ශ්‍රී ලංකාවේ පෞද්ගලික රෝහල්වල කොවිඩ් පරීක්ෂණ සඳහා පාලන මිලක්

PCR test in Sri Lanka

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, දැහැමි රණවීර
    • Role, BBC සිංහල

ශ්‍රී ලංකාවේ පෞද්ගලික රෝහල් බොහොමයක PCR පරීක්ෂණයක් සඳහා රුපියල් 5,500 - 9,750 අතර මුදලකුත්, ඇන්ටිජන් පරීක්ෂණය සඳහා රුපියල් 2,000 සිට 5,550ක මුදලකුත් අය කෙරේ.

කොවිඩ් රෝග ලක්ෂණ ඇතැයි සැක කරන පුද්ගලයන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට හෝ එම කාර්යාලයට (MOH) ඇමතුම් ලබා දුන් විට පෞද්ගලික රෝහල් මාර්ගයෙන් PCR හෝ ඇන්ටිජන් පරීක්ෂණය සිදු කරගන්නා ලෙස දන්වා ඇතැයි කීපදෙනෙක් බීබීසී සිංහල සේවයට පැවසූහ.

සමහර ප්‍රදේශයන්හි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට හෝ කාර්යාලවලට පාලනය කළ නොහැකි තරම් රෝගීන් ගණනක් වාර්තා වීම මෙම තත්වයට ප්‍රධානතම හේතුව බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.

"මට සහ සැමියාට කොවිඩ් රෝග ලක්ෂණ තියෙන නිසා, මුලින්ම කළේ MOH එකට කතා කළ එක. PHI කෝල් එක ගත්තේ නැහැ. MOH එකෙන් කිව්වා පෞද්ගලික රෝහලකින් PCR එක කරගන්න කියලා. PCR එකට ලොකු මුදලක් යන නිසා පස්සේ අපි දෙන්නා ඇන්ටිජන් එක කරගත්තා පෞද්ගලික රෝහලකින්," පිළියන්දල ප්‍රදේශයේ වෙසෙන කාන්තාවක පැවසුවාය.

බියගම ප්‍රදේශයේ දෛනික වැටුපක් ලබන කම්කරුවෙකු වන ප්‍රසන්නට සහ පවුලේ අයට ද කොරෝනාවෛරස රෝග ලක්ෂණ මතු වීමත් සමග පළමු ඇමතුම ලබාගෙන තිබුණේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාටය. නමුත් ඔහු ඇමතුමට පිළිතුරු නොදුන් නිසා 1999 හදිසි අංකයට ඇමතුමක් ගෙන තිබිණි.

"ඒ කෝල් එකෙන් මට ආයෙත් කිව්වේ PHI ට නැත්නම් MOH එකට කතා කරන්න කියලා. ඒ නැත්නම් පෞද්ගලික රෝහලකින් පරීක්ෂණය කරගන්න කිව්වා. අපිට කොහෙන් ද ඒවාට සල්ලි. එක දවසක් හරි ගෙදර හිටියොත් අපිට කන්න නැති වෙනවා," ඔහු පැවසීය.

කොවිඩ්-19 සම්බන්ධයෙන් රජයේ නිවේදනවලට අනුව යම් පුද්ගලයෙකුට රෝග ලක්ෂණ ඇත්නම් වහාම තම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක හෝ එම කාර්යාලය (MOH) අමතා ඔවුන් දැනුවත් කර ඒ ලබාදෙන උපදෙස් අනුව ක්‍රියා කළ යුතුය.

රෝගීන් වැඩි වීමත් සමග රජයේ රෝහල්, සෞඛ්‍ය ආයතනවල ඇති වී තිබෙන තදබදය හේතුවෙන්, හැකි අයට ඉක්මණින් PCR හෝ ඇන්ටිජන් පරීක්ෂණ පෞද්ගලික රෝහල් හරහා සිදු කර ගැනීමට සමහර මහජන සෞඛ්‍ය කාර්යාලවලින් උපදෙස් ලබා දී තිබිණි.

PCR test in Sri Lanka

ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka health promotion bureau

නමුත් සීග්‍රයෙන් ඉහළ යන රෝගීන් ගණන හේතුවෙන් අදාළ සේවා පෙර මෙන් කඩිනමින් ලබා දිය නොහැකි තත්වයක් උදා වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.

පාලන මිලක්

මේ අතර, කොවිඩ්-19 වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් කොවිඩ් වෛරසය ආසාදිතයින් හඳුනාගැනීම සඳහා පෞද්ගලික අංශයේ රෝහල්වලින් සිදු කරන PCR සහ ඇන්ටිජන් පරික්ෂණ සදහා අය කරනු ලබන මිල ගණන් නියාමනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඊට අදාළ ගැසට් පත්‍රය අගෝස්තු 12 වෙනි දින නිකුත් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි බදාදා (11) ප්‍රකාශ කළාය.

‍"මහජන නියෝජිතයින් සහ රජයක් විදිහට අප මේ රටේ මහජනතාවට සාධාරණයක් ඉෂ්ඨ කළ යුතුයි. ඒ අනුව පාරිභෝගික කටයුතු අමාත්‍යාංශයත්, සෞඛ්‍ය අමාත්‍යාංශයත් සාකච්ඡා ගණනාවක් පවත්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශය නිර්දේශ කරනු ලැබුවා PCR පරීක්ෂණයක් සඳහා පෞද්ගලික අංශයට අය කළ හැකි උපරිම මිල රුපියල් 6,500 ක් සහ ඇන්ටිජන් පරීක්ෂණයක් සදහා උපරිම මිල රුපියල් 2,000 ක් විදිහට," සෞඛ්‍ය අමාත්‍යවරිය පැවසීය.

"ඒ අනුව හෙට දිනයේ දී පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය එය ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත්කරනු ලබනවා. එතැන් පටන් එම මිල ගණන් මේ රටේ බලපැවැත්වෙනවා."

PCR test in Sri Lanka

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

PCR හා ඇන්ටිජන් පරීක්ෂණවල මිල සහ ගුණාත්මකභාවය පිළිබඳ පාරිභෝගිකයින් පැමිණිලි රාශියක් ඉදිරිපත් කර ඇති අතර, ඒවා ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය සහ පාරිභෝගික අධිකාරිය දිවයින පුරාම විමර්ශණ කටයුතු සිදු කරන බව සමූපකාර සේවා, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පැවසීය.

"දිස්ත්‍රික්ක 21 ක පාරිභෝගික නිලධාරීන් රෝහල් 45 ක PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ මිල ගණන් ගැන විමර්ශණයක් කළා. ඒ අනුව රුපියල් 5,500 - 9,750 දක්වා PCR පරීක්ෂණ සඳහා මුදල් අය කර තිබුණා. ඇන්ටිජන් පරීක්ෂණ සදහා රුපියල් 2,000 සිට 5,550 දක්වා අයකර තිබුණා.

"මෙය පාරිභෝගික ජනතාවට සිදු කරන අසාධාරණයක්. සෞඛ්‍ය අමාත්‍යාංශය මේ ගැන කළ දීර්ඝ ගණනයකින් පසුව සෞඛ්‍ය අමාත්‍යතුමිය මා වෙත ඒ මිල ගණන් කොපමණ ද කියලා නිර්දේශය ලබාදීමට කටයුතු කළා," යනුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

මේ තොරතුරු ද කියවන්න:

ගම්පහට විශේෂ වැඩපිළිවෙළක්

මේ අතර මෙතෙක් ප්‍රතිකාර සඳහා යොමු නොකෙරෙනු ගම්පහ දිස්ත්‍රික් ආසාදිතයින් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට විශේෂ වැඩපිළිවෙළක් සකසා ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා (10) පැවැති ගම්පහ දිස්ත්‍රික් කොවිඩ් කමිටුවේ දී ප්‍රකාශ කළේය.

ඉකුත් සතියේ දී පමණක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 12555ක් වාර්තා වී ඇති අතර, ඉන් 4046ක් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර ඇති නමුත් තවත් ආසාදිතයින් 7003ක් මෙතෙක් ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා යොමු කර නොමැත.

PCR test in Sri Lanka

ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka health promotion bureau

කොවිඩ් මර්දන ක්‍රියාවලියට ප්‍රමාණවත් තරම් සේවක පිරිසක් නොමැති වීම දිස්ත්‍රික්කයටම පොදුවේ බලපාන ගැටලුවක් බව මෙහිදී කියැවිණි.

ඊට පිළියමක් ලෙස පසුගිය කාලයේ රැකියා සඳහා බඳවා ගැනුනු උපාධිධාරීන් ඒ සඳහා අනුයුක්ත කරන ලෙස ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් ලැබී තිබේ.

මෙතෙක් ප්‍රතිකාරවලට යොමු නොකළ පිරිස ප්‍රතිකාර සඳහා යොමු කිරීමට ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලවලට යුද හමුදාවේ සහ පළාත් පාලන ආයතනවල සහාය ලබා ගැනීමට නියමිතය.

මීට අමතරව, එන්නත්කරණ වැඩසටහන, ආදාහනාගාර පිළිසකර කිරීම, නිරෝධායනය සඳහා යොමුකර තිබෙන පවුල්වලට නිසි වේලාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පාර්සල් ඇතුළු වෙනත් පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් ද විවිධ යෝජනා සහ බලධාරීන්ට උපදෙස් ලබා දීම ද මෙහිදී සිදු විය.

මට කොවිඩ් රෝග ලක්ෂණ තිබෙනවා, මම මුලින්ම සිදු කරන්න ඕනේ කුමක් ද?

  • තම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක හෝ මහජන සෞඛ්‍ය කාර්යාලය අමතන්න. ඔවුන් ලබාදෙන උපදෙස් අනුව ක්‍රියා කරන්න.
  • කොවිඩ්-19 සෞඛ්‍ය අවශ්‍යතා සඳහා පිළිතුරු / තොරතුරු 1999 අංකය අමතා ලබා ගත හැකිය. මෙය පැය 24 පුරා ක්‍රියාත්මකයි.
  • රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය ඇමතුම් අංකය: 1919
  • රට පුරා ක්‍රියාත්මක වන සුව සැරිය ගිලන් රථ සේවාව: 1990
  • පෞද්ගලික රෝහල්වලින් ද PCR සහ ඇන්ටිජෙන් පරීක්ෂණ සිදු කරගත හැකි අතර, සමහර රෝහල්වල ජංගම කොරෝනාවෛරස පරීක්ෂණ මධ්‍යස්ථාන ඇත.