කොවිඩ් හේතුවෙන් සිදුව ඇති ආර්ථික කඩාවැටීම් ඉදිරියේ දරුවන් මඟඇරිලා

බොහෝ සමීක්ෂණ වාර්තාවන්ගෙන් අනාවරණය කෙරෙන පරිදි ස්වභාවික ආපදාවන්, යුද්ධ, සාගත, වසංගත වැනි සියලු තත්ත්වයන් හමුවේ වැඩිම පීඩාවට, හානියට හා අසීරුතාවන්ට ලක්ව ඇත්තේ දරුවන් ය.
ලොව පුරා වෙසෙන බිලියන 2.2ක් පමණ වන දරුවන්ගෙන් බිලියන 2ක්ම ජීවත්වන්නේ සංවර්ධනය වෙමින් පවත්නා රටවල ය. එහෙත් සංවර්ධනය වෙමින් පවතින රටවලට ද, සංවර්ධිත රටවලට ද කොවිඩ් වසංගත තත්ත්වයට එක සේ මුහුණ දෙන්නට සිදුවිය.
කොවිඩ් හේතුවෙන් දරුවන්ගේ ශාරීරික සෞඛ්‍යමය බලපෑම සංඛ්‍යාත්මකව ඉතා ඉහළ අගයක් ලෙස වාර්තා නොවුණ ද, සමාජයීය, අධ්‍යාපනික හා මානසික බලපෑම ඉතා තීව්‍ර බව මේ වනවිට අනාවරණය වී ඇත.
දරුවන් පීඩනය පිට කරන ස්වරූපය විවිධයි
ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගත තත්ත්වය අතරේ නිරීක්ෂණය වූ පොදු මානසික සෞඛ්‍ය ගැටලු පිළිබඳව පසුගිය දා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් මාධ්‍ය හමුවක් පවත්වනු ලැබුණි. එහිදී ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ මනෝවෛද්‍ය සජීවන අමරසිංහ සඳහන් කර සිටියේ, වසරකටත් වැඩි කාලයක් කොවිඩ් හේතුවෙන් පාසල් නොගොස් නිවෙස්වල කොටුවී සිටීම නිසා බොහෝ දරුවන් මානසික ආතතියකට ලක්ව සිටින බව යි.
නමුත් එය එක් එක් දරුවන් වෙතින් පෙන්නුම් කරන ස්වරූපය වෙනස් බව ඔහු සඳහන් කළේ ය. විරෝධය පෑමෙන්, කේන්ති ගැනීමෙන්, නොරුස්නා බව පළ කිරීමෙන්, අධ්‍යයන කටයුතු සඳහා වන උනන්දුව හීන වීමෙන් ආදී විවිධ ලක්ෂණ මඟින් ආතතිය නිරූපනය විය හැකි බව ඔහු පවසයි.
මේ තත්ත්වය තුළ දරුවන්ගේ ඩිජිටල් ඇබ්බැහිය ද ඉතා ශීඝ්‍ර ලෙස වැඩි වී ඇති බව පෙන්වා දෙන වෛද්‍ය අමරසිංහ, එයින් දරුවන් සම්පූර්ණයෙන් ඈත් කර තැබීම ප්‍රායෝගික ව අසීරු බවත්, ඔවුන් තිර සමග ගත කරන කාලය සීමා කිරීමට දෙමව්පියන් මැදිහත්විය යුතු බවත් පෙන්වා දෙයි.
පාසල් ගොස් එක්වර ම ඉගෙනගන්න දරුවන් සූදානම් නැහැ
ලොව පුරා රටවල් 188ක පාසල් බිලියන 1.5ක් පමණ කොවිඩ් හේතුවෙන් වසා දමා ඇති නමුත්, වරින් වර කොවිඩ් අවදානමට සාර්ථක ව මුහුණ දෙමින් පාසල් ආරම්භ කිරීමට ද ඇතැම් රටවල් පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ ද සිසුන් 200ට අඩු පාසල් පසුගිය ඔක්තෝබර් 21 වැනි දා ආරම්භ කළ කෙරුණත්, මිලියන 4කට ආසන්න දරුවන් ප්‍රමාණයක් පාසල් නැවත විවෘත කරන තුරු තවමත් බලා සිටිති.
කොවිඩ් හමුවේ නිවෙස්වල කොටුවී සිටින මේ දරුවන් යහපත් මානසික සෞඛ්‍යයකින් පසුවන්නේ ද යන්න සොයා බලන්නට අවශ්‍ය ය. නැවත පාසල් පැමිණිමෙන් පසු, ඔවුන්ගේ මානසික තත්ත්වය නගා සිටුවමින් අධ්‍යාපන කටයුතුවලට සහභාගී කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග සලකා බැලීමට ජාතික මට්ටමින් විධිමත් මැදිහත්වීමක අවශ්‍යතාව තවදුරටත් ඉතිරිව පවතින බවට සෞක්‍ය විශේෂඥයින් පවසයි.
එසේම පාසැල් ඇරඹුනායින් පසු, පාසැල හරහාම දරුවාට අවශ්‍ය මනෝවිද්‍යාත්මක උපදෙස් සහ සහයෝගය ලබාගත හැකි වන පරිදි පාසැල තුළ මානසික සෞඛ්‍ය ඒකකයක් පිහිටුවීම ද අත්‍යවශ්‍ය බව ඔවුන්ගේ මතයයි.
අගනුවර ඇතැම් පාසැල්වල දැනටමත් මෙවැනි ඒකකයක් ස්ථාපනය කර, පුහුණු මනෝවිද්‍යා උපදේශකයන් ද පත්කර තිබුණත්, තවමත් බොහෝ පාසැල්වල මෙම පහසුකම නැත.
අවදිවීම ප්‍රමාදයි. උදාසීනයි. ආහාර ගැනීමමඟහරියි
විශේෂඥ වෛද්‍ය අමරසිංහ පෙන්වා දෙන්නේ දිගු කලක් තිස්සේ දරුවන් පාසල් නොයාම නිසා ඇතිවී ඇති කායික සහ මානසික ගැටලු අතිමහත් බව යි.
ඇතැම් දරුවන් කිසිදු ව්‍යායාමයක් නොලැබීම නිසා ස්ථුලභාවයට පත්ව සිටින බවත්, ඇතැම් දරුවන් සිය දෛනික ජීවන රටාව වෙනස්වීම නිසා ප්‍රමාද වී අවදිවීම, නියමිත ආහාර වේල් මඟහැරීම, කාලය නිකරුණේ ගෙවී යාම හේතුවෙන් උදාසීන හා ක්‍රියාශීලී නොවන තත්ත්වයට පත්ව සිටින බවත් පවසන ඔහු, විශේෂයෙන් ම අවුරුදු 10-16 අතර වයසේ දරුවන් එවැනි හැසිරීම් වැඩි වශයෙන් පෙන්වන බවත් සඳහන් කරයි.
පාසල් යන දරුවකුට වඩා නිවසේ සිටින දරුවකුට ක්‍රීඩා කිරීමේ අවස්ථා, අන්‍යොන්‍ය සබඳතා ඇති කර ගැනීමේ අවස්ථා අතිශයින්ම අඩු හෙයින් දරුවන්ගේ හැසිරීමේ ද විශේෂ වෙනස්කම් ඇතිවී තිබෙන බව ඔහු සඳහන් කරයි.
බොහෝ කුඩා දරුවන්ගේ දඟකාර බවත්, මුරණ්ඩු බවත් මේ වකවානුව තුළ වැඩි වී ඇතැයි පවසන ඔහු, ඇතැමුන් මානසික රෝගවල ප්‍රකාශනයක් ලෙස එළිදකින කායික රෝගයන් ද පෙන්නුම් කරන බව පවසයි.
බොහෝ දරුවන් හේතුවක් නැතිවම හිස කැක්කුම, බඩ රිදීම වැනි රෝග තත්ත්වයන් ඇති බවට පැමිණිලි කිරීම මේ අතරින් ප්‍රධාන ය. එපමණක් නොව කොවිඩ් රෝගය නිසා අතිශය භීතියට පත්වූ දරුවන් හුස්ම ගැනීමට අපහසු වීම වැනි ලක්ෂණ සමග වෛද්‍යවරුන් හමුවට රැගෙන එන බවත් ඔහු සඳහන් කරයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඩිජිටල් ඇබ්බැහිය අධිකයි
විශේෂඥ වෛද්‍ය අමරසිංහ පවසන්නේ ඇතැම් දරුවන් පූර්ණකාලීන ව අධ්‍යාපනයෙන් බැහැරව නිවෙස්වල කොටුවී සිටින අතරතුරේ, නිරන්තරව ම පාඩම් කරන්නට බලකරන දෙමව්පියන් ගැන කළකිරීමෙන් සහ කෝපයෙන් පසුවන බව අනාවරණය වී තිබෙන බවයි.
එසේම රූපවාහිනියට අධික ඇබ්බැහිය හෝ ජංගම දුරකථනය, පරිගණකය, ටැබ් යන්ත්‍ර වෙත අධික ව ආකර්ශනය වී සිටීම නිසා වෙනත් සංකූලතාවන්ට ලක්ව සිටින බව ද අනාවරණය වී ඇති බවට ඔහු පැවසීය.
සමාජ ජාලාවල හිතුමතයේ සැරිසැරීම හරහා කාලය ගෙවා දැමීම මෙන් ම, නිවැසියන් සමග සබඳතා පැවැත්වීම ප්‍රතික්ෂේප කරමින් හුදකලා ජීවිතයකට යොමුවීම බොහෝ නවයොවුන් දරුවන් තුළින් පසුගිය සමයේ හඳුනාගන්නට හැකිවී ඇති බව ද හෙළි ව තිබෙන බවට විශේෂඥ වෛද්‍යවරයා පැවසීය.
නිවැසියන් අතර සබඳතා දුරස් වීම
කොවිඩ් හේතුවෙන් සිදුව ඇති ආර්ථික කඩාවැටීම් ඉදිරියේ මවුපියන්ගේ රැකියා අහිමිවීම, අඩවැටුප් හිමිවීම, ව්‍යාපාර කටයුතු අසාර්ථක වීම, ඉහළ යන බඩුමිළ හමුවේ ආර්ථික හැකියාව පහළ යාම වැනි විවිධ හේතූන් නිසා දරුවන් කෙරෙහි නිසි අවධානය යොමු කරන්නට ඇතැම් දෙමව්පියන් අපොහොසත්ව ඇති බවට වෙද්‍යවරුන් පවසයි.
ඒ තත්ත්වය මත දරුවන් හා දෙමව්පියන් අතර සම්බන්ධතා බිඳවැටී ඇති බවත්, නිරන්තරයෙන් නිවෙස්වලට කොටුවී සිටීම නිසා ඇතිවන නුරුස්නාබව පවුලේ සාමාජිකයන් අතර මතභේද සහ ගැටුම් දක්වා වර්ධනය වන අවස්ථා බහුල වී ඇති බවත් පෙනෙන්නට තිබෙන බවට මනෝ වෛද්‍යවරු පවසය. විශේෂයෙන්ම දෙමාපියන් අතර නිතර නිතර ගැටුම් ඇතිවීම ද දරුවන්ට දැඩි බලපෑමක් ඇති කරයි.
"මේ වසංගතය නිසා අසල්වාසීන් පවා සැක කරන්න සිද්ධ වෙන වටපිටාවක, බොහෝ දරුවන් තමන්ටත් කොවිඩ් වෛරසයට ගොදුරු වෙන්න සිද්ධ වේවි කියන බියත් එක්ක තමයි ජීවත් වෙන්නේ. ඒ වගේම තමන්ගේ දෙමාපියන්, සමීපතමයන් තමන්ට අහිමි වේවි කියලා බයක් දරුවන්ගේ හිත් තුළත් ඇතිවෙනවා.," යනුවෙන් කොළඹ, මානසික රෝග පිළිබඳව ජාතික ආයතනයේ සායනික අධ්‍යක්ෂ වෛද්‍ය ජයාන් මෙන්ඩිස් පැවසීය.
"පාසල් නොයා ගෙදරටම කොටු වෙලා ඉන්න නිසා යහළුවන් ගුරුවරුන් මුණ නොගැසීම නිසා දරුවන් ඉන්නේ පීඩනයකින්. ඒකාකාරී ජීවිතයත් එක්ක දරුවන්ට මානසික පීඩනයන් ඇති වීමට තියෙන ඉඩකඩ වැඩියි."
නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට දරුවා හුරු කරන අතරේම, දෙමාපියන් දරුවාගේ මානසිකත්වය පිළිබඳව ද අවබෝධයෙන් කටයුතු කළ යුතු බවත්, එසේ නොමැති වුවහොත් විශාදය වැනි තත්ත්වයන්ට දරුවා ගොදුරු විය හැකි බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
එමෙන් ම පාසලෙන්, ගුරුවරුන්ගෙන් සහ මිතුරන් ගෙන් මිදී නිවෙස් තුළම තනි වූ දරුවන්ට ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපනය ලැබීමට ඇති අවස්ථාව ද අහිමි වී යෑමෙන් ඔවුන් හුදකලා වී ඇති බව වෛද්‍යවරයා පෙන්වාදෙයි.
"මේ හේතුවෙන් දරුවන් මානසික සංකූලතාවලට ලක් වීමට ඇති අවදානම බහුල නිසා, නිවෙස තුළ දරුවන් තනි නොකර ඔවුන් පිළිබඳව අවධානයෙන් කටයුතු කරන," මෙන් ඔහු දෙමව්පියන්ට අවධාරණය කරයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
දෙමව්පියන් කළ යුත්තේ කුමක්ද?
- දරුවන් සමග නිර්මාණශීලී කටයුතුවල නිරත වෙන්න
- ආවේග පාලනය කරගන්නා හැටි සාකච්ඡා කරන්න
- දරුවන්ට ආදරය දෙන්න.
ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය විසින් නිකුත් කර ඇති දරුවන් රැකබලාගන්නට දෙමව්පියන්ට ලබා දී ඇති මෙම උපදෙස් මාලාව පවතින කොවිඩ් වාතාවරණය තුළ මානසික පීඩාවලට ලක්ව සිටින සියලු දරුවන්ට සහයෝගයක් සපයනු ඇති අතර, එම උපදෙස් පිළිපැදීම දෙමවුපිය වගකීමකි.
දරුවන්ගේ හැසිරීමෙහි වෙනස්කම් තිබේදැ යි දෙමාපියන් සහ ගුරුවරුන් විමසිල්ලෙන් සිටිය යුතු අතර, එසේ වෙනස්කමක් දක්වන්නේ නම් ඒවා කල් ඇතිව හඳුනාගෙන, දරුවා මනෝවෛද්‍ය සායනයකට යොමුකර උපදෙස් ලබාදිය යුතු ය.
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල (කළුබෝවිල), කරාපිටිය ශික්ෂණ රෝහල, පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල, සහ උතුරු කොළඹ ශික්ෂණ රෝහල (රාගම) යන රෝහල්වල ළමා මනෝවෛද්‍ය විශේෂඥයින් සේවය කරන අතර, ළමා මනෝවෛද්‍ය සායනයන් ද පැවැත්වේ. එසේම, ඕනෑම රජයේ රෝහලක මනෝවෛද්‍යවරයෙකු සේවය කරන අතර, අවැසි නම් ඔවුන්ගේ උපකාරය ද ලබාගත හැකිය.
දෙමාපියන්ට තමාගේ හෝ දරුවන්ගේ මානසික සෞඛ්‍යය පිළිබඳ උපදෙස් ලබාගැනීමට අවශ්‍ය නම්, අංක 1926 ඔස්සේ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ උපකාරක සේවාව ඇමතිය හැකිය.










