ශ්‍රී ලංකාවේ තරුණ පිරිස රටින් පිටවීමට දරණ උත්සාහයන් වැඩි වෙලා ද?

    • Author, දැහැමි රණවීර
    • Role, බීබීසී සිංහල

"මේ රටේ ඉඳලා දැන් කිසිම වැඩක් නැහැ. මේ සිද්ධ වෙන දේවල් එක්ක දවසින් දවස කලකිරෙනවා. එංගලන්තය, ඔස්ට්‍රේලියාව බැරිනම් කොහේ හරි පොඩි රටකට හරි යන්න තමයි මම බලන්නේ. මේ රටේ අපිට කිසි බලාපොරොත්තුවක් නැහැ," හරිනි බීබීසී සිංහල සේවයට සිය අදහස් දක්වමින් පැවසීය. ඇය සිය වාසගම හෙළි නොකරන ලෙස ඉල්ලීමක් ද කළාය.

"මේ රටේ දුප්පත්ම තරුණ මිනිහගේ ඉඳන් හැම කෙනෙක්ම මේ වෙලාවේ හොයන්නේ කොහොම ද වෙන ඕන රටකට වීසා එකක් දා ගන්නේ කියලා," කොළඹ පදිංචි 31 හැවිදිරි කාන්තාවක පැවසුවාය.

ශ්‍රී ලංකාවේ තරුණ පිරිස රටින් පිටවීම හෝ ඒ සඳහා දරණ උත්සාහයන් රාශියක් ගැන තොරතුරු සහ විමසීම් රාශියක් සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වනු දැකිය හැකිය.

මේ සඳහා වෙනම සමාජ මාධ්‍ය ජාල කණ්ඩායම් පවා නිර්මාණය කර ඇති අතර, විශාල තරුණ පිරිසක් සේම පුද්ගලයන් පිටරට යවන 'ඒජන්සි' හිමියන් ද එම කණ්ඩායම්වල ඉතා ක්‍රියාකාරීව සිටිනු දක්නට හැකිය.

'රට ගිය ඇත්තෝ'

මේ අතර, පිටරට දිවිගෙවන ශ්‍රී ලාංකිකයන් කීප දෙනෙක් ද බීබීසී සිංහල සේවයට පැවසුවේ 'ලංකාවෙන් දවසකට දෙතුන් දෙනෙකුවත් අපි ඉන්න රටවල විස්තර අහලා මැසේජ් එවනවා. මීට කලින් කවදාවත් මෙහෙම දෙයක් දැකලා නැහැ," යනුවෙනි.

"දවසකට බර ගණනක් මැසේජස් එනවා ලංකාවේ ඉන්න මගේ යාළුවන්ගෙන්. ගොඩක් අය අහන්නේ එංගලන්තයට එන්නේ කොහොම ද කියලා. ඒ හැම කෙනාම කියන පොදු දෙයක් තමයි ලංකාවේ දැනට පවතින තත්ත්වයත් එක්ක අනාගතය ගැන කිසිම බලාපොරොත්තුවක් තියා ගන්න බැහැ කියන එක.

හැබැයි විස්තර අහන බහුතරයක් ළඟ පිටරටකට යන්න අවශ්‍ය මුදල් නැහැ. නමුත් කොහේ හරි රටකට යන්න ඕනේ කියන දේත් එක්කමයි ජීවත් වෙන්නේ. ඒ අතර රට යන්න කියලා වංචාකාරයන්ට සල්ලි දීපු අයත් සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා.

සමහරු රුපියල් 30,000ක් වගේ ගණනක් කාට හරි වංචාකාරයෙකුට ගෙවලා යුරෝපා රටකට එන්න බලාගෙන ඉන්නවා. මේ ඇත්තටම දුක්ඛිත තත්ත්වයක්," එක්සත් රාජධානියේ දිවිගෙවන ජයමිණී යශෝධා පැවසීය.

කෙසේනමුත්, තරුණ පිරිස රට අත්හැර යාම වර්තමානයේ වැඩි වී ඇත්ද ගැන තවමත් පැහැදිලි දත්ත නොමැත.

'භාගයක් වැඩ කරන්නේ නැහැ'

සංවර්ධනය වෙමින් පවතින රටවල තරුණ පිරිස අධ්‍යාපනය සඳහා හෝ රැකියා සඳහා විදෙස් ගතවීම සාමාන්‍ය තත්ත්වයකි. එය ආර්ථික, සමාජීය මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටක් තුළ පැන නැඟිය හැකි වෙනත් ගැටලු හා බැඳුණු කරුණකි.

නමුත් 2019 වසරේ දී ලෝක බැංකුව නිකුත් කළ වාර්තාවට අනුව, වර්තමානයේ ශ්‍රී ලංකා ශ්‍රම බලකායේ සැලකිය යුතු පසු බැස්මක් ඇත.

එම වාර්තාවට අනුව වයස අවුරුදු පහළොවෙන් ඉහළ තරුණ තරුණියන් ශ්‍රී ලංකාවේ රැකියා වෙළෙඳපොළට ලබා දෙන දායකත්වය 50%ක් පමණ වේ. එමෙන්ම, පුරුෂයන් 72.4% ට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායට කාන්තාවන්ගේ දායකත්වය 32.5% ක් පමණි. එසේම, කාන්තාවන්ගේ විරැකියා අනුපාතය 36.3% ක් වන අතර, පුරුෂයන් අතර එය 21.1% ක් පමණි.

කාන්තාවන් අතරින් ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායට දායකත්වය දක්වන්නේ සෑම තිදෙනෙක්ගෙන් එක් අයෙකු පමණය. නමුත් රටේ ජනගහණයෙන් 52%ක් කාන්තාවන්ය.

මෙවන් පසුබිමක් තුළ තරුණ ප්‍රජාව විශාල වශයෙන් විදෙස්ගතවීම ප්‍රබල ගැටලුවක් වනු ඇත.

ශ්‍රී ලංකාවේ වර්තමාන ශ්‍රම බලකායේ බහුතරය නියෝජනය කරනු ලබන්නේ වයස අවුරුදු 25 - 40ත් අතර කාණ්ඩයයි.

මේ තොරතුරු ද කියවන්න:

'පුහුණු වෙන්න - රට යන්න'

විදෙස් රැකියා සඳහා පිටත්ව යන නුපුහුණු සහ අර්ධ පුහුණු ශ්‍රමිකයන් වෙනුවට ශිල්පීය නිපුණත්වය ඇති පුහුණු ශ්‍රමිකයින් වැඩි වශයෙන් විදෙස්ගත කිරීමෙන් රටට ලැබෙන විදෙස් ආදායම් ප්‍රමාණය ඉහළ යන බව 2018 ශ්‍රී ලංකා මහබැංකු වාර්තාවේ සඳහන් වේ.

නමුත් වර්තමානයේ ශ්‍රී ලංකාවෙන් විදෙස් රැකියා සඳහා පිටත්ව යන පිරිසෙන් 55%ක් ම නුපුහුණු හෝ අර්ධ පුහුණු ශ්‍රමිකයන් වන අතර නිපුණතා ඇති පුහුණු ශ්‍රමිකයන් සිටින්නේ 32%ක් පමණි.

'ඉඳලා වැඩක් නැහැ'

"මම අවුරුදු 35ක උපාධිධාරිණියක්. මගේ පවුලේ අයත් එක්ක මේ රටේම ජීවත් වෙන්න පුළුවන් නම් ලොකු දෙයක්. හැබැයි අපි දැන් අවුරුදු ගණනක් මැරීගෙන වැඩ කළාට ජීවිතේ තාමත් එක තැනමයි. පිටරට ගිය අපේ සම වයසේ අය ගෙවන්නේ පුදුම ලස්සන ජීවිතයක්," නම හෙළි කිරීමට අකමැති වූ කාන්තාවක සිය අදහස් හෙළි කරමින් පැවසුවාය.

"අපි හැමදාම බලාගෙන හිටියා මේ රට හැදෙයි කියලා. සෑහෙන හීන මැව්වා. හැබැයි එන්න එන්නම ආගාධයට ගියා. දැන්නම් ඒකේ කෙළවරට ඇවිත් තියෙන්නේ. ආයෙත් මේ රට ගැන බලාපොරොත්තු තියන්න බැහැ. රට හදන්න කියලා අපේ ජීවිත නාස්ති කරගන්නත් බැහැ.

අපිත් මොන ක්‍රමයකින් හරි පිටරටකට යන්න උත්සහ කරනවා. අඩුම තරමේ ජීවිතයේ මැදි වයස හරි සතුටින් ගෙවෙයි," ඇය තවදුරටත් පැවසුවාය.

රටක සංවර්ධනය මනින මූලික කරුණුවලට ඇතුළත් වන්නේ, ඔවුන්ට හිමි භෞතික සම්පත් ප්‍රමාණය, ප්‍රාග්ධන ශක්තිය සහ රටේ පවතින මානව සම්පත්ය.

ඒ අතරින් මානව සම්පත වඩාත් වැදගත්ම සාධකය ලෙස සලකනු ලැබේ. එයට හොඳම උදාහරණ වන්නේ, කැනඩාව, ඔස්ට්‍රේලියාව වැනි රටවල් ජනගහණය ඉහළ නංවා ගැනීම උදෙසා පුහුණු ශ්‍රමිකයන් විශාල පිරිසකට අවස්ථා විවර කිරීමය.

මේ අතරින් ද, රටක සංවර්ධනයට වඩාත් අවශ්‍ය වන්නේ රැකියාවල නිරත විය හැකි තරුණ පිරිසය.

පාස්පෝර්ට් ලබා ගැනීම වැඩි වෙලා ද?

"රටේ කොවිඩ් තත්ත්වය මත පාස්පෝර්ට් ඉල්ලුම් කරන එක අඩු වෙලා තියෙන්නේ. ඉස්සර දවසකට 1,500ක් වගේ ප්‍රමාණයක් පාස්පෝර්ට් ඉල්ලුම් කරනවා. නමුත් දැන් නැවත රටවල් සංක්‍රමණිකයන්ට ඇරලා තියෙනවා. පිටරටවල විශ්වවිද්‍යාල නැවත විවෘත කරලා තියෙනවා. ඉතින් දෙමාපියෝ දරුවෝ පිටරටවලට යවන්න පටන් අරගෙන තියෙනවා,"

ආගමන විගමන පාලක ජනරාල් යූ වී සරත් රූපසිරි මාධ්‍ය හමුවක දී පැවසීය.

"රැකියාවලට, අධ්‍යාපනයට පුද්ගලයන් විදෙස් ගතවීමේ වැඩි වීමක් පෙනෙන්න තිබෙනවා. හැබැයි එය අපිට නිශ්චිතව කියන්න බැහැ," ඔහු වැඩිදුරටත් පැවසුවේය.

වංචා ගැන කියන්නේ කාට ද?

විදෙස් රටවල රැකියා බලපත්‍ර සහ අධ්‍යාපන වීසා ලබා දෙන බව පවසා මුදල් වංචා කරන පුද්ගලයන් පිළිබඳ ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් නිතර අසන්නට ලැබේ.

එවැනි වංචාකරුවන් පිළිබඳ තොරතුරු දන්නේ නම් කාර්යාංශයේ පැය 24 තොරතුරු සේවාවේ මතු සඳහන් දුරකතන අංක වෙත දැනුම් දිය හැකි බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

+911-2879900

+94112879901

+94112879902

මීට අමතරව, විදෙස් රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන්ගේ ගැටලු විදේශ සේවා නියුක්ති කාර්යාංශ වෙබ් අඩවියේ 'Online Complain' යන කොටස හරහා ඉදිරිපත් කිරීමට හැකිය.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ දත්ත අනුව රැකියා සඳහා විදෙස්ගතව ඇති ලියාපදිංචි ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව දළ වශයෙන් ලක්ෂ 15-20 අතර අගයක් ගනු ලබයි.

සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද?

විදේශ රැකියා බලපත්‍ර නියෝජිත ආයතනය (රැකියා ඒජන්සි) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී ඇත්දැයි පරීක්ෂා කළ යුතුය.

එසේ ලියාපදිංචි වී ඇත්නම් එහි බලපත්‍ර අංකය විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත ලබා දී ඒ බව තහවුරු කර ගත හැක.

'නිවේදනයක්!'

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ මාතර, වව්නියාව, මහනුවර කුරුණෑගල යන ප්‍රාදේශීය කාර්යාලවල සේවා ජූනි මස අග සිට ආරම්භ කර ඇතැයි ආගමන විගමන පාලක ජනරාල් යූ වී සරත් රූපසිරි නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

සීමිත පිරිසකට පමණක් එම කාර්යාලවල සේවය සලසන බව ද ඔහු පැවසුවේය.

ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා අයදුම්පත් ලබා දීමට එම කාර්යාලවල පෙරවරු 9 සිට පස්වරු 1 දක්වා කාලය වෙන්කර තිබෙන අතර, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය වන බත්තරමුල්ල කාර්යාලයේ සේවා ලබා ගැනීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට 0707101060 හෝ 0707101070 යන දුරකථන අංක ඔස්සේ ඇමතුමක් ලබාගෙන ඒ සඳහා වේලාවක් වෙන්කර ගත හැකි බවද ආගමන විගමන පාලක ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේය.

තවත් තොරතුරු: