"සිරකරුවන්ට කොවිඩ් හැදුනට කමක් නැද්ද?"

Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "මගේ එකම ඉල්ලීම තමයි මහත්තයව එලියට දාන්න කියන එක"
    • Author, අරවින්ද තිසර රතුවිතාන
    • Role, BBC

දර්ශනී විසි තුන් හැවිරිදි ය. ඇප මුදල ගෙවා ගැනීමට වත්කමක් නොවූයෙන් සිය ස්වාමි පුරුෂයා දස මසක් තිස්සේ බන්ධනාගාරයේ ය. ඇයගේ කතාව ඇයගේ වචනයෙන් ම මෙසේය.

"මගේ මහත්තය දැන් මාස 10ක් තිස්සේ ඉන්නේ අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ. නඩුවෙන් ඇප ලැබුණට ඒක ගෙවන්න මට සල්ලි නැහැ. එදා වේල කන්නෙත් අමාරුවෙන්. දරුවෝ දෙන්නට කිරිපිටි අරන් දෙන්නෙත් අපේ අම්ම. ඉතින් කොහොමද මං ඇප ගෙවන්නේ?"

කතරගමට නුදුරු ගම්මානයක දිවි ගෙවන දර්ශනී දෙදරු මවකි. ස්වාමි පුරුෂයා සිරගත වූයේ දෙවැනි දරුවා බිරියගේ කුසේ සිටියදී ය.

"මට වයස අවුරුදු හතරක ළමයෙක් ඉන්නවා. මහත්තය හිරේට යනකොට මගේ බඩේ හිටිය දරුවා හම්බවෙලා දැන් මාස හතරයි."

"දැන් මාස 4ක් තිස්සේ මහත්තයව බලන්න දුන්නේ නැහැ. ගොඩක් අයට කොරෝනා හැදිලා කියල බලන්න එන්න එපා කිව්වා. මගේ මහත්තයටත් කැස්ස තියෙනවා කියල එක දවසක් පොලිසියෙන් කිව්වා. ඊට පස්සේ මොනවා උනාද කියල දන්නේ නැහැ. මහත්තයගෙන් කෝල් එකක්වත් නැහැ. කොහෙද ඉන්නේ කියලවත් දන්නේ නැහැ. මට හරි බයයි. එයැයි අක්මාවේ සැරව පිරෙන ලෙඩෙක්." දර්ශනී ගේ හඬ බිඳෙන්නට විය.

Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

"මගේ එකම ඉල්ලීම තමයි මහත්තයව එලියට දාන්න කියන එක. මට ඇප ගෙවන්න සල්ලි නැහැ. මේ දරුවෝ දෙන්න වෙනුවෙන් ඒ මුදල අඩුකරලා මහත්තයව එලියට දාන්න කියල තමයි මම ඉල්ලන්නේ. හන්දියේ පලතුරු කඩයක් ගෙන හිටියේ. අනුන්ගේ ආරවුලකට මැදිවෙලා තමයි එයාවත් හිරේට ගියේ. මගේ තාත්ත දැන් කුලී වැඩ කරනවා, මේ දරුවට කිරිපිටි ටික අරන් දෙන්න."

සැමියා සිරගත වූ පවුල් දහස් ගණනක් අතරින් දර්ශනීගේ කතාව එක් අහඹු කතාවක් පමණක් බව අපි දනිමු. නමුත් කොරෝනා වසංගතය හමුවේ බොහෝ සිරකරුවන්ගේ ජීවිත අවදානමට ලක්වී ඇතැයි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසයි.

"ශ්‍රී ලංකාවේ බන්ධනාගාර 28ක් පමණ තිබෙනවා. ඒ බන්ධනාගාර තුළ 30,000ක් පමණ පිරිසක් රඳවා තිබෙනවා. මේ රැඳවියන්ට තිබෙන සනීපාරක්ෂක පහසුකම් සහ තදබදය ගැන සලකා බලනකොට ඉතාම අවාසනාවන්ත තත්ත්වයක් තියෙන්නේ. බොහෝවිට සිරකරුවන් දෙසීයකට යන්න එක වැසිකිලියයි තියෙන්නේ." සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති, නීතිඥ සේනක පෙරේරා පැවසීය.

මෙවැනි තත්ත්වයක් තුළ බන්ධනාගාරයක් තුළට වෛරසය පැමිණියහොත් ඉතා ඉක්මනින් දහස් ගණනක් එකවර රෝගීවීමේ අවදානමක් පවතින බව ඔහු අවධාරණය කළේය.

සෞඛ්‍ය විශේෂඥයින්ගේ මතය අනුව, කොවිඩ් වසංගතයෙන් බේරී සිටීමට නම් මුව හා නාසය ආවරණය කර ගැනීම මෙන්ම එකිනෙකා අතර නිසි පරතරය තබා ගැනීම ද ඉතා වැදගත් වේ. නමුත් බන්ධනාගාරයක් තුළ සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යා හැකිද? ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ පවතින තදබදය පිළිබඳව බොහෝ වාර්තා පළවී තිබේ.

"බන්ධනාගාරය තුළ මීටරයක් දුරින් ඉන්න බැහැ. ශ්‍රී ලංකාවේ තිබෙන සියලුම බන්ධනාගාර තුළ සිටිය හැකි සිරකරුවන් ප්‍රමාණයට වඩා දෙතුන් ගුණයකට වැඩි පිරිසක් ඉන්නවා. සාමාන්‍යයෙන් එක රැඳවියෙක් දාන්න හදල තියෙන අඩි 10 x 6 පමණ සිර මැදිරියක හත් අට දෙනෙක්වත් ඉන්නවා." නීතිඥ සේනක පෙරේරා ප්‍රකාශ කළේය.

Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

මෙම තදබදය අඩුකර ගැනීම සඳහා තම සංවිධානය විසින් ඉදිරිපත් කරනු ලැබ තිබූ යෝජනා කීපයක් ඔහු සිහිපත් කළේය. "සුළු වැරදි සඳහා දඩ ගෙවාගන්න බැරිව සිටින අයට සහනයක් දීම, ඇප ගෙවාගන්න බැරි අයට ඇප ලබා දීම සඳහා යම් විශේෂ ක්‍රමයක් දියත් කිරීම, යහපත් කල්ක්‍රියාවක් තිබෙන අයට නිවාස නිවාඩු ලබා දීම, වයෝවෘද්ධ සිරකරුවන්ට නිදහස ලබා දීමට විශේෂිත ක්‍රමවේදයක් දියත් කිරීම, ඒ වගේම සමාලෝචන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම ආදී යෝජනා ඒ අතර තිබෙනවා."

වසංගතය ආරම්භවීමෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් බන්ධනාගාර වෙත චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබ ඇති බව ද නීතිඥවරයා පැවසීය.

"මේ වෙනකොට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා අලුතින් සිරකරුවන් ඇතුළට ගන්න පෙර දින 14ක් නිරෝධායනය කරලා PCR පරීක්ෂණයක් කරලා ගත යුතුයි කියල. නමුත් එහෙම දෙයක් සිද්ධ වුණේ නැහැ. එහෙම දෙයක්වත් සිදු නොවීම නිසා තමයි මහර බන්ධනාගාරයේ අවාසනාවන්ත සිද්ධියක් ඇති වුණේ."

මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ තවත් රැඳවියන් පිරිසක් බන්ධනාගාරයෙන් පළායාමට උත්සාහ දැරීමේ සිද්ධියක් මුල්කර ගනිමින් පසුගිය නොවැම්බර් 29 දා නොසන්සුන්කාරී තත්ත්වය හට ගෙන තිබුණි.

මෙය ගැටුමක් දක්වා දුරදිග ගිය බවත් අනතුරුව තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් අවම බලය පාවිච්චි කර ඇති අතර එහිදී වෙඩි ප්‍රහාර කිහිපයක් ද එල්ල කර තිබෙන බවත් පොලිසිය පැවසීය.

Twitter

ඡායාරූප මූලාශ්‍රය, Twitter

ඡායාරූප ශීර්ෂ වැකිය, මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාවයෙන් පසු රැඳවියකුගේ ඥාතියෙක් පොලිස් නිලධාරියෙක් ඉදිරියේ ආයාචනය කරන ආකාරය සමාජ මාධ්‍යවල සටහන්ව තිබූ අයුරු

"ඒ අය ඉල්ලා සිටියේ මේ කොවිඩ් වසංගතයෙන් අපේ ජීවිත ආරක්ෂා කරල දෙන්න කියලා. එතැනදී වෙඩිතැබීමක් සිදු වුණා. සිරකරුවන් 11 දෙනෙක් පමණ ඝාතනය වුණා. ඒ තරම් දෙයක් සිද්ධ වුණත් කොවිඩ් වෙනුවෙන් සතුටුදායක යමක් බන්ධනාගාර තුළ සිදු වුණේ නැහැ." සිරකරුවන් සුරැකීමේ සංවිධානය පැවසීය.

මේ පිළිබඳව විමසා බැලීම සඳහා බන්ධනාගාර බලධරයෙකු ඇමතුවෙමි. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට හැකිවිය.

ඇතැම් ආයතනවල පවතින මතභේදාත්මක කරුණු පිළිබඳව විමසීමට උත්සාහ කිරීමේදී ඇතැම් බලධාරීන් ඊට මුහුණ නොදී මගහැර සිටීම හෝ දුරකථනය විසන්ධි කරන අවස්ථා මාධ්‍යවේදීන්ට සුලබ අත්දැකීමකි. නමුත් මෙම කොමසාරිස්වරයාගෙන් මතු වූ ඉතා මිත්‍රශීලි ප්‍රවේශය පිළිබඳව විශේෂයෙන් සඳහන් කළ යුතුයැයි මම සිතමි.

"රිමාන්ඩ් භාරයට පත්කරන හැම දෙනාගේම PCR පරීක්ෂණයක් කරනවා. උදාහරණයක් හැටියට කියනවනම්, කොළඹින් රිමාන්ඩ් වෙන හැම දෙනාම රඳවන්නේ පල්ලන්සේන කඳවුරේ. එතැනදී PCR කරලා ආසාදිතයන් හිටියොත් වෙනම කඳවුරකට දානවා."

එවැනි කඳවුරු තුනක් පවතින බව බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්තාපන) චන්දන ඒකනායක පවසයි.

"කොලිනොච්චියේ අයියකච්චි වල එක කඳවුරක් තියෙනවා. තවත් එකක් වටරැක තියෙනවා. අනිත් එක තියෙන්නේ පල්ලෙකැලේ. මේ කෑම්ප් තුනේ තමයි ආසාදිතයන් රඳවන්නේ. ඒ අයට අවශ්‍ය සියලුම පහසුකම් සපයල තියෙනවා. වෛද්‍යවරු ඉන්නවා. හදිසි අවශ්‍යතාවක් වුණොත් ක්‍රියාත්මක වීම සඳහා වෛද්‍ය සේවක මණ්ඩලයක් ඉන්නවා."

නමුත් බන්ධනාගාර තුළ කාලයක් තිස්සේ සිටින රැඳවියන් ආරක්ෂා කර ගැනීම සඳහා සෑහීමට පත්විය හැකි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොවන බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසයි.

පීසීආර් පරීක්ෂණ

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා

ඡායාරූප මූලාශ්‍රය, Senaka perera

ඡායාරූප ශීර්ෂ වැකිය, සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා

එම කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා කියා සිටියේ "දැනට බන්ධනාගාර තුළ සිදු කෙරෙන්නේ අහඹු ලෙස තෝරාගත් නියැදිවලට පීසීආර් පරීක්ෂණ සිදු කිරීමක්. ඒක ප්‍රමාණවත් නැහැ. ක්‍රමානුකූලව දියත් කෙරෙන වැඩසටහනක් මේකට අවශ්‍යයි," යනුවෙනි.

"බාහිර පරිසරයේ වගේ නොවෙයි, මේ කොවිඩ් වසංගතය ඉතා ඉක්මණින් ව්‍යාප්තවීමට ඉතාම හිතකර තත්ත්වයන් තමයි මේ බන්ධනාගාරවල තියෙන්නේ. මේ සිරකරුවන්ගෙන් වැඩි දෙනාගේ ශරීර සෞඛ්‍යය හරිම දුර්වලයි. කොරෝනා ළඟින් ගියත් ඔවුන් ඔත්පළ වෙන තත්ත්වයක් තියෙන්නේ. ප්‍රභූවරුන්ට බන්ධනාගාර රෝහලේ නවතින්න පුළුවන් වුණාට මේ අසරණ සිරකරුවන්ට ඒ පහසුකම් නැහැනේ. මේ සිරකරුවන් හැම දෙනාම මහා අපරාධකාරයෝ නෙවෙයි. ඇපයක් ගෙවාගන්න බැරිව ලතවෙන සිරකරුවන් විශාල පිරිසක් ඉන්නවා."

"සිරකරුවෝත් මනුෂ්‍යයෝය කියලනේ කියන්නේ. එතකොට ඒ අයට කොවිඩ් හැදුනට කමක් නැද්ද? අපේ එකම ඉල්ලීම තමයි සෑම සිරකරුවෙකුටම PCR පරීක්ෂණ කරන්න කියන එක." සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපතිවරයා පැවසීය.

කෙසේ නමුත් බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක කියා සිටියේ, පිටතින් කිසිවෙකු බන්ධනාගාර තුළට නොයවන බැවින් දැනට සිටින රැඳවියන්ට ආරක්ෂාව සැලසෙන බවය.

"සිරකරුවන් බැලීම සඳහා අමුත්තන්ගේ පැමිණීම නතර කර තිබෙනවා; අලුතෙන් එන අයව කෙලින්ම බන්ධනාගාරවලට සම්බන්ධ කරන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ට කොවිඩ් යන්න විදියක් නැහැනේ. මේක ලොකු ක්‍රියාදාමයක්. ඒ තරම් ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. ඒවා භාරව ඉන්න බලධාරීන් සහ වෛද්‍යවරු සමඟ දවස ගානේ සූම් තාක්ෂණය ඔස්සේ සාකච්ඡා පවත්වමින් තමයි මෙය පවත්වාගෙන යන්නේ." කොමසාරිස්වරයා පැවසීය.

chandana ekanayake

ඡායාරූප මූලාශ්‍රය, chandana ekanayake

ඡායාරූප ශීර්ෂ වැකිය, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක

පවුලේ ඥාතීන්ට හෝ වෙනත් අමුත්තන්ට සිරකරුවන් බැලීම සඳහා මේ දිනවල අවස්ථාවක් නොලැබෙන බැවින් බන්ධනාගාරය තුළ සිදුවන කිසිවක් පිළිබඳව හෝ සිරකරුවන් ඇත්ත වශයෙන්ම මුහුණදෙන තත්ත්වය පිළිබඳව හෝ බාහිර ලෝකයට අනාවරණය නොවන බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසයි.

ඇත්තම තත්ත්වය මොකක්ද?

"සියලුම අමුත්තන් පැමිණීම දැන් නවත්තල තියෙනවා. ඒ නිසා ගෙදරින් කෑම එකක්වත් ලැබෙන්නේ නැහැ. කාන්තා රැඳවියන්ට සනීපාරක්ෂක පහසුකම් ප්‍රමාණවත්ව ලැබෙන්නේ නැහැ කියලත් අපට තොරතුරු ලැබිල තියෙනවා. දැන් කිසිම කෙනෙකුට ඇතුළට යන්න දෙන්නේ නැති නිසා කවුරුවත් දන්නේ නැහැ බන්ධනාගාරවල තියෙන ඇත්තම තත්ත්වය මොකක්ද කියල." නීතිඥ සේනක පෙරේරා ප්‍රකාශ කළේය.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක එම චෝදනා ප්‍රතික්ෂේප කළේය. තමන් මේ දිනවල සිරකරුවන්ගේ සුබසාධනය පිළිබඳව පෞද්ගලිකව සොයා බලමින් සිටින බව ද ඔහු පැවසීය.

"කෑමබීම වල කිසිම අඩුවක් නැහැ. ඒ අයට අවශ්‍ය කරන මුහුණු ආවරණ සහ විෂබීජ නාශක දියර සපයල තියෙනවා. කාන්තා රැඳවියන්ට සනීපාරක්‍ෂක තුවා පවා අපි ලබා දෙනවා. අපි අධිකාරීවරුන්ට මුදල් ප්‍රතිපාදන ලබා දීල තියෙනවා මේවා ලබා දෙන්න කියල. ඒවා හොඳින් ක්‍රියාත්මක වෙනවා."

"සෞඛ්‍ය සේවා නිසියාකාරව සිදු වෙනවා. අවශ්‍යතාවයක් වුනොත් රජයේ රෝහලට පවා ඇතුළත් කොට ප්‍රතිකාර ලබා දෙනවා." බන්ධනාගාර කොමසාරිස්වරයා පැවසීය.

කෙසේ වෙතත් මේ දිනවල බන්ධනාගාර තුළ පවතින සැබෑ තත්ත්වය සොයා බැලීම සඳහා මැදිහත්වන ලෙස සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයෙන් ඉල්ලීමක් කරනු ලැබ තිබේ.

BBC

මීට ප්‍රතිචාර දක්වමින් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක කියා සිටියේ සිරකරුවන් දැක බලා ගැනීම සඳහා පවුලේ ඥාතීන් වෙනුවෙන් වීඩියෝ තාක්ෂණය සහිත ඇමතුම් පවා සුදානම් කර ඇති බවය.

"ඕනෑම සිරකරුවෙකුට තමන්ගේ පවුලේ අයට කතා කරන්න පුළුවන්. සියලුම බන්ධනාගාර අධිකාරීවරුන්ට අපි දැනුම් දීල තියෙනවා වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමුත්තන් පෙන්වන්න කියල. මේ දවස්වල බන්ධනාගාර තුළට අමුත්තන් ගන්නේ නැහැ. පවුලේ අයට පුළුවන් අපේ වෙබ් අඩවියට ගිහින් වීඩියෝ ඇමතුමක් සඳහා ඉල්ලීමක් කරන්න. රතු කුරුස සංගමයත් එක්ක අපි නිතරම ළඟින් වැඩ කරනවා. ඒ ගොල්ලෝ අපිට ගොඩක් උදව් කරනවා." ඔහු ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් ක්‍රියාධරයන් පවසන්නේ සිරකරුවන් අමුත්තන් සමඟ කතාබස් කරන අවස්ථාවේදී ඒ අසල බන්ධනාගාර නිලධාරියෙකු සිටින බැවින් ඔවුනට රිසි සේ අදහස් ප්‍රකාශ කළ නොහැකි තත්ත්වයක් උදා වන බවය.

හිර ගෙදර තදබදය

"බන්ධනාගාර රැඳවියන්ට කොවිඩ් වසංගතයේ අනතුර ළඟා වුණේ 2020 වසරේ මුල් කාලයේ දී. මේ කාලයේ දී තමයි අපි සිර මැදිරි තුළ තදබදය අඩු කර ගැනීමට යෝජනා මාලාවක් ඉදිරිපත් කළේ. ඉන් පසුව යම්කිසි සිරකරුවන් පිරිසක් නිදහස් කළා තමයි. නමුත් ඒ පිරිසට වඩා වැඩි පිරිසක් නැවතත් බන්ධනාගාර ගත වුණා; විශේෂයෙන් ම පසුගිය කාලයේ සිදු කෙරුණු මත්ද්‍රව්‍ය වැටලීම් හේතුවෙන්. ඒ නිසා කලින් පැවති තදබදය ඊටත් වඩා වැඩිවුණා කිව්වොත් ඒක නිවැරදියි." නීතිඥ සේනක පෙරේරා පැවසීය.

කෙසේ නමුත් බන්ධනාගාර කොමසාරිස්වරයා ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ බන්ධනාගාර තුළ සිටින රැඳවියන් ප්‍රමාණය මේ වනවිට විශාල ප්‍රමාණයකින් අඩුකර ඇති අතර ඉදිරියේදී තදබදය තවදුරටත් අඩු කර ගැනීමට ක්‍රියාදාමයක් දියත්වෙමින් පවතින බවය.

"2020 ඔක්තෝම්බර් මාසයේ පටන් මේ දක්වා අපි රැඳවියන් ප්‍රමාණය අඩුකරමින් පවතිනවා. සමස්ත රැඳවියන් ප්‍රමාණය 32,000 සිට 19,000 දක්වා මේවන විට අඩු කරලා තියෙනවා. ගොඩක් රැඳවියන්ට ඇප දීල තියෙනවා. උසාවි වලින් රිමාන්ඩ් කිරීම අඩුකරලා ඇප දීල තියෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණ අමාත්‍යාංශය, අධිකරණ සේවා කොමිෂන් සභාව සහ ඊට අදාළ අනෙකුත් අංශ එකතුවෙලා තමයි මේ කටයුතු සිදු කරන්නේ."

BBC
ඡායාරූප ශීර්ෂ වැකිය, වැලිකඩ බන්ධනාගාරයේ පැවති විරෝධතාවක්

මෙම වැඩපිළිවෙල ඉදිරියටත් ක්‍රියාත්මක වන බවත් බන්ධනාගාර තුළ පවතින තදබදය ඉදිරියේදී තවදුරටත් අඩුවනු ඇති බවත් ඔහු අවධාරණය කළේය.

"මත්ද්‍රව්‍ය වැරදිවලට දියහැකි සමාවන් නැවත සලකා බැලුවා, 54 වගන්තිය අනුව මත්ද්‍රව්‍ය ප්‍රමාණය අනුව ලබා දිය හැකි ඇප පිළිබඳව නැවත සලකා බැලුවා. ඒ වගේ දේවල් නිසා තමයි වැඩි දෙනෙකුට ඇප ලැබෙන්නේ." බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්තාපන) චන්දන ඒකනායක ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් මත්ද්‍රව්‍ය ළඟ තබාගත් හෝ පාවිච්චි කරන්නන් සිරගත කොට තැබීමෙන් රටේ මත්ද්‍රව්‍ය ජාවාරම නොනවතින බව ඇතැම් ක්‍රියාධරයන්ගේ මතයයි.

"මේවන විට බන්ධනාගාර පිරිලා තියෙන්නේ මත්ද්‍රව්‍ය වැරදිවලට හසුවුණු අයගෙන්. මේ මත්ද්‍රව්‍ය වැටලීම් වලින් අහුවෙන්නේ පහළ මට්ටමේ ඉන්න අය විතරනේ. ඒකෙනුත් වෙන්නේ සිර මැදිරි පිරෙන එක මිසක් ජාවාරම නවතින එක නෙවෙයි. මොකද ඒවා රටට ගෙන්වන අය දිගටම ඒක කරගෙන යනවනේ. ඉහළින්ම ඉන්න දෙතුන්දෙනා අල්ල ගන්නේ නැතුව ඒවා පාවිච්චි කරන සිය ගණනක් අල්ලලා හිරේ දානවා. මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමත් වැරදි තමයි. නමුත් මේවා ගෙන්වීම නතර කළා නම් පාවිච්චිය ඉබේම නවතිනවනේ. එහෙමනම් හිර ගෙවල් පිරෙන්නේ නැහැ." නීතිඥ සේනක පෙරේරා පැවසීය.

කතරගම දර්ශනි

කතරගම දර්ශනි මුහුණ දී ඇති තත්ත්වය පිළිබඳව මෙම ලිපිය ආරම්භයේ දී සඳහන් කළෙමි. එය එක් සිදුවීමක් පමණක් වන නමුත් එවැනි තත්ත්වයකට මුහුණ දෙන කෙනෙකු ගතයුතු පියවර පිළිබඳව මම බන්ධනාගාර කොමසාරිස්වරයාගෙන් විමසීමක් කළෙමි.

"කොවිඩ් හැදුනු සිරකරුවෙක් ගැන දැනගන්න අවශ්‍යනම්, අපේ තියෙනවා කොවිඩ් මධ්‍යස්ථානයක්. ඒකට කතා කළොත් සියලුම විස්තර දෙනවා. එයාගේ රෝගී තත්ත්වය ගැන සියලු විස්තර ලබා දෙනවා. ඉන්නේ කොතනද කියල කියනවා. අදාළ බන්ධනාගාරයට කතා කළත් ඒ විස්තර කියනවා. ලංකාවේ ඕනෑම බන්ධනාගාරයක ඉන්න කෙනෙක් ගැන දැනගන්න පුළුවන්. දුරකතනයෙන් කතා කරන්න පුළුවන්. හැබැයි සමහරු ඉන්නවා ගෙදර අයට කතා කරන්න කැමති නැහැ. එහෙම අයත් ඉන්නවා." බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක ප්‍රතිචාර දැක්වීය.

අධිකරණ යාන්ත්‍රණයේ ඇති ප්‍රමාදයන් හේතුවෙන් ද ඇතැම් පුද්ගලයන්ට විශාල කාලයක් සිරගතවී සිටින්නට සිදුවී ඇති බව ක්‍රියාධරයෝ පවසති.

අවුරුදු 13ක් තිස්සේ සැකකාරයෙක්

"මේ රැඳවියන්ගෙන් බොහෝ දෙනෙකුට විශාල කාලයක් තිස්සේ බන්ධනාගාරයේ ඉන්න සිද්ධවෙලා තියෙන්නේ අනෙකුත් රාජ්‍ය අංශවල වැඩකටයුතු කලට වෙලාවට සිදු නොවීම හේතුවෙන්. උදාහරණයක් හැටියට ගත්තොත් රස පරීක්ෂක වාර්තාවක් ගන්න ඇතැම්විට අවුරුද්දක් හමාරක් ගතවෙන වෙලාවල් තියෙනවා. ඉතින් එතකල් ම ඇතැම් සිරකරුවන්ට බන්ධනාගාරයේ ඉන්න වෙනවා." නීතිඥ සේනක පෙරේරා පැවසීය.

ඔහු එය සනාථ කිරීම සඳහා සිය අත්දැකීමක් විස්තර කළේ මෙසේය.

"දැන් මම දන්නා රැඳවියෙක් ඉන්නවා අවුරුදු 13ක් තිස්සේ සැකකාරයෙක් විදියට. එයින් අවුරුදු පහක්ම ගතවෙලා තියෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් සිදුවිය යුතු රාජකාරිවලට."

"විශේෂයෙන්ම මේ කොරෝනා කළේවත් මේවා ඉක්මන් කරන්න ඕන. එතකොට ඉක්මනට නඩුව අහන්න පුළුවන්. වැරදිකාරයෙක් නොවෙයිනම් ඉක්මනට ගෙදර යනවා."