නව තාක්ෂණය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට "හදුන්වා දීමට කාලයයි"

ඡායාරූප මූලාශ්‍රය, Twitter
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය පිළිබඳව විවිධ විවේචන එල්ල වන්නේ එය කෙතරම් දුරට ප්‍රායෝගික ද යන්න පිළිබඳව කෙරෙන සාකච්ඡාවත් සමඟය. එහෙත් පවතින ගෝලීය කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ අධ්‍යාපන ක්ෂේත්‍රයේ අදාළ ප්‍රතිසංස්කරණ සිදුකිරීමට අවස්ථාව හිමිවී ඇති බවට විශ්ලේෂකයෝ පවසති.
නව තාක්ෂණය යොදාගෙන නව ලොවට මුහුණ දීම සඳහා රටේ අනාගත පරපුර ගොඩනැගීමට මෙය උපයෝගී කරගත යුතු බව ඔවුන්ගේ මතය වී තිබේ.
පසුගියදා සමාජ මධ්‍ය ඔස්සේ සංසරණය වූ පිංතුර වලින් පෙන්වූයේ රටේ තැන තැන දරුවන් මහ මග හා කැලෑ රොදවල මෙන්ම ගස් නැග ජංගම දුරකථන සංඥා සොයමින් තම ජාලගත අධ්‍යාපනයට යොමුවන ආකාරය ය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 1
මේ මගින් පෙන්නුම් කෙරෙනුයේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට තාක්ෂණය මතුකර ඇති බාධා වුවත් අධ්‍යාපන නව තාක්ෂණය අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණුවට යොදාගත යුතු බව අධ්‍යාපන විශේෂඥයෝ අවධාරණය කරති.

ඡායාරූප මූලාශ්‍රය, Twitter
පෙළපොත් වෙනුවට ටැබ් එක දෙන්න.
කොළඹ හා කැලණිය විශ්ව විද්‍යාලවල උපාධි හා පශ්චාත් උපාධිධරයෙකු මෙන්ම ප්‍රවීන සන්නිවේදන ආචාර්ය වරයෙකු වන කුරුණෑගල නිශ්ශංක මහ විද්‍යාලයේ පරිපාලන විදුහල්පති චන්දන බණ්ඩාර ඒකනායක බී බී සී සිංහල සේවය සමග අදහස් දක්වමින් පැවසුවේ ෆින්ලන්තය, ඩෙන්මාර්කය වැනි රටවල් මුද්‍රිත මාධ්‍ය පත පොත ඉවත් කර ඉලෙක්ට්‍රොනික සංකල්පයක් අනුගමනය කරන බවය.

ඡායාරූප මූලාශ්‍රය, චන්දන බණ්ඩාර ඒකනායක
"අපිට තර්කානුකුලව හිතන්න වෙනවා එහෙමනම් මේ රටවල් වලට වැරදිලා තියෙනවද කියල. හොඳම උදාහරණය වියට්නාමය, 1980 වෙනකොට ඒ අයගේ අධ්‍යාපන දර්ශකය ආසියානු දර්ශකයට සාපේක්ෂව තිබුණේ සෘණ දර්ශකයක. ඒ අය අද එම දර්ශකයේ ඉහළටම ඇවිත් ඉන්නවා. ඒ අය කලේ ඈත පිටිසර ගම්මාන වලට පවා e-education සංකල්පය අරගෙන ගිය එක. මම යෝජනා කරනවා වහාම මේ ක්‍රමය රටට හඳුන්වා දෙන්න. අපි ප්‍රමාද වැඩියි. ඉන්දියාව ගත්තත් දැන් මෙම අධ්‍යාපන ක්‍රමයට අනුගත වෙලා බොහෝ කල්'," චන්දන බණ්ඩාර ඒකනායක පැවසීය. මේ පිළිබඳව විශ්ව විද්‍යාල ආචාර්ය, මහාචාර්යවරුන්ගේ, අධ්‍යාපන ප්‍රවීණයින්ගේ හා, විෂය ප්‍රවීනයන්ගේ දැනුම සහ මාර්ගෝපදේශය ඇතිව සිසුන් අතට පාසල් පෙළපොත් ලබාදීම වෙනුවට ඩිජිටල් අධ්‍යාපන ක්‍රමය හඳුන්වා දිය යුතු බව ඔහු කීය. 10, 11 වසරවල පාසල් දරුවෙකු පෙළපොත් 16 ක් පරිශීලනය කරන බවත් සියලුම පෙළ පොත් මුද්‍රණයේ සිට බෙදාහැරීම දක්වා රජය විශාල මුදලක් වාර්ෂිකව වියදම් කරන බවත් ඔහු පෙන්වා දුන්නේය.''මේ පොත් කට්ටලය ළමයෙකු අතට පත්වනවිට රජය වැයකරන මුදලට සමාන මුදලකට ඇතැම්විට ඊටත් අඩුවට ටැබ් පරිඝනක යන්ත්‍රයක් ළමුන් අතට ලබාදිය හැකියි. මේක විනිවිද පෙනෙන ක්‍රමයකට කලොත් රජයේ වියදම පවා අඩුවෙයි. අනික් පැත්තෙන් නව ක්‍රමය මගින් මව්පියන්ට මුදල් වියදම් කරලා දරුවන්ට අභ්‍යාස පොත් අරං දෙන්න ඕනේ නැහැ. තවත් කාරණයක් පෙළ පොත් හැම අවුරුද්දකම මුද්‍රණය කරන්න ඕනේ. හැබැයි ටැබ් පරිඝණයක් හැම අවුරුද්දෙම ළමයෙකුට දෙන්නේ නැහැ. හොඳ තත්ත්වයේ ටැබ් එකක් හෝ ලැප්ටොප් පරිඝනකයක් වසර ගණනාවක් පාවිච්චි කරන්න පුළුවන්'' යනුවෙන් චන්දන බණ්ඩාර ඒකනායක වැඩිදුරත් පැවසීය.
හොඳම අධ්‍යාපන ක්‍රමය ෆින්ලන්තයේ
ජාත්‍යන්තර දර්ශක අනුව 2017 වසරෙන් පසුව ලොව හොඳම අධ්‍යාපන දර්ශක ළඟා කරගත් රටක් ලෙස ෆින්ලන්තය සැළකේ. නව අධ්‍යාපන ක්‍රම ගැන පර්යේෂණ කිරීම හා ඒවා රටට හඳුන්වා දී කඩිනමින් ක්‍රියාත්මක කිරීම එරට අධ්‍යාපනය ඉදිරියට යෑමට බලපෑ සාධකය වේ. ෆින්ලන්ත අධ්‍යාපනයේ මුලික සංකල්පයක් වන ''අත්හදා බැලීම්වලට බිය විය යුතු නැත'' යන්න පසක් කරමින් මේ වසර වන විට එනම් වසර 2020 දී එරට පාසල් විෂය නිර්දේශවලින්, දැනට පවතින ගණිතය, භූගෝලය, විද්‍යාව වැනි විෂයන් තනි තනිව ඉගැන්වීම නතර කර ඒ වෙනුවට සිද්ධි පාදක කරගනිමින් ඊට අදාළව සියලු විෂයයන් ඉගැන්වීමේ අධ්‍යාපන ක්‍රමවේදයකට යොමුවී තිබේ.මේ පිළිබඳව බී බී බී සී සිංහල සේවයට අදහස් දැක්වූ විද්‍යා ලේඛක සහ මාධ්‍ය විශ්ලේෂක නාලක ගුණවර්ධන පැවසුවේ ඉන්දියාව, තායිලන්තය ඉන්දුනීසියාව වැනි දියුණු වන ආසියාතික රටවල විද්යුත් සහ ඩිජිටල් මාධ්‍ය හරහා දුරස්ථ අධ්‍යාපනය ලබා දෙන්නේ කෙසේද යන්න පිළිබඳව හදිසි පදනමකින් සොයා බැලිය යුතු බවය. එමෙන්ම මේ සම්බන්ධව දශක තුනකට වැඩි කාලයක් පුරා එකතු කර ගත් අත්දැකීම් සමුදායක් ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය සතුව පවතින බැවින් එහි ප්‍රයෝජනයට ගත යුතු බව ද ඔහු කියා සිටියේය..

ඡායාරූප මූලාශ්‍රය, නාලක ගුණවර්ධන
පාසල් පද්ධතියට ඩිජිටල් මාධ්‍යයෙන් විෂයන් එක් කිරීම අඩු වියදමක් සහිත හා පහසුවෙන් යාවත්කාලීන කළ හැකි ක්‍රමවේදයක් බවත් මුල් පිරිවැය පොත්වලට වඩා අධික වුවත් විද්‍යුත් ඉගෙනීමේ මෙවලම් හා අන්තර්ගතය ගුරුවරුන්ට මෙන්ම සිසුන්ටද බහුවිධ ප්‍රතිලාභ ගෙන දෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.''තාක්ෂණය නිසි ලෙස භාවිත කොට අධ්‍යාපනය බරක් නොව ප්‍රියජනක වුත්, විනෝදජනක වුත් ක්‍රියාවක් බවට පත්කළ හැකියි. වසංගතය හරහා මතු වූ මේ දැවැන්ත අභියෝගය ආශිර්වාදයක් කර ගෙන මෙය පනගන්වන්න පුළුවන්. අපේ පාසල් විෂයමාලා උගන්වන ක්‍රමවේද බොහොමයක් 20 වන සියවසේ යල්පැන ගිය ඒවායි. කෙළවරක් නැතුව තොරතුරු හිස් ගෙඩිවලට පුරවන සහ කටපාඩම් කොට විභාග සමත් කරවන විෂම අධ්‍යාපන ක්‍රමය අත්හැර දැමීමට මෙය අවස්ථාවක් කර ගමු." යැයි කී ඔහු මෙසේ ද සඳහන් කළේය.
"සිසුන් කේන්ද්‍ර කරගත්, කුසලතා වර්ධනය ඉලක්ක කර ගත් ඉගෙනුමක් පාසල්වලට හඳුන්වාදෙන්නට විවෘත මනසකින් සහ සූක්ෂම ලෙසින් තාක්ෂණය යොදා ගන්නට පුළුවනි. ඒ සඳහා ශිල්ප සයුර පදනම (http://shilpasayura.org), හොරයිසන් ලංකා පදනම (www.horizonlanka.org) වැනි ලාභ නොලබන ආයතන කලෙක සිට දියුණු කර ඇති දේශීය ක්‍රමවේදයන් උපකාර කරගත හැකියි'' යනුවෙන් නාලක ගුණවර්ධන පැවසීය.
රජයේ වගකීම
ඩිජිටල් අධ්‍යාපනය ළමුන් අතරට ගෙන යාම සඳහා ඊ තක්සලාව නමින් අන්තර්ජාල ඉගෙනුම් අන්තර්ගත පද්ධතියක් දැනටමත් ක්‍රියාත්මක කර ඇති බව බලධාරීහු පවසති. එය අන්තර්ජාලය ඔස්සේ නොමිලේ පරිශීලනය කළ හැකි අතර 1 ශ්‍රේණියේ සිට 13 දක්වා විෂයන්වලට හා පෙළ පොතට අදාළ සියලුම පාඩම් වල අන්තර්ගතය, ප්‍රශ්න පත්‍ර, රුපවාහිනී වැඩසටහන්, ඊ පුස්තකාල ආදී පහසුකම් පරිශීලනයට අවශ්‍ය පහසුකම් එහි සලසා දී ඇති බව බීබීසී සිංහල සේවය සමග ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්විද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් ජි.එම්. නීල් ගුණදාස පැවසීය.
විෂය අන්තර්ගතයට අමතරව ඊට ඇතුළත් කර ඇති ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය හරහා ඕනෑම ගුරුවරයෙකුට ළමුන් ඊ තක්සලාවට සම්බන්ධ කර ගනිමින් තෝරාගත් වෙලාවක තමන්ට අවශ්‍ය පාඩම ඉගැන්වීමට හැකියාව පවතින බවද ඔහු පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, ජි.එම්. නීල් ගුණදාස
''අපි හිතමු ඔබ හයේ පංතියට විද්‍යාව උගන්වන ගුරුවරයෙක් කියල. ඔබ උගන්වන්න අපේක්ෂා කරන පාඩම උස්වේදනය නම් ඔබට පුළුවන් ඔබේ පංතියේ සිටින ළමුන් 40 දෙනාට ඊ මේල් පණිවිඩයක් දීල මේ පාඩමට අදාළ කරුණු ඊ තක්සලවේම තියෙන තැන් දැනුවත් කරලා එය පරිශීලනය කරලා අහවල් වෙලාවට පාඩමට සුදානම් වෙලා ඔන් ලයින් එන්න කියන්න. ඊට පස්සේ වීඩියෝ තාක්ෂණය භාවිතා කර සිසුන්ට පාඩම සදහා සජීවීව සහභාගී වෙන්න පුළුවන් ගුරුවරයා සමග," ජි.එම්. නීල් ගුණදාස පැවසීය.
කෙසේ නමුත් සියලු සිසුන්ට පරිඝනක හා අන්තර්ජාල පහසුකම් නොමැති තත්ත්වයක් මත මේ ක්‍රමයේ දෝෂ මතුවන බව අතිරේක ලේකම්වරයා ද පිළිගනී. එයට විසදුම් සැලසීමට අවශ්‍ය බව කී ඔහු, විදුලි සන්දේශ නියාමන කොමිසමට සහ අන්තර්ජාල පහසුකම් සපයන සමාගම් වලට මේ වන විටත් එය දැනුම්දී ඇති බවත් ඉතා ඉක්මණින් පාසල් වලට අන්තර්ජාල පහසුකම් ලබා දීමට අවශ්‍ය ක්‍රමවේදයක් සකස් කරන බවත් ඔහු කියා සිටියේය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 2
"නමුත් දැන් අලුත් තත්ත්වය මත පාසල් වලට මේ පහසුකම දීම ප්‍රමාණවත් නැහැ. රජයට වගකීමක් තියෙනවා ගෙදරටම මේ පහසුකම දෙන්න,'' යනුවෙන් ද ඔහු පැවසීය.මේ පිළිබඳව දැන් සාකච්ඡා කරමින් තිබෙන බවත් රජයේ රූපවාහිනී මාධ්‍ය හරහා සඳුදා සිට තුන්වැනි වාරයේ පාඩම් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් කියා සිටි ඔහු, රුපවාහිනී පහසුකම් නොමැති දරුවන් සඳහා සියලු ප්‍රාදේශීය ගුවන් විදුලි සේවා සම්බන්ධ කරගනිමින් එම වැඩසටහන් විසුරුවාහැරීමට අපේක්ෂා කරන බව සඳහන් කළේය.
මෙම තොරතුර ද දැනගන්න:













