කොරෝනා වෛරසය සහ ඔස්ට්‍රේලියාව: ශ්‍රී ලාංකිකයන් බහුල මෙල්බනය කොරෝනා වෛරසයේ දෙවෙනි රැල්ල මැඩපැවැත්වූ හැටි

MELBOURNE, AUSTRALIA - OCTOBER 03: A woman lays on the grass at St Kilda beach on October 03, 2020 in Melbourne, Australia. Coronavirus restrictions eased slightly across Melbourne from Monday 28 September as Victoria enters into its second step in the government's roadmap to reopening.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, සුනෙත් පෙරේරා
    • Role, BBC සිංහල

ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරය කොරෝනා වෛරස් දෙවෙනි රැල්ල මැඩපැවැත්වීම අතින් සාර්ථක කතාවකි. එහෙත් එය පහසු නොවුණු දුෂ්කර ගමනක ප්‍රතිඵලයක් බව සිහි තබා ගැනීම වැදගත්ය.

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන නගරය වන මෙල්බනය කොරෝනා වෛරස් දෙවෙනි රැල්ලේ කේන්ද්‍රස්ථානය විය. කෝවිඩ්-19 හේතුවෙන් මේ දක්වා ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 907 කි. ඒ අතරින් 819 දෙනෙකුම වික්ටෝරියා ප්‍රාන්ත වාසීන්ය.

ඔස්ට්‍රේලියාවේ සංස්කෘතික අගනගරය වන මෙල්බනය දෙවෙනි රැල්ලට මුහුණ දෙනු ලැබුවේ පසුගිය ජුලි මස ආරම්භයේදීය.

ඒ සමග මහ නගර සීමාවට අයත් ප්‍රදේශ සිව් මසකට ආසන්න කාලයක් ලොක්ඩවුන් කරනු ලැබීය. මිලියන පහක් වන මෙල්බන් වාසීන්ට බැහැර නොගොස් සිය නිවෙස් තුළම රැඳී සිටීමට සිදු විය. දැඩි සංචරණ සීමා පැනවුණු අතර වෙළෙඳසල් සහ අවන්හල් වසා දැමිණි.

එමෙන්ම රාත්‍රී කාලය පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක විය.

දින 112 කට පසු ලොක්ඩවුන් සීමා ලිහිල් කරනු ලැබුවේ පසුගිය ඔක්තෝම්බර් මස අගදීය.

මෙල්බන් ඇතුළු වික්ටෝරියා කලාපයෙන් වාර්තා වන කෝවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට සීග්‍රයෙන් පහළ ගොස් තිබේ.

පසුගිය ඔක්තෝම්බර් 25 වෙනිදා සිට මේ දක්වා වික්ටෝරියා ප්‍රාන්තයෙන් එකඳු රෝගියෙකු හෝ වාර්තා නොවුණු දින ගණනාවකි.

කොරෝනා දමනය කිරීමේ උපායමාර්ගය

මෙල්බනය කොරෝනා වෛරස් දෙවෙනි රැල්ල මැඩපැවැත්වූ හැටි

වෙනත් රටවල් සමග ගොඩබිමෙන් වෙන්ව පවතින ඔස්ට්‍රේලියාව මුහුදෙන් වට වූ යෝධ දිවයිනකි.

මිලියන 25 ක ජනගහනයක් සහිත එරටින් මේ දක්වා වාර්තා වී ඇත්තේ 28,000 කට ආසන්න රෝගීන් සංඛ්‍යාවකි. කොරෝනා වෛරසයෙන් පීඩාවට ලක්ව සිටින ලොව සෙසු රටවල් හා සැසඳීමේදී එය ඉතා අඩු අගයකි.

වසංගතය මර්දනය කිරීමේ උපායමාර්ගයක් වශයෙන් ඔස්ට්‍රේලියාව ලොක්ඩවුන් සීමා කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරන අතරේ එය පැතිර යාම වළකා ගැනීම සඳහා දෛනික පරීක්ෂණ ඉහළ නංවමින් රෝගීන් හඳුනා ගැනීමට යුහුසුළු විය.

2px presentational grey line

ජුලි ආරම්භයේ, ලොක්ඩවුන් සීමා බලාත්මක කිරීමෙන් මසකට පමණ පසු කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ උපරිමයක් (Peak) දක්නට ලැබුණු අතර එය ක්‍රමයෙන් පහළ යනු ලැබුවේ ඉන් පසුවය.

මෙල්බන් මහ නගර සීමාවෙන් පිටත වෛරසය පැතිර යාමත් සමග වික්ටෝරියා ප්‍රාන්තයේ සෙසු ප්‍රදේශවල ද නිවෙස් තුළ රැඳී සිටීම අනිවාර්ය කෙරිණි.

මෙල්බනයේ ශ්‍රී ලාංකිකයෝ

Locdown restrictions

ශ්‍රී ලාංකික ප්‍රජාව සම්බන්ධයෙන් වික්ටෝරියා ප්‍රාන්ත ආණ්ඩුව නිකුත් කර ඇති 2016 සංගණන වාර්තාව අනුව එහි වෙසෙන මුළු ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 109,849 කි.

එම වාර්තාව අනුව ඔස්ට්‍රේලියාව තුළ වැඩි වශයෙන්ම ශ්‍රී ලාංකිකයන් ජීවත්වෙන ප්‍රාන්තය මෙල්බනය අයත් වික්ටෝරියා ප්‍රාන්තයයි.

මෙල්බන් මහ නගර සීමාව තුළ ශ්‍රී ලාංකිකයන් 54,030 ක් ජීවත් වන අතර වික්ටෝරියා ප්‍රාන්තයේ සෙසු කාලපයන්හි ජීවත් වන ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 1,800 කි.

2px presentational grey line
2px presentational grey line

ලොක්ඩවුන් සීමාව තුළ සිය අත්දැකීම් සහ එය දෛනික ජීවිතයට බලපෑ ආකාරය ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙක් බීබීසී සිංහල සේවය වෙත විස්තර කළහ.

"මෙල්බන්වල මිනිස්සු වැඩි දෙනෙක් ඊට සහාය දැක්වූවා. සීමා වලට ගරු කළා. ඒ වගේම සහාය නොදීපු පිරිසකුත් හිටියා. ඊට විරුද්ධව සුළු වශයෙන් උද්ඝෝෂණ පවා පැවැත්වුණා," යනුවෙන් මෙල්බන් නුවර වෙසෙන නිලූ පතිරණ පැවසුවාය.

නමුත් ලොක්ඩවුන් සීමා කඩ කරන පුද්ගලයන්ට එරෙහිව ඉහළ දඩ මුදලක් නියම කිරීම ඇතුළු දැඩි පියවර ගැනීමට ප්‍රාන්ත බලධාරීන් කටයුතු කළ බව ඇය සඳහන් කළාය.

ලොක්ඩවුන් සීමා පිළිපැදීම සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක එළඹ කටයුතු කිරීම නිසා ඇතැමුන් වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් "ආඥාදායකයෙකු" ලෙස හැඳින්වූ බවත් නිලූ පතිරණ වැඩිදුරටත් කියා සිටියාය.

ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයන්හි වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව . 2016 සංගණනය අනුව . .

ගෙවල් කුලී සහ රැකියා

මෙල්බන් නුවර වෙසෙන ඉසුරංග වීරසිංහ කියා සිටියේ ලොක්ඩවුන් සීමා ක්‍රියාත්මක වූ කාලය තුළ එහි වෙසෙන සිසුන් බොහෝ දෙනෙකුගේ සහ අනියම් සේවකයන්ගේ රැකියා අහිමි වූ බවය.

එමෙන්ම සමාජ සබඳතා සීමා වීම නිසා ඇතැමුන්ට විෂාදය ඇතුළු මානසික ගැටලු මතු වූ බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

කෙසෙ නමුත් ආදයම් අහිමි කුලී නිවෙස් පදිංචිකරුවන්ට මාසික කුලිය ප්‍රමාද වී ගෙවීමට ඉඩ ලබා දුන් බව ඔහු සඳහන් කළේය.

ලොක්ඩවුන් කාල සීමාව තුළ සාමාන්‍ය දිනයන්ට වඩා මත්පැන් අලෙවිය ඉහළ යාමේ නැඹුරුවක් දක්නට තිබුණු බව මෙල්බනයේ මත්පැන් අලෙවි ජාලා වෙළෙඳසලක කළමණාකරුවෙකු වන සුචරිත ගුණවර්ධන පැවසීය.

නිවසට වී අසීමාන්තිකව මත්පැන් පානය කිරීම නිසා තමන් දැන හඳුනන කිහිප දෙනෙකුම අසනීප වූ බවත් ඔහු සඳහන් කළේය.

ලොක්ඩවුන් සීමාව තුළ ගෘහස්ථ හිංසනයට ගොදුරු වෙන පුද්ගලයන්ගේ සුබ සාධනය වෙනුවෙන් පෙනී සිටින ආයතන තවදුරටත් ශක්තිමත් කිරීමට බලධාරීන් කටයුතු කළ බවත් ඔහු කියා සිටියේය.

මේ අතර ලොක්ඩවුන් සීමාවලට අවනත වීමේ වැදගත්කම සහ පුරවැසි වගකීම අවබෝධ කර ගනිමින් තරමක් දුෂ්කර වුවත් ඊට අනුගත වූ බව මෙල්බන් නුවර වෙසෙන තවත් ශ්‍රී ලාංකිකයෙකු වන නිලූකා පෙරේරා පැවසීය.

"රැකියා ස්ථානවලින් අපට ගොඩක් සහන ලැබුණා. මම උදේ කාලය දරුවන් වෙනුවෙන් ගත කරනවා, හවස සහ රාත්‍රියට තමයි මම රැකියාවේ කටයුතු කළේ. මේ වසංගතයෙන් ගොඩ එන්න උවමනා නිසා අපි කොහොම හරි ඒ දේවල් කළමනාකරණය කර ගත්තා,"

ඔස්ට්‍රේලියාවේ ඇතැම් කණ්ඩායම් ලොක්ඩවුන් සීමා පැනවීම සම්බන්ධයෙන් විරෝධය පළ කළහ
ඡායාරූප ශීර්ෂ වැකිය, ඔස්ට්‍රේලියාවේ ඇතැම් කණ්ඩායම් ලොක්ඩවුන් සීමා පැනවීම සම්බන්ධයෙන් විරෝධය පළ කළහ

දැඩි සීමා ක්‍රියාත්මක වන අතරේ ඊට සමගාමීව ආදායම් සහ රැකියා අහිමි ජනතාවගේ සුබ සාධනය වෙනුවෙන් නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වූ බව නිලූකා පෙරේරා වැඩිදුරටත් සඳහන් කළාය.

"විශේෂයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර රැකගන්න ආණ්ඩුව විශාල මුදලක් වැය කළා. පළමු පියවර වශයෙන් යම් පුද්ගලයෙකු රැකියාවෙන් ඉවත් කිරීම වළකා, ඔහු හෝ ඇය ඒ රැකියාවේ රඳවා ගැනීමට ආණ්ඩුවෙන් ව්‍යාපාරික ස්ථාන වෙත මුදල් ලබා දුන්නා."

"ඒ වගේම කෙනෙක්ව රැකියාවෙන් ඉවත් කළා කියල හිතමු. එවැනි පුද්ගලයන්ට ආණ්ඩුවෙන් ගෙවීමක් කළා. ඊට අමතරව පුරවැසිභාවය හෝ ස්ථීර පදිංචිය හිමි (PR) අඩු ආදායම් ලාභී පවුල්වලටත් ගෙවීමක් කරනවා. මේ සියලු දේ කළේ මිනිස්සු නිවසින් බැහැර යෑම සීමා කරන්න."

ලොක්ඩවුන් සීමා 'පවුල් සබඳතාවලට ආශිර්වාදයක්'

A tram crosses a deserted street in central Melbourne during lockdown

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "මගේ පවුල ගත්තොත් හැමදාම අපි පස් දෙනෙක් විසිරිලා හිටියේ. නමුත් මේ ලොක්ඩවුන් සීමාව තුළ අපේ අන්‍යොන්‍ය සහයෝගය, සම්බන්ධතාව ඉතාමත් දැඩි වුණා."

මේ අතර සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් බලධාරීන් ලබා දෙන උපදෙස් අඩංගු පුවත්වලට ඇහුම්කන් දීම කොරෝනා වෛරස් පළමු රැල්ලේදීම ජනයා පුරුද්දක් කර ගත් බව මෙල්බන් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු වන ආචාර්ය තරංගා ගුණසේකර පැවසීය.

"වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධානී ඩැනියල් ඇන්ඩෲ සිදු වෙමින් පවතින දේ ගැන සෑම දිනකම මාධ්‍ය හරහා මිනිස්සුන්ව දැනුවත් කළා."

මෙල්බනයේ 'La Trobe' විශ්වවිද්‍යාලයේ ආචාර්යවරියක වන ඇය වැඩිදුරටත් කියා සිටියේ කොරෝනා වෛරස් පළමු රැල්ල පැවති අවස්ථාවේදීම, අනාගතයේ ඇති විය හැකි අවදානම් සහගත තත්ත්වයන් සලකා බලා සරසවි සිසුන්ට අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපනය ලබා දිය හැකි පරිදි පාඩම් මාලා සකස් කිරීමට තමන් ඇතුළු සරසවි ඇදුරන්ට උපදෙස් ලැබුණු බවය.

අනෙක් අතින් ලොක්ඩවුන් කාල සීමාව තම සැමියා සහ දරුවන් තිදෙනාට පවුලක් වශයෙන් සමීපව කාලය ගත කිරීමට අවස්ථාව ලබා දුන් බව ද ආචාර්ය තරංගා ගුණසේකර සඳහන් කළාය.

"මගේ පවුල ගත්තොත් හැමදාම අපි පස් දෙනෙක් විසිරිලා හිටියේ. නමුත් මේ ලොක්ඩවුන් සීමාව තුළ අපේ අන්‍යොන්‍ය සහයෝගය, සම්බන්ධතාවය ඉතාමත් දැඩි වුණා."

බලධාරීන්ට චෝදනා

Locked-down streets of Melbourne in September

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, ලොක්ඩවුන් සීමා අතරතුර ජන ශුන්‍ය වූ මෙල්බන් නගරය

ලොක්ඩවුන් සීමා ලිහිල් කිරීමත් සමග ඔස්ට්‍රේලියාව, වසංගතය පාලනය අතින් සාර්ථකත්වයක් ළඟා කර ගත් නවසීලන්තය, සිංගප්පූරුව, වියට්නාමය, දකුණු කොරියාව සහ හොංකොං වැනි ප්‍රමුඛ රටවල් අතරට එක්වන බව සෞඛ්‍ය විශේෂඥයෝ පවසති.

නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයේ ජෛව ආරක්ෂාව පිළිබඳ මහාචාර්ය රේයිනා මැකින්ටයර් බීබීසී පුවත් සේවයේ ෆිල් මර්සර් වෙත අදහස් දක්වමින් පවසා තිබුණේ ඇමරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය කොරෝනා වෛරස් දෙවෙනි රැල්ලට දක්වන ලද ප්‍රතිචාරය හා සැසඳීමේ දී ඔස්ට්‍රේලියාව "ආලෝක වර්ෂ ගණනාවකින් ඉදිරියෙන්" සිටි බවය.

වසංගත පිළිබඳ සිතීමේ දී මානව සහ භෞතික සම්පත්වලින් සන්නද්ධ ඉහළ ආදායම් ලබන රටවල්වලට හානි ගෙන නොදෙන බවට අදහසක් පැවතියත් එවැන්නක් නිශ්චිතවම සිදුව ඇතැයි ඇය වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

මෙල්බනයේ ක්‍රියාත්මක වූ දැඩි ලොක්ඩවුන් සීමා රැකියාවලට අහිතකර ලෙස බලපෑව ද ජන ජීවිතයට පීඩා ගෙන දුන්න ද එය සාර්ථක වූ බව සෞඛ්‍ය බලධාරීහු විශ්වාස කරති.

කෙසේ නමුත් කොරෝනා වෛරසය පාලනය කිරීම සම්බන්ධයෙන් බරපතල අත්වැරදීම් සිදුව ඇති බවට ද ඔස්ට්‍රේලියානු බලධාරීන්ට චෝදනා එල්ල වේ.

පුරවැසියන්ට සහ ස්ථීර පදිංචිය හිමි පුදගලයන්ට යළි ඔස්ට්‍රේලියාව බලා පැමිණීමේ දී ඔවුන් දින 14 ක් අනිවාර්යයෙන් නිරෝධායනය විය යුතුය.

නමුත් මෙල්බන් නගරයේ පිහිටි හෝටල් තුළ ආරක්ෂක ක්‍රමවේද උල්ලංඝනය වීම් නිසා ඒවායේ රැඳී සිටි මගීන්ගෙන් හෝටල් කාර්ය මණ්ඩලයට වෛරසය ආසාදනය වී ඔවුන් හරහා සමාජගත වීම දෙවෙනි රැල්ලට හේතු වුණු බවට චෝදනා එල්ල විය.

එකී පැහැර හැරීම් සම්බන්ධයෙන් මේ වන විට අධිකරණ පරීක්ෂණයක් සිදු වෙමින් පවතී.

මේ ගැනත් කියවන්න: