත ගැන නොසිතා ගන්නා ලද දුර්වල ප්‍රතිපත්ති තීරණවල ප්‍රතිඵලයක් බව රජය පිළිගත යුතුයැ"යි ද නීතිඥ සත්කුනනාදන් පෙන්වා දුන්නා ය.
එල්ටීටීඊ වැඩපිළිවෙල නිරූපණය කරන බවට රජයෙන් චෝදනා
වාර්ගික ප්‍රජාවන්ට වෙනස් අයුරින් සැලකීම සම්බන්ධයෙන් අම්බිකා සත්කුනනාදන්ගේ ප්‍රකාශයේ අඩංගු පදනම් විරහිත චෝදනා මඟින්, ජනතාව අතර වෛරය ඇති කිරීම සඳහා වරක් LTTE සංවිධානය ක්‍රියාත්මක කළ වැඩපිළිවෙල නිරූපණය කෙරෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය චෝදනා කරයි.
අමාත්‍යංශය සඳහන් කළේ, ජාත්‍යන්තර ප්‍රජාව අතර ශ්‍රී ලංකාව පිළිබඳ අභූත චෝදනා පැතිරවීම වැළැක්වීම මෙන්ම, රට තුළ සමාජ සංහිඳියාව ඇති කිරීම සඳහා, බහු වාර්ගික සහ බහු ආගමික රටක් වශයෙන් ශ්‍රී ලංකාව මෙවැනි චෝදනා ප්‍රතික්ෂේප කළ යුතු බව යි.
'විපාක නොලබන සංස්කෘතියක්' පිළිබඳව සත්කුනනාදන් සිදුකළ ප්‍රකාශය ද විදේශ අමාත්‍යංශය ප්‍රතික්ෂේප කරයි.
නීතියේ ආධිපත්‍යය, යුක්තිය පසිඳළීමේ ප්‍රවේශය, සහ වගවීම පිළිබඳ කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අතිරේක ප්‍රතිසංස්කරණ සිදුකරන බව ද රජය පැහැදිලිකොට ඇත.
යෝජනා සම්බන්ධයෙන් සාධනීය සාකච්ඡාවක් පැවැත්වීමටත්, අඩුලුහුඬුකම් සපුරාලීම සඳහා අවශ්‍ය ඉදිරි පියවර ගැනීමටත් ශ්‍රී ලංකා රජය විවෘත බව විදේශ අමාත්‍යංශය නිකුත්කළ නිවේදනයේ දැක්වේ.
ශ්‍රී ලංකා රජය 'සිංහල බෞද්ධ ජාතිකවාදය' සහ 'මිලිටරිකරණය' මෙහෙයවන බව, නීතිඥ සත්කුනනාදන් ප්‍රකාශකොට ඇති බව බව ද පෙන්වා දෙන විදේශ අමාත්‍යංශය, සුළුජාතීන්ට වෙනස්කොට සැලකීම පිළිබඳ නිශ්චිත සාක්ෂි නොමැති තතු පාදක කරගන්නා ඇය වාර්ගික පැතිකඩ පිළිබඳ අපැහැදිලි ප්‍රකාශ ඉදිරිපත් කර ඇති බවට ද චෝදනා කරයි.
ශ්‍රී ලංකාව සියලුම ජාතීන් වෙසෙන රටක් බවත්, එතුළ කිසිදු ආගමික හෝ වාර්ගික භේදයකින් තොරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සියලුම පුරවැසියන්ට සමාන අයුරින් මූලික අයිතිවාසිකම් ලබා දී ඇති බවත්, ඊට ප්‍රතිචාර වශයෙන් විදේශ අමාත්‍යංශය සඳහන් කළේ ය.
උතුරු හා නැගෙනහිර පළාත්වල විශාල ප්‍රදේශ එල්ටීටීඊ පාලනයයටතේ පැවති සමයේ සිදුවූ සන්නද්ධ ගැටුම් හමුවේ පවා, එම ප්‍රදේශවල බහුතර දමිළ සහ මුස්ලිම් ජන කොට්ඨාශවලට අයත් සිවිල් ජනතාවට බලපෑමක් එල්ල නොවන පරිදි මෙවැනි මහජන සේවා සැපයීම රජය විසින් අඛණ්ඩව ක්‍රියාත්මක කළ බව විදේශ අමාත්‍යංශය පවසා සිටියේ ය.
කෙසේ නමුත්, පුරාවිද්‍යාව පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය යනු ඉඩම් කොල්ලකෑම සහ සුළුතර ප්‍රජාව අධික ලෙස ජීවත් වන ප්‍රදේශවල ජන ව්‍යාප්තියට අදාල කරුණු වෙනස් කිරීම සඳහා යොදාගන්නා මෙවලමක් බවට චෝදනා කරන නීතිඥවරිය, "එකම රටක් එකම නීතියක්" පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය ජනවර්ග අතර වෛරය සහ ප්‍රචණ්ඩත්වය අවුළුවන්නේයැ යි ප්‍රකාශ කරයි.
එනමුත් මෙම ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නොමැති බව විදේශ අමාත්‍යංශය සඳහන් කළේ ය.
හමුදාව උතුරු සහ නැගෙනහිර පළාත් 'නතුකරගෙන සිටියි' යන චෝදනාවකට පිළිතුරු ලෙස විදේශ අමාත්‍යශය පවසන්නේ, 2009 වසරේ දී යුධ ගැටුම් නිමාවට පත්වීමත් සමග හමුදාව යටතේ පැවති පෞද්ගලික ඉඩම්වලින් බහුතරයක් (92%කට අධික ප්‍රමාණයක්) නීත්‍යානුකූල ඉඩම්හිමි සිවිල් වැසියන්ට මේ වන විට ලබා දී ඇතිවග යි. ඉතිරි පෞද්ගලික ඉඩම් මුදාහැරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමේ යාන්ත්‍රණයක් මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින බව ඔවුන් ප්‍රකාශ කරයි.
" මත්ද්‍රව්‍යට එරෙහි යුද්ධය" යන්නට මුවාවී ශ්‍රී ලංකා රජය සිදුකරන අධිකරණයට පරිබාහිර ඝාතන සහ අත්අඩංගුවට ගැනීම් පිළිබඳව නීතිඥ සත්කුනනාදන් ඉදිරිපත් කළ ප්‍රකාශ විදේශ අමාත්‍යංශය ප්‍රතික්ෂේප කරන බව ද ප්‍රකාශිත ය.
මේ වන විට රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කරමින් සිටින බවත්, එහි අවසන් අදියරේ කටයුතු සිදුවෙමින් පවතින බවත්, එම ක්‍රියාවලිය පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කෙරෙමින් සිටින බවත් විදේශ කටයුතු අමාත්‍යශය සඳහන් කළේ ය.
"ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා සිටින රාජ්‍යයන්ගේ ප්‍රයත්න යටපත් කිරීම" සඳහා ශ්‍රී ලංකා රජය චීනය සමග ඇති මිත්‍රත්වය අයුතු ආකාරයෙන් භාවිතා කරන බව නීතිඥවරිය කළ චෝදනාව ද අමාත්‍යංශය ප්‍රතික්ෂේප කරයි.
සත්කුනනාදන් ගැන විදේශ අමත්‍යංශයේ ප්‍රතිචාරය සිවිල් සංවිධාන හෙළා දකියි
අම්බිකා සත්කුනනාදන් සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිචාරය හෙළා දකිමින්, සිවිල් ක්‍රියාකාරීන් 161 දෙනෙකු සහ සංවිධාන 47ක් සහයෝගීතා ප්‍රකාශනයක් නිකුත් කළේ ය.
ඔවුන් පෙන්වා දෙන්නේ, සත්කුනනාදන් විසින් ස්වකීය ඉදිරිපත් කිරීමේ දී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සහ රටක් වශයෙන් එහි පුරවැසියන් සඳහා ජාත්‍යන්තර සහ ජාතික බැඳීම් පිළිබඳව විවේචනාත්මක ඇගයීමක් සිදුකළ අතර, යුරෝපා සංගමයේ සාමාජික රටවලට නිර්දේශ ඉදිරිපත් කළ බව යි.
"ඉස්මතු කරන ලද ප්‍රශ්න සම්බන්ධයෙන් හරයාත්මකව කටයුතු කිරීම වෙනුවට, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම උදෙසා ප්‍රතිපත්තිමය පර්යේෂණ, උද්දේශන සිදුකළ, රාජ්‍ය සේවය පිළිබඳව නිර්දෝෂී වාර්තාවක් ඇති පුද්ගලයකු වෙත දෝෂාරෝපණාත්මක ප්‍රතිචාරයක් දැක්වීමේ විකල්පය ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් තෝරාගෙන ඇත," යනුවෙන් ඔවුන් ප්‍රකාශ කරයි.
දෙමළ ක්‍රියාකාරිනියකගේ සහ පර්යේෂකයෙකුගේ ස්වාධීන උද්දේශනය, LTTE ක්‍රියාකාරකම් හා බැඳි තත්ත්වයන් සමග සම තත්ත්වයෙහිලා සංසන්දය කිරීමට විදේශ අමාත්‍යාංශය ගන්නා උත්සහය හුදෙක් අසාධාරණ මෙන්ම දුෂ්ට හා බියකරු බව ඔවුහු පෙන්වා දෙති.
ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව, වගවීම, සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම: ජිනීවාවල මොකද වෙන්නේ?
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි නිත්‍ය සැසිවාරය 2022 පෙබරවාරි 28 - අප්‍රේල් 1 දක්වා ජිනීවාහි දී පැවැත්වීමට නියමිතව ඇත.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ වාර්ෂික වාර්තාව, සහ මහ කොමසාරිස් කාර්යාලයේ සහ මහලේකම් කාර්යාලයේ වාර්තා පිළිබඳව මෙහිදී අවදානය යොමු කෙරෙනු ඇත.
එහිදී ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව, වගවීම, සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳව අවධානය යොමුකෙරෙනු ඇත.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46/1 යෝජනාවෙන්, මානව හිමිකම් කවුන්සිලය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයෙන් (OHCHR) ඉල්ලා සිටියේ සංහිඳියාවේ සහ වගවීමේ ප්‍රගතිය ඇතුළුව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ අධීක්‍ෂණය සහ වාර්තා කිරීම වැඩිදියුණු කරන ලෙසත්, සන්දර්භය තුළ සාකච්ඡා කළ යුතු ලිඛිත යාවත්කාලීනයක් ඉදිරිපත් කරන ලෙසත් ය.
ඒ අනුව කවුන්සිලය විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ A/HRC/49/9 වාර්තාව යාවත්කාලීන කිරීම මෙවර සලකා බලනු ඇත.
රජය යුරෝපා සංගමයට "බොරු කියන්නට" සැරසෙයි?
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 2
මේ අතරේ, ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානයේ දකුණු ආසියාතික පර්යේෂිකා ත්‍යාගි රුවන්පතිරණ ට්විටර් පණිවුඩයක් හරහා මෙසේ ප්‍රකාශ කළා ය: "අද, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට සිදුකරන සංශෝධන මඟින් එය ජාත්‍යන්තර නීතියට අනුකූලව සකස් කෙරෙන බව, මානව හිමිකම් පිළිබඳ යුරෝපා සංගම් අනුකමිටුව ඉදිරියේ රජයේ නියෝජිත කණ්ඩායම විසින් ප්‍රකාශ වනු ඇත. මෙය සම්පූර්ණ අසත්‍යයකි. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත නිසි ක්‍රියාදාම ආරක්ෂණයන්, ජාත්‍යන්තර නීතියත්, හා ශ්‍රී ලංකාවේම ජාත්‍යන්තර කැපවීම්වලටත් පැහැදිලිවම හාත්පසින්ම විරුද්ධව යයි."
ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය ප්‍රකාශ කරන්නේ මෙම පනතට යෝජිත සංශෝධනයන්, ලංකා නීතියේ තීරණාත්මක අඩුපාඩු පිළිබඳව ආමන්ත්‍රණය කිරීමට අපොහොසත් වී ඇති බව යි.









