දශකයක් තුළ ඉහළ, පහළ යන ශ්‍රී ලංකාවේ "සෞභාග්‍යතා දර්ශකය"

ඡායාරූප මූලාශ්‍රය, Twitter/@prosperityindex
ගතවගිය දශකය ඇතුළත ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය හා සෞඛ්‍ය යන අංශයන්හි දක්නට ලැබෙන ප්‍රගතිය, රටේ සෞභාග්‍යය ප්‍රවර්ධනය වීමට ඉවහල් වී ඇති බව සෞභාග්‍යය සම්බන්ධයෙන් විමසා බලන බ්‍රිතාන්‍ය ආයතනයක් පවසයි.
ලෙගාටම් සෞභාග්‍යතා දර්ශකය (Legatum Prosperity Index) ප්‍රකාර ගතවගිය දශකය තුළ අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂෙත්‍රයන්හි ශ්‍රී ලංකාව දක්වා තිබෙන ප්‍රගතිය හේතුවෙන් රටවල් 167 ක් අතරින් ශ්‍රී ලංකාවට 84 වෙනි ස්ථානය හිමි වී තිබේ.
එය 2010 ට සාපේක්ෂව දර්ශකයේ ඒකක 14 කින් ඉහළ නැගීමකි.
එහෙත් 2016 දී ශ්‍රී ලංකාව දර්ශකයේ ඊට වඩා ඉහළ ස්ථානයක (74 වෙනි ස්ථානය) පසු වූ අතර 2017 දී එය 69 වෙනි ස්ථානය දක්වා ඉහළ ගොස් තිබිණ. ඒ අනුව 2017 ට සාපේක්ෂව ශ්‍රී ලංකාව මේ වසරේ සෞභාග්‍යතා දර්ශකයේ පෙන්නුම් කරන්නේ ඒකක 15 ක පසුබෑමකි.

ඡායාරූප මූලාශ්‍රය, Legatum Institute
ලෙගාටම් ආයතනයේ 14 වන සෞභාග්‍යතා දර්ශකය පසුගිය නොවැම්බර් මස 17 වන දින එලිදක්වන ලදි.
ආරක්ෂාව සහ සුරක්ෂිතතාව යන අංශ සලකා බැලීමේ දී රටවල් 167 කින් මේ වසරේ ශ්‍රී ලංකාවට හිමි වී තිබෙන්නේ 130 වෙනි ස්ථානය වේ.
මුදල් අමාත්‍ය, අගමැති මහින්ද රාජපක්ෂ විසින් පසුගිය සතියේ ඉදිරිපත් කරන ලද, ලබන වසර සඳහා වූ අය වැය යෝජනාවලට අනුව වෘත්තීය අධ්‍යාපනය, දුරස්ථ අධ්‍යාපනය සහ විශ්වවිද්‍යාල පහසුකම් සඳහා රුපියල් මිලියන 7000 ක් වෙන් කරනු ලැබ තිබේ. කෝවිඩ් වසංගතය ද හමුවේ සෞඛ්‍ය සේවය වෙනුවෙන් වෙන්කරන ලද මුදල රුපියල් මිලියන 10,000 කි.
ඒ අතරම ජාතික ආරක්ෂාව සහ මහජන ආරක්ෂාව වෙනුවෙන් රුපියල් මිලියන 22,500 කුත් මාර්ග ලක්ෂයේ වැඩපිළිවෙල වෙනුවෙන් රුපියල් මිලියන 20,000 කුත් වෙන් කර තිබීම ද විශේෂත්වයකි.

ඡායාරූප මූලාශ්‍රය, Gov.lk
'ලොව පුරා සෞභාග්‍යය වර්ධනය වෙලා'
කෝවිඩ් වසංගතය ලෝකය වෙලා ගැනීමට ප්‍රථම, ජීවන තත්වය ඉහළ යාම සහ විවෘත ආර්ථික ක්‍රම හේතුවෙන් සමස්තයක් වශයෙන් ලොව සෞභාග්‍යය වර්ධනය වූ බව ද මේ වසරේ දර්ශකය ඉදිරිපත් කරමින් ලෙගාටම් ආයතනය පවසයි.
ඩෙන්මාර්කය මෙම දර්ශකයේ පළමු වන ස්ථානය හිමිකරගෙන සිටින අතර, දකුණු සුඩානය සිටින්නේ එහි පහළම ස්ථානයේය. පිලිපීනය දර්ශකයේ 83 වන ස්ථානයේ ශ්‍රී ලංකාවට ඉහළින් සිටින අතර, 85 වන ස්ථානය හිමිකරගෙන මොන්ගෝලියාව ශ්‍රී ලංකාවට පහළින් සිටියි. දකුණු ආසියාවේ අන් සියලුම රටවල් මෙම දර්ශකයේ ශ්‍රී ලංකාවට පහළින් සිටීමත් විශේෂත්වයකි.
දර්ශකය ප්‍රකාශයට පත් කළ අවස්ථාවේ සභාව අමතමින් ලෙගාටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිනී බැරනස් ස්ට්‍රවුඩ් ප්‍රකාශ කළේ, පසුගිය දශකයක කාලය තුළ රටවල් 147ක ගෝලීය සෞභාග්‍යතාව උපරිම තලයක් දක්වා වර්ධනයක් පෙන්වන බවය.
දශක හතකට වැඩි කලක් ශ්‍රී ලංකාව නොකඩවා පවත්වාගෙන ගිය නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය පිළිබඳ ප්‍රතිපත්ති මෙම සෞභාග්‍යයේ වර්ධනයට පදනම වූ බව, එම අවස්ථාවට එක්වෙමින් එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් සරෝජා සිරිසේන කියා සිටියාය.
ගෝලීය දර්ශකයක් වන ලෙගාටම් සෞභාග්‍යතා දර්ශකය, 300කට අධික ජාතික මට්ටමේ දර්ශකයන් භාවිත කරමින් ප්‍රතිපත්ති මූලික ව්‍යුහයන් 65ක් යටතේ ජාතීන් 167කගේ කාර්ය සාධන ප්‍රතිපත්ති විග්‍රහ කරන අතර ආයතනික, ආර්ථික හා සමාජ සුරක්ෂිතභාවය පදනම් කරගත් ජාතික සෞභාග්‍යය විශ්ලේෂනාත්මකව මැන බැලෙන එකම ගෝලීය දර්ශකය ද එය වේ.
කියවන්න:









