කොවිඩ් මරුවා පැරදුවේ කොහොමද? - රෝගය සුව වූවන්ගෙන් අත්දැකීම්

- Author, අමන්දා අබේසූරිය
- Role, BBC සිංහල
මේ වන විට ලංකාවෙන් දිනකට වාර්තා වන කෝවිඩ් රෝගීන් සංඛ්‍යාව 3000කට ආසන්න ය. මෙතෙක් වාර්තා වී ඇති 330,000 කට අසන්න රෝගීන්ගෙන් 300,000 කට ආසන්න පිරිසක් මේ වන විට සුවය ලබා ඇත.
නමුත්, 'දින 14ක් ගෙවී යෑමෙන් පසු රෝගය නිට්ටාවටම සුව වෙනවා ද?', 'රෝගය නිසා ඇතිවූ අපහසුතා මඟහැරී යනවා ද?' ආදී ප්‍රශ්නවලට බොහෝදෙනා තවමත් පිළිතුරු සොයති. පහත දැක්වෙන්නේ, මෑතක දී කෝවිඩ් ආසාදනය වී රෝගීව සිට සුවය ලැබූ කීපදෙනෙකු එම ප්‍රශ්නවලට දුන් පිළිතුරු ඇසුරින් සකස්කළ විමසුමකි.
'දවස් දා හතර ඉවර වුණාට ලෙඩේ අමාරුකම් ඉවර වෙන්නේ නෑ'
හපුගල වෙසෙන සෞම්‍යා සෙනෙවිරත්නට කෝවිඩ් වැළඳුනේ ඇගේ දෙමාපියන්ට කොරෝනාවෛරසය ආසාදනය වීම හේතුවෙනි. විසි හතර හැවිරිදි සෞම්‍යා දෙවන වසර වෛද්‍ය ශිෂ්‍යාවකි. තමාට රෝගය වැළඳී ඇති බව දැනගත් වහාම පවුලේ සියලුදෙනා නිවෙසේ වෙන් වෙන් කාමරවල විසීමත්, නිවස තුළදීත් මුඛ ආවරණ පැළඳීමත් ආරම්භ කර ඇත. පවුලේ සියලු දෙනා රෝගී වූ හෙයින් එම දෙසතිය ගෙවූයේ ශාරීරික සහ මානසික පීඩාවන් මැද බව ඇය සඳහන් කළා ය.
"මුලින්ම හෙම්බිරිස්සාවක් හැදෙන්න වගේ උගුර නිකන් කසනවා වගේ ආවා... ඊට පස්සේ තද හිසරදයක් ආවා, මුළු ඇඟම වගේ රිදෙන්න ගත්තා. විශේෂයෙන්ම තුනටිය ගොඩාක් රිදෙන්න ගත්තා... ඊට පස්සේ කෑම කන්න බැරිවුණා. රස දැනෙන්නැතුව ගියා. නැගිටගන්නත් බැහැ වගේ. කන්නම බැහැ වගේ."
නමුත් තමා වෛද්‍ය ශිෂ්‍යාවක වන හෙයින් මේ රෝගය වැළඳුනු විට හොඳින් ආහාර ගත යුතු බව දැන සිටියේයැ යි සෞම්‍යා කියයි. එනිසා තමාත් පවුලේ සැමත් හැකි තරම් ආහාර, සූප්, කැඳ ආදිය ලබාගත් බව ඈ පැවසුවා ය.
දින තුනකට පසු සම්පූර්ණයෙන්ම ගඳ සුවඳ නොදැනී ගිය බවත්, රස දැනීමත් නැතිව ගිය බවත්, දැන් රෝගය සුව වී ඇතත් ඇතැම් ගඳ සුවඳ තවමත් නොදැනෙන බවත් ඇය සඳහන් කරයි.
රෝගය සඳහා නිවසේ දී සිදුකළ ප්‍රතිකර්ම පිළිබඳ විමසූ විට සෞම්‍යා පැවසුවේ මෙවැන්නකි:
"කෝවිඩ් වෝඩ් එකේ වැඩ කරන සර් කෙනෙක් (වෛද්‍යවරයෙක්) පුළුවන් නම් පල්ස් ඔක්සිමීටර් එකක් ගන්න කියලා උපදෙස් දුන්නා. (පවුලේ) බබාලා එහෙම ඉන්නවනේ, එයාලට කියන්න තේරෙන්නේ නෑ නේ එයාලගේ අමාරුකම්. ඊට පස්සේ බෙහෙත් වගයක් ගන්න ප්‍රෙස්ක්‍රිප්ශන් එකක් දුන්නා. ඒක දවස් 5කට ගණන් හදලා යාළුවෙක්ට කියලා ගෙන්නගත්තා. මගේ අක්කා කිරි දෙන මවක් නිසා එයාට අපි බොන සමහර බෙහෙත් බොන්න බෑ. එයාට වෙනම ඩ්‍රග් කෝස් එකක් දුන්නා."
"අපි ඉන්නේ ගමකනේ. ගමේ ඔය තියෙනවනේ ඔය එක එක කොළ වර්ග, ආඩතෝඩ, යකිනාරං එහෙම. එතකොට ගමේ මිනිස්සු ඇත්තටම ගොඩක් හෙල්ප් කළා අපට. ඒගොල්ලෝ ඒවා කඩලා ගෙනත් තියනවා. ඊළඟට අපි ඒවා අරගෙන හැළියකට දාලා, ඒවා තම්බලා දවසට තුන්පාරක් ස්ටීම් කළා. හුස්ම ගන්න අමාරු වෙන දවස්වලට හතර පස්පාරක් කළා හැමෝම... මේ ලෙඩේට ගොඩාක් කෙන්ඩ පෙරලෙන්න ගත්තා. ඒකට දෙහි හදලා දුන්නා."
රෝගය සුව අතට හැරෙන්නට ගත් විට ද පපුවේ තද ගතියක්, හුස්ම හිරවෙන ගතියක් තිබූ බව ඇය පවසන්නීය.
පවුලේ සියලු දෙනා ප්‍රථම වතාවට ඇඟපත සෝදා ගත්තේ රෝගය වැළඳීමෙන් දින පහකට පමණ පසු, උණුසුම් ජලය භාවිතයෙනි. ඔවුන් මේ පියවර අනුගමනය කර ඇත්තේ රෝගීව සිටිය දී ස්නානය කළ බොහෝ දෙනෙකුට නියුමෝනියා තත්ත්වය බැරෑරුම් වීම නිසා හුස්ම ගැනීමේ අපහසුතා මතුව ආ බවක් ඇසීමෙන් අනතුරුව ය.

ඡායාරූප මූලාශ්‍රය, Saumya Senevirathne
රෝගය සුව අතට හැරුණත්, ඇතැම් රෝග ලක්ෂණ පහව ගොස් නැති බව සෞම්‍යා කියයි.
හිසකෙස් ගැලවී යෑම, සිතෙහි දුක්බර ගතිය, නිතර අමතක වීම වැනි රෝග ලක්ෂණවලින් තවමත් ඇය පීඩා විඳියි. විටින් විට හුස්ම ගැනීමට අපහසු වන බවත්, සිරුර වෙහෙසවෙන වැඩ කටයුතුවල යෙදීමේ දී වෙනදාට වඩා වෙහෙස දැනෙන බවත්, අධ්‍යාපන කටයුතු ආදියට අවධානය යොමු කිරීම අපහසු බවත් ඇය අප හා පවසා සිටියා ය.
"ගොඩක් මිනිස්සු හිතනවනේ දවස් දාහතර කම්ප්ලීට් කළාම "දැන් හරි ඔක්කොම" කියලා. ඒක එහෙම නෑ. මම නම් හිතන්නේ ඊට පස්සේ තමයි හොඳටම පරිස්සම් වෙන්න ඕනේ... ගොඩක් මිනිස්සු මම දැකලා තියෙනවා, තමන්ගේ කෙනෙක්ගෙන් තමන්ගේ කෙනෙක්ට බෝවෙන්නේ නෑ කියල හිතාගෙන මාස්ක් එක ගලවගෙන කතා කරන්නේ, පිට ගෙවල්වලට ගියාම... තමන්ගේ ගෙදර ඇරෙන්න කොහෙවදිත් මාස්ක් එක විනාඩි 10කට 15කටවත්, කන්නවත් ගලවන්න එපා."
"කෙලින්ම කියනවා නම්, ලෙඩෙන් ගේම ඉල්ලන්න යන්න නරක යි."
"තමන්ට ලෙඩේ තියෙන බව දන්නවා නම් ආශ්‍රිතයින්ගෙන් ලෙඩේ හංගන්න එපා"
"ලක්මාල්" (ඔහුගේ සැබෑ නම නොවේ) ගාල්ල ප්‍රදේශයේ වෙසෙන තිස් හැවිරිදි තරුණයෙකි.
පෞද්ගලික අවශ්‍යතාවක් සඳහා මිතුරෙකු හමුවීමට ගිය ලක්මාල්, සිය මිතුරාට කෝවිඩ් වැළඳී ඇතැ යි දැනගත්තේ ඊට පසුදා ය. රෝග ලක්ෂණ කිසිවක් නොතිබුණත් තමාම ගොස් PCR පරීක්ෂණයක් සිදුකරවා ගත් ලක්මාල්ට, පරීක්ෂණයේ ප්‍රතිඵල ආ දා තමාගේ ගඳ සුවඳ දැනීමේ හැකියාව නැතිව ගොස් ඇති බවත්, සිරුර රිදුම් දෙන බවත් දැනුනි.
ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට මේ බව දන්වන ලදුව පසුදාම බූස්ස නාවික හමුදා කඳවුරේ පිහිටි අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයට යෑමට ලක්මාල්ට අවස්ථාව ලැබුණි. ඔහු දින 9ක් එහි ගතකළේ ය.
මධ්‍යස්ථානයේ දී තමන්ට හුමාලය අල්ලන්නට ඉඩකඩ සලසා තිබූ බවත්, දිනපතා උදෑසන මල්ටිවිටමින් කරලක් ද, පැරසිටමෝල් සහ කොත්තමල්ලි වැනි ඖෂධීය පානයක් ද ලබා දුන් බවත්, වෙනත් විශේෂ ප්‍රතිකාරයක් ලබා නොදුන් බවත් ඔහු පවසයි.

"ඇඟට හරි අමාරු යි ඉතින්. අන්තිමට බලද්දී මගේ බර කිලෝ 12ක් අඩුවෙලා තිබ්බා. දැනටත් ඇඟපත රිදෙනවා, ඇඟට පණක් නෑ, කකුල් කකියනවා. ඒ ටික දිගටම තියෙනවා," ඔහු කියයි. ඔහු ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පිටව අවුත් දැනට මාස දෙකක් පමණ වේ.
"පොඩි කැස්සක් ආවත් පපුව පොඩ්ඩක් රිදෙන ගතිය තියෙනවා... ඇඟට මහන්සි ගතිය, මොනවත් කරන්න බැරි ගතිය, ඒ ටික තියෙනවා දිගටම. මම දන්නෑ කවද අඩුවෙයි ද කියන්න."
තමා හමුවීමට ගිය මිතුරා තමා සමඟ හිත අමනාපකමකින් පසුවූ නිසාවෙන්දෝ, ඔහුට කෝවිඩ් වැළඳී තිබූ බව දැන සිටිය ද එය තමාගෙන් සැඟවූ බව ලක්මාල් පැවසුවේ ය.
"ලෙඩක් හැදුනාම, ඒක අපි පොසිටිව් කියලා දැනගත්ත ගමන් අපි කරන්නෝන ඒක පැතිරෙන එක නවත්තන එක. තරහ වුණා ද කියලා නෑ, තමන්ගේ ආශ්‍රිතයින්ට පොඩ්ඩක් දැනුවත් කරන එක යි ලොකුම දේ... මට ඒ වෙද්දී වැක්සින් එකක්වත් ලැබිලා තිබ්බේ නෑ,"යි කියූ ලක්මාල් අප පාඨකයින්ව ද මේ පිළිබඳව දැනුවත් කරන මෙන් පවසා සිටියේ ය.
"අපට කෝවිඩ් හැදුණේ කෙසෙල් ගෙඩිවලින්"
පංචනා ඊශ්වරී මොරටුවේ වෙසෙන බතික් නිර්මාණ ශිල්පිනියකි. මවකි. ඇගේ සැමියා පෙනහැලි ආශ්‍රිත රෝගයකින් පෙළේ. එනිසා ඇගේ පවුලේ සැවොම කෝවිඩ් ආසාදනය වීමෙන් ගැලවීමට නොකළ දෙයක් නැතැ යි පංචනා කියයි.
කෙසේ නමුත්, ඔවුන් කෝවිඩ් එන්නත ලබාගැනීමට නියමිතව තිබූ දිනවලම ඇගේ සැමියාගේ රෝග තත්ත්වය උත්සන්න වී තිබේ. ඔහුගේ පෙනහැලිවල එක්ස් කිරණ ඡායාරූපයක් ගත්කල එහි 'සුදු පැල්ලම්' දිස්වූ නිසා, රෝගයට නිවසේ දී ලබාදිය යුතු ප්‍රතිකාර හරිහැටි සිදුවී නැතැ යි උපකල්පනය කළ වෛද්‍යවරයා ඔවුනට දොස් පවරා ඇත.

ඡායාරූප මූලාශ්‍රය, PAnchana Eshwari
රෝහලෙන් පිටවී එන අතරතුර නිවසෙන් ලැබුණු දුරකථන ඇමතුමකින් දන්වා ඇත්තේ ඇගේ දරුවාට උණක් මතුව ඇති බව යි.
මේ ඇමතුමත්, රූපවාහිනියේ පෙන්වූ කෝවිඩ් රෝගීන්ගේ පෙනහැලිවල එක්ස් කිරණ සටහන් දැක තිබීමත් නිසා, සැමියාට කෝවිඩ් වැළඳී ඇතැ යි පංචනා අනුමාන කළා ය. මෙම අනුමානය ඔවුනට ආශිර්වාදයක් වූයේ කොවිඩ් පරීක්ෂණය සිදුකිරීමට ඔවුන් පෙළඹවූ එක් සාධකයක් එය වූ නිසා ය.
නමුත්, කෝවිඩ් පරීක්ෂණයක් සිදුකර ගැනීම එතරම් පහසු නොවූ බව ඇය පවසයි. "මම PHI මහත්තයට කතා කරලා ඇහුවා අපට මෙහෙම සිම්ටම්ස් තියෙනවා, අපට ඇවිල්ලා PCR එකක් කරනවා ද කියලා. "අපෝ එහෙම කරන්නෑ" කිව්වා. ඔයගොල්ලෝ ගිහිල්ල ප්‍රයිවට් තැනකින් PCR එක කරගන්න කිව්වා. අපේ ගෙදර පස්දෙනෙක් ඉන්නවා, ලොකු වියදමක් යනවා, මොකද කරන්නේ ඇහුවම ඇන්ටිජන් එකක් කරගන්න කිව්වා," තමා මුහුණපෑ අපහසුතා විස්තර කරමින් ඇය පැවසුවා ය.
ඇන්ටිජන් පරික්ෂාව සිදුකළ පසු පවුලේ සියලු දෙනාට කෝවිඩ් වැළඳී ඇතැ යි තහවුරු වී ඇත.
තමාට හුස්ම ගැනීමේ අපහසුතා, උණ ගතිය, සහ ආහාර අරුචිය ඇතිවූ බව ඇය කියා සිටියා ය. රස දැනීමේ හැකියාව ද අහිමි වූ බැවින් "කිරිමැටි ගිලිනවා වගේ" ආහාර ගැනීමට සිදුවූ බව පංචනා විස්තර කළා ය.
රෝගය සුව වූ නමුත් පංචනාට තවමත් දරුණු කොන්දේ අමාරුවක්, හුස්ම ගැනීමේ අපහසුවක්, සහ ඇඟිලිවල සන්ධි නැවීමේ අපහසුවක් තිබේ. තම කුඩා පුතුටත් කිසිදා නොතිබූ 'වීස් එකක්' කෝවිඩ්වලින් අනතුරුව මතුව ඇතැ යි ද ඇය කියයි.
තම පවුලට කොවිඩ් වෛරසය වැළඳෙන්නට ඇත්තේ නිවෙසට ගෙන ආ කෙසෙල් ගෙඩිවල මතුපිට තිබී යයි පංචනා සැක කරයි. සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයයේ වෛද්‍ය නිලධාරියා මෙම මතය ප්‍රතික්ෂේප කළ නමුත්, සිය සැමියාගේ වෛද්‍යවරයා මේ අදහසට එකඟ වූ බව ඇය පවසයි.
"ලොක්ඩවුන් වෙයි කියල තමයි හිතන් හිටියේ. ගෙදරට ඕනේ කරන බඩු ටික ඉස්සරහ කඩෙන් තමයි අරගත්තේ. පොඩි අය හරි ආසයි කෙසෙල් ගෙඩි කන්න. ගේන ගේන බඩුව සැනිටයිස් කරලා තමයි ගන්නේ... ඒ තරමට පරිස්සම්. ගෙදරට ගේන ඔක්කොම ඒවා හෝදලා ගන්න මම කෙසෙල් ගෙඩි පෙට්ටිය දුවගේ අතට දීලා, ඒ කෙසෙල් ගෙඩියක් පොඩි පුතා තමයි මුලින්ම කෑවේ, හෝදන්නේ නැතුව... අපට කන්ටැක්ට් වෙච්ච කෙනෙක් නෑ. අපේ ගෙදරට ආව කෙනෙක් නෑ... පස්සේ අපට කිව්වා ලිස්ට් එකක් ලියන්න ගෙදරට ගෙනාව බඩු, ගෙනාවේ කොහෙන්ද කින්ද මන්ද කියලා බලන්න කියලා. පස්සේ හොයාගත්තා, බණ්ඩාරගම රෙඩ් සෝන් එකකින් තමයි කෙහෙල්ගෙඩි ඇවිත් තිබුණේ."
"මෙච්චර පරිස්සම් තියෙන අපේ ගෙදරට කෝවිඩ් ආවා. කෝවිඩ් ආවා විතරක් නෙවෙයි, මටයි හස්බන්ඩ්ටයි අමාරුම වුණා... මේ විදිහටම මේ කාලේ වගේම ඒ කාලෙත් හොඳටම ෆිල් වෙලා තිබ්බේ තැන් තැන්. මිනිස්සුන්ට දුක් විඳින්න වෙනවා අනිවාර්යෙන්ම. ඒක අපා දුකක්... කූඩු වෙලා හිටපු අපි විතරයි මේකේ අමාරුව දන්නේ. හෙට උදේ නැගිටියි ද කියලා කියන්න බෑ හැදිච්ච අය අද නිදාගත්තම... හදා ගන්න එපා කියන පණිවිඩේ තමයි මිනිස්සුන්ට දෙන්න තියෙන්නේ. මේක හිතන තරම් සුන්දර නැහැ," පංචනා පවසයි.
පශ්චාත් රෝග ලක්ෂණ
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ප්‍රකාශයට පත්කර ඇති අන්දමට කෝවිඩ් නිසා මතුවෙන රෝග ලක්ෂණයන් 200ක් පමණ මේ වන විට වාර්තා වී තිබේ. මෙයින්, හුස්ම ගැනීමේ අපහසුව, ඥානන ගැටලු (අවධානය යොමු කිරීමේ අපහසුතා, නිතර අමතකවීම්, මානසික ආකූලතා ආදිය), සහ විඩාව මෙයින් ප්‍රධාන ය. මීට අමතරව පපුවේ වේදනාව, කථනයේ අපහසුතා, කාංසාව හෝ විෂාදය, මස්පිඬු වේදනාවන්, උණ, ගඳ සුවඳ සහ රස නොදැනී යාම ආදී රෝග ලක්ෂණයන් ද බොහෝ වෙයි. මෙම රෝග ලක්ෂණ, රෝගී බවට පත්වීමෙන් මාස 3ක සිට මාස 9ක කාලයක් දක්වා පැවතිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි.

ඡායාරූප මූලාශ්‍රය, WHO Sri Lanka
රෝහල්වල වෙනම 'සබ්කල්චර්' එකක්?
බෙන්තර වෙසෙන මෘදුකාංග ඉංජිනේරුවෙකු වන ඉසුරු ගුණසේකර පොල්වත්ත රෝහලට ඇතුළත් කෙරුණේ සමීප ආශ්‍රිතයෙකු හරහා කොවිඩ් රෝගය වැළදීම හේතුවෙනි. රෝහලට ඇතුළත් කිරීමට පෙර නිවසේ සිටි කාලය ඇතුළත ඉසුරුට හෙම්බිරිස්සා ගතියක්, උණක් ආදී රෝග ලක්ෂණ මතුව තිබුණි.
ඒ දිනවල පොල්වත්ත රෝහලේ කෝවිඩ් වාට්ටුවේ වැඩ කටයුතු සිදුවූ ආකාරය ගැන ඉසුරු විස්තර කළේ ය.
"ඒ ගොල්ලෝ ආවට පස්සේ අපට කිව්වා ෆුල් වොෂ් එකක් දාගන්න කියලා. මේ පරිපාලනයවත් එහෙම කවුරුත් නෙවේ, ඇතුළේ ඉන්න පේෂන්ට්ලාම. "වොෂ් එකක් දාගන්න මල්ලි. ඊට පස්සේ ඇඳුම් ටික හෝදලා වැලට දාගන්න" කිව්වා... අපිම, ඒ කියන්නේ ඉන්න පේෂන්ට්ලාම තමයි වෝඩ් එක, වොෂ් රූම් ඔක්කොම මොප් කරන්නේ. ඒකෙ එන කට්ටියගෙන් ඊළඟට යන කට්ටියට පරණ අය ඒ කතන්දරේ කියලා දෙනවා. කට්ටිය බෙදාගෙන වෝඩ් එක මොප් කරලා, එළිය අතුගාලා ඒ වැඩ ටික කරනවා... ප්‍රෙෂර් චෙක් කරන්නෙත් එතන ඉන්න අයම තමයි."
"කෑමවල එහෙම වරදක්, පෝෂණය පැත්තෙන් අවුලක් නැති වුණාට ඒකෙ රහ ප්‍රශ්නයක් තිබ්බා. ඒගොල්ලොත් කතාවෙලා තිබ්බේ උදේ කෑම වෙනස් කරන්න ඕනේ කියලා," එහිදී සිදුවූවක් විස්තර කරමින් ඉසුරු පැවසුවේ ය. උදේ ආහාරය වෙනස් කරන්නැ යි රෝගීන් ඉල්ලා සිටීමෙන් පසු ඊට ඇහුම්කන් දුන් පරිපාලනය එම ඉල්ලීම ඉටුකළ බව ඉසුරු අප හා පැවසුවේ ප්‍රසාදයෙනි.
තමාගේ අත්දැකීම් මත පදනම්ව ජනතාවට දීමට කැමති පණිවුඩයක් තිබේදැ යි ඔහුගෙන් විමසූකල ඉසුරු මෙසේ පැවසුවේ ය.
"මට මතක යි එක අයියා කෙනෙක් ඇවිත් හිටියා, ෆෝසස්වල හිටපු අයියා කෙනෙක්. වයිෆ් ඉන්නවා, පොඩි එකෙකුත් ඉන්නවා. කොහොමහරි ඒ මනුස්සයා ඒ ගමට ටිකක් අලුතින් පදිංචි වෙලා තිබ්බේ. කොහොමහරි ඒ මනුස්සයා ගමට කොරෝනා ගෙනාවයි, ගමෙන් එලවන්න ඕනෙයි කියලා ලොකු කතන්දරයක් ගමේ ගිහිල්ලා තිබුණා."
"මට මිනිස්සුන්ට කියන්න තියන්නේ අනික් කෙනා දිහාත් මනුස්සයෙක් විදියට බලන්න කියලයි. මට පෞද්ගලිකව අත්දැකීම් තියෙනවා, මට මොකක් හරි පුංචි දේ වුණත්, ගොටුකොළ ටිකක් හරි කෙසෙල් ඇවරියක් හරි ගෙනැල්ලා මිනිස්සු වැට ගාව තියලා තිබුණා. ඒක ලොකු හයියක්. ඒක ආර්ථිකයට ලොකු උදව්වක් නොවෙන්න පුළුවන්, ඒත් අර වගේ ආධාරයක් හම්බවෙද්දී ඒක ලොකු මානසික සහනයක්."
වසංගත කාලයේ නිවසේ රැඳී සිටීමට උත්සාහ ගත යුතු බව අවධාරණය කරන අතරේ අසල්වැසිකුගෙන් හෝ සමීපතමයෙකුගෙන් මෙවන් අවස්ථාවකදී ලැබෙන සුළු හෝ උපකාරයක් විශාල මානසික ශක්තියක් වන බව ඔහු පෙන්වා දෙයි.
එසේම, මිත්‍යාවන්ට හසු නොවෙන ලෙස ද ඉසුරු ඉල්ලා සිටියි.











