ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ ගේ ශ්‍රී ලංකා සංචාරයේ අරමුණ MCC ගිවිසුම අත්සන් කිරීමට බලකිරීමද?

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ

ඡායාරූප මූලාශ්‍රය, Twitter/mike pompeo

    • Author, රංග සිරිලාල්
    • Role, බීබීසී සිංහල

ඉහළ පෙළේ චීන දූත පිරිසකගේ ශ්‍රී ලංකා සංචාරයෙන් සති කිහිපයක් ඇතුළත එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ ශ්‍රී ලංකා සංචාරයක නිරතවීම ප්‍රබල අවධානයට ලක්වෙමින් පවතී.

එමෙන්ම ඇමරිකානු ජනාධිපතිවරණයට දින ගණනක් ඉතිරිව තිබියදී ඔහු මෙසේ ආසියාවේ හදිසි සංචාරයක නිරතවීම ද සංවාදයට තුඩු දී ඇති කරුණකි.

මයික් පොම්පෙඕ ගේ සංචාරයට විරෝධය දක්වමින් ජනතා විමුක්ති පෙරමුණ අඟහරුවාදා (ඔක් 27) කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරත විය.

"ශ්‍රී ලංකාවට විදේශ බලපෑම් එපා", "විනාශකාරී MCC, SOFA, ACSA ගිවිසුම් හකුලා ගනිව්" "ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට අත නොතබනු" සහ "ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයට අත නොතබනු" යනාදී විරෝධතා පුවරු විරෝධතාකරුවන් අත තිබෙනු දක්නට ලැබිණ.

ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයින් ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ගොෂනයේ

ඡායාරූප මූලාශ්‍රය, JVP/facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයින් ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ගොෂනයේ

එම විරෝධතාවයට පසුව ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජනපද තානාපති කාර්යාලය වෙත භාරදුන් ලිපියේ "ශ්‍රී ලංකාවේ නිදහසට හා ස්වෛරීත්වයට බලපෑම් කිරීමට එක්සත් ජනපද ආණ්ඩුව විසින් ගන්නා උත්සාහයන්ට" දැඩි විරෝධය පළ කර එය හෙළාදැක ඇත.

ජනතා විමුක්ති පෙරමුණ තවදුරටත් පවසන්නේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ ශ්‍රී ලංකා සංචාරය, "ශක්තිමත්, නිදහස් හා ප්‍රජාතාන්ත්‍රික ශ්‍රී ලංකාවක් වෙනුවෙන් කැපවීමක්" යැයි තමන් විශ්වාස නොකරන බවයි.

ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයින් ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ගොෂනයේ
ඡායාරූප ශීර්ෂ වැකිය, ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයින් ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ගොෂනයේ

"ඇමෙරිකා එක්සත් ජනපදය තමන්ගේ වුවමනාකම් ආරක්ෂා කිරීමේදී සියලු ප්‍රජාතන්ත්‍රවාදී හා ජාත්‍යන්තර මූලධර්ම උල්ලංඝනය කිරීමට සූදානම් බව අපි හොඳින්ම දනිමු. ඇමෙරිකා එක්සත් ජනපදය විසින් මැතිවරණවලට මැදිහත්වීම, ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත් නායකයින් බලයෙන් පහකිරීම, හමුදා ආඥාදායකයින්ට හා ත්‍රස්ත සංවිධානයන්ට හමුදා හා ආර්ථික ආධාර සම්පාදනය කිරීම මගින් නිදහස් රටවලට අයුතු බලපෑම් කිරීමේ නිදසුන් ගණනාවකින් ලෝක ඉතිහාසය ජරාජීර්ණ වී තිබේ," යනුවෙන් එම ලිපියේ සඳහන් වේ.

එම ලිපියේ තවදුරටත් සදහන් වන්නේ එක්සත් ජනපද ආණ්ඩුව විසින් 'ආර්ථික ස්වාධීනතාව ආරක්ෂා කරගැනීම සඳහා වන අවශ්‍ය එහෙත් දුෂ්කර තීරණ ගන්නා' ලෙසට ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටිමින් නිකුත් කරන ලද නිවේදනය හුදු කුහකකමක් (එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආර්ථික ස්වාධීනත්වය අනතුරේ හෙළීමට සියලු උත්සාහයන් ගන්නා අතරතුරම!) පමණක් නොව නිදහස් හා ස්වෛරී ජාතික රාජ්‍යයකට කරනු ලබන තර්ජනයක් හා දැඩි නිග්‍රහයක්ද වේ," යනුවෙනි.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ උද්ඝෝෂණය සම්බන්ධයෙන් ට්විටර් ජාලය ඔස්සේ අදහස් දක්වන හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසන්නේ, ඉහළ පෙළේ චීන නියෝජිතයන් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේත් ජනතා විමුක්ති පෙරමුණ මේ ආකාරයට චීන තානාපති කාර්යාලය ඉදිරිපසත් උද්ඝෝෂණය කළේ නම් ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍යය සම්බන්ධයෙන් ඔවුන් අවංකවම උනන්දුවක් දක්වන්නේ යයි විශ්වාස කළ හැකිව තිබූ බවය.

MCC ගිවිසුම මගින් ශ්‍රී ලංකාවට බොහෝ වාසි ලැබෙන්නේය යන්න මංගල සමරවීර හිටපු අමාත්‍යවරයා යහපාලන ආණ්ඩුව සමයේ දී මෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති පදවියට පත් වූ පසුව ද අවධාරණය කරමින් සිටියි.

පොම්පෙඕ ගේ සංචාරය ගැන අවන්ත ආටිගල ගේ කාටුනයක්

ඡායාරූප මූලාශ්‍රය, facebook/awantha artigala

ඡායාරූප ශීර්ෂ වැකිය, පොම්පෙඕ ගේ සංචාරය ගැන අවන්ත ආටිගල ගේ කාටුනයක්

ගෝලීය කොරෝනා වසංගතයෙන් අනතුරුව චීන දූත පිරිසක් දකුණු ආසියානු කලාපයේ සංචාරයක නිරත වන ප්‍රථම අවස්ථාව සටහන් කරමින් ඔක්තෝබර් පළමුවන සතියේදී චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල සාමාජික සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විදේශ කටයුතු කොමිසමේ කාර්යාල අධ්‍යක්ෂ යං ජියෙෂි නායකත්වයෙන් යුත් දූත පිරිසක් රටවල් 4ක් ඇතුළත් සිය ආසියානු චාරිකාවේ ප්‍රථම රට හැටියට ශ්‍රී ලංකාව තෝරාගෙන තිබුණි. ඔවුහු ඔක්තෝබර් නව වනදා ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදුනහ.

ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රයත්නය සාර්ථක කර ගැනීමට අඛණ්ඩව උදව් කරන බවට ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ප්‍රතිඥා දී තිබේ. චීන-ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා දැනටමත් බෙහෙවින් සතුටුදායක මට්ටමක පවතින බවත් එම මිත්‍රත්වය පවත්වා ගැනීමත්, වර්ධනය කර ගැනීමත් චීන ජනාධිපති ෂී ජිං පින් මැතිතුමාගේ ප්‍රමුඛතාවයක් බවත් චීනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇතුළු අන්තර්ජාතික වේදිකාවලදී ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් නොසැලී පෙනී සිටින බවත් චීන දූත පිරිසේ ප්‍රධානියා සඳහන් කළේ යයි ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්විණ.

'විදෙස් රටවල සුවිශේෂී මැදිහත් වීමක්'

"විදෙස් රටවල් වල සුවිශේෂී මැදිහත් වීමක් අපි දකිනවා ශ්‍රී ලංකාවට පසුගිය මාස කිහිපය තුලදී. මේ කෝවිඩ් තත්වය යටතේ දී ... ජනතාවට මුකවාඩම් දාගන්න කියල ජනතාවගේ ක්‍රියාකාරකම් අවහිර කරලා මේ ඉතාම හදිසි තත්වයක් යටතේදී ඇමරිකානු රාජ්‍ය ලේකම් වරයාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව මතුවන ගැටළු රාශියක් තිබෙනවා," යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක මාධ්‍ය හමුවේ පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණ සමාජ මාධ්‍ය තුළ තැබූ සටහනක්

ඡායාරූප මූලාශ්‍රය, facebook/anurakumaradissanayaka

"මෙතරම් බරපතල තත්වයක් ඇමරිකාව තුළත්, ලංකාව තුළත් ලෝකය තුළත් පවතිද්දීත් මෙවැනි ප්‍රධාන පෙළේ රාජ්‍යතාන්ත්‍රික සංචාරයක් ඇමරිකාව විසින් කරන්නේ ඇයි කියල, ඔවුන්ගේ අවශ්‍යතාවය කුමක්ද කියන එක ශ්‍රී ලංකාව පැත්තෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව පැහැදිලි කළ යුතුයි," යනුවෙන් ඔහු පැවසීය.

"ඇමරිකන් ජනාධිපතිවරණය යෙදී තිබෙන්නේ නොවැම්බර තුන් වනදා දැන් මයික් පොම්පියෝ ලංකාවට එන්නේ ඔක්තොම්බර 28 වන දා ජනාධිපතිවරණයට දින පහක් තිබියදී ඇමරිකාවේ තර්ඩ් ඉන් කමාන්ඩ් නැත්තම් එහි රාජ්‍ය ලේකම් වරයා ඇත්තටම ඇමරිකානු අධිරාජ්‍යයේ යුද දේශපාලන පණිවුඩ ලෝකය වටේ ගෙනියන පණිවුඩ කාරයා ලංකාවට මේ ඇමරිකන් ඡන්දයට දවස් පහකට කලින් එන්නේ ඇයි?," බිමල් රත්නායක තවදුරටත් ප්‍රශ්න කළේය.

බිමල් රත්නායක

ඔහු තවදුරටත් පැවසුවේ පොම්පෙයෝ ගේ පැමිණීමට පෙර ලංකාවට විශේෂ ගුවන් යානයකින් පැමිණි ඇමරිකානු නිලධාරීන් හා ආරක්ෂක නිලධාරීන් කිසිදු නිරෝධායනයකින් තොරව සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය නොකිරීමත් විශේෂ සැලකිල්ලක් බවය.

Presentational grey line

කියවන්න:

Presentational grey line

මෙම පසුබිම තුළ චීනයේ ආධිපත්‍යය ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික කුඩා රජයන් තුළ විහිදුවීම පිළිබඳව කලාපයේ බලවතා වන ඉන්දියාව පමණක් නොව ලෝක බලවතුන් වන ඇමරිකාව, ජපානය වැනි රටවල් ද නොසන්සුන් වී ඇති බව විශ්ලේෂකයෝ පවසති.

"ඉන්දියාව, ශ්‍රී ලංකාව, මාලදිවයින් හා ඉන්දුනීසියාව කරා යන සංචාරය සඳහා පිටත් වූයෙමි. ස්වාධීන, ශක්තිමත් සහ සමෘද්ධිමත් රටවල්වලින් සමන්විත නිදහස් හා විවෘත ඉන්දු ශාන්තිකර කලාපයක් සඳහා අපගේ පොදු දැක්ම ප්‍රවර්ධනයට අපගේ හවුල්කරුවන් සමගින් සම්බන්ධවන්නට ලැබෙන අවස්ථාව පිළිබඳව ස්තුතිවන්ත වෙමි," යනුවෙන් මයික් පොම්පෙයෝ තම ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් පවසා තිබේ.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ පසුගිය වසරේ ජුනි මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිතව තිබූ නමුත් පසුව එය අවලංගු කෙරිණ.

විමල් වීරවංශ ගෙන් වාග් ප්‍රහාරයක්

ඒ අවස්ථාවේ මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්‍රීවරයා එම සංචාරය දැඩි විවේචනයට ලක් කළේය.

විමල් වීරවංශ අමාත්‍යවරයා

ඡායාරූප මූලාශ්‍රය, Pmd news

"ඇමරිකාවේ රාජ්‍ය ලේකම් මේ අල්ල පනල්ලේ එනවා. උන්නැහේ ආසියාවේ රටවල් හතරක් තෝරගන්නකොට ඒ හතර අතරට ශ්‍රී ලංකාව එකක් වෙන්නේ කොහොමද? ඉන්දියාවට එනව කියන එක තේරුම් ගන්න පුළුවන්නේ. ඉන්දියාව ආසියානු කලාපයේ බලවතා නිසා. අනිත් රටවල් වලට යන එකත් අපිට තේරුම්ගන්න පුළුවන්. ආසියාවේ සංචාරයේදී රටවල් හතරෙන් එකක් හැටියට ලංකාව පත්වෙන්නේ කොහොමද? ලංකාව පත්වෙන්න හේතුව මොකද්ද? සෝපා (SOPA) ගිවිසුම අත්සන් කරගෙන, ඇක්සා (ACSA) ගිවිසුම අත්සන් කරගෙන, මේ රටේ ගුවන්තොටුපල වරාය ඕනෑම වෙලාවක ඇමරිකානු හමුදා උවමනාවන් වෙනුවෙන් භාවිතා කරන්න නෛතික වාතාවරණය හදාගෙන ඒ එන හමුදා භටයන් ඒ එන ආරක්ෂක අංශ වල අයව ලංකාවේ නීතියට අවනත නැත," යනුවෙන් විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඒ අවස්ථාවේ අදහස් දැක්වීය.

ඉන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ රජයේ සංවර්ධන සැපයුම් කළමනාකරණ අමාත්‍යවරයා වශයෙන් පත්වීමෙන් අනතුරුව පසුගිය වසරේ නොවැ: 25 වෙනි දින විමල් වීරවංශ අමාත්‍යවරයා මිලේනියම් චැලේන්ජ් ගිවිසුම වත්මන් රජය යටතේ අත්සන් නොකරන බව අවධාරණය කළේය.

"මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අපේ ආණ්ඩුවක් යටතේ කිසිසේත්ම අත්සන් කරන්න බලාපොරොත්තුවක් නෑ. අපි ඒ ප්‍රශ්නය ජය අරන් තියෙන්නේ."

Presentational grey line

තවත් ලිපි:

Presentational grey line

චම්පික රණවක

ඇමරිකානු රාජ්‍ය ලේකම් වරයාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව අදහස් දක්වමින් හිටපු අමාත්‍ය චම්පික රණවක, එම සංචාරයේ අරමුණ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් එම්සීසී ගිවිසුම අත්සන් කිරීමට අවශ්‍ය රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාමාර්ගයන් සම්පූර්ණ කිරීම බව අවධාරණය කර තිබුණි,

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක
ඡායාරූප ශීර්ෂ වැකිය, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක

"ඉන්දියාවට රාජ්‍ය ලේකම් හා ආරක්ෂක ලේකම් යන දෙන්නම පැමිණිලා තියෙනවා අපි දන්නේ නැහැ ආරක්ෂක ලේකම් ලංකාවට එයිද කියල. මයික් පොම්පියෝ දැනටම ප්‍රකාශ කරලා තියෙනවා ඔහු මෙහි පැමිණෙන්නේ චීනයේ බලපෑම අක්‍රිය කිරීමට කියල, මේ කලාපයේ. ඉතින් අපි දන්නා විදිහටත් මගේ අනාවැකියක් හැටියටත් කියන්නේ මේ එන්නේ එම්සීසී ගිවිසුම එම නමින් හෝ වෙනත් නමකින් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වටපිටාව සහ බලපෑම් කරන්නත්. ඒවගේම ගෝඨාභය රාජපක්ෂ මහත්තය ඔහු ආරක්ෂක ලේකම් වෙලා ඉන්න කාලේ අත්සන් කළ ඇක්සා ගිවිසුමේ දිගුවක් හැටියට සෝපා ගිවිසුම මේකට ඈඳල අත්සන් කිරීමට අවශ්‍ය රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාදාමය අනුගමනය කිරීමට තමයි පොම්පියෝ මහතා මෙහි පැමිණෙන්නේ. ණය දෙනව නම් දෙන්නේ එම්සීසී, සෝපා ගිවිසුම් අත්සන් කරන බවටත් පොරොන්දු වුනොත් පමණක් බව මම බොහොම වගකීමෙන් කියනවා," යනුවෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පැවසීය.

ආණ්ඩුවේ ප්‍රතිචාරය

රජය පවසන්නේ ඇමරිකානු රාජ්‍ය ලේකම් වරයාගේ සංචාරය තවත් එක් රාජ්‍යතාන්ත්‍රික සංචාරයක් පමණක් බවත් එහිදී කිසිදු ගිවිසුමක් අත්සන් නොකරන බවත්ය.

"නෑ එහෙම කිසිම දෙයක් නැහැ මේක සාමාන්‍ය දෙයක් ඒ කියන්නේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් විවිධ රටවල නායකයින් විදේශ ඇමතිවරුන් අපේ රටට පැමිණෙනවා. දැන් දින කිහිපයකට පෙර අපේ රටට පැමිනියා චීනයේ ඉතාමත් ඉහළ පෙළේ නායකයෙක් යං ජීයේජී මැතිතුමා. ඊට දවස් කිහිපයකට ඉස්සෙල්ලා මහින්ද රාජපක්ෂ අගමැතිතුමා සාකච්ඡාවකට ඉන්දීය අගමැති ශ්‍රී මෝඩි සමග නවීන තාක්ෂණය භාවිත කරලා එතකොට ඉන්දියාව සමග සාකච්ඡාවක් තිබුනා. චීනයේ නායකයෙක් මෙහෙට පැමිණියා. අමෙරිකානු එක්සත් ජනපදයේ විදේශ ඇමති රාජ්‍ය ලේකම් මෙහි පැමිණෙනවා ඉතින් මේ රටවල් අතර සුහද සාකච්ඡා විටින් විට පැවතිම ස්වාභාවික දෙයක් විශේෂ ගිවිසුමක් ඉලක්ක කරගෙන නෙවෙයි එතුමා එන්නේ ඒ පිළිබඳව සාකච්ඡාවක් සංවිධානය කෙරිලා නැහැ. මේක සාමාන්‍ය සම්ප්‍රදාය අනුව සිදුවන දෙයක්," අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මාධ්‍ය හමුවේ පැවසීය.

කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ ප්‍රකාශිකා නැන්සි වැන්හොන් බීබීසී සිංහල සේවය සමග පැවසුවේ රාජ්‍ය ලේකම් වරයා පිළිගැනීම මහත් ප්‍රීතියක් බවත් ඇමරිකානු ආරක්ෂක ලේකම් වරයා ලංකාවේ සංචාරය නොකරන බවත් ය.

Skip X post, 3
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 3

කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය පැවසුවේ, "රාජ්‍ය ලේකම් මයිකල් ආර් පොම්පෙඕ ඔක්තෝබර් මස 25-30 දිනවලදී ඉන්දියාවේ නවදිල්ලි නගරයේ; ශ්‍රී ලංකාවේ කොළඹ නගරයේ; මාලදිවයින් හි මාලේ නගරයේ සහ ඉන්දුනීසියාවේ ජාකර්තා නගරයේ සංචාරයක නිරතව වන බවත් පොම්පෙඕ ලේකම්තුමා සහ ආරක්ෂක ලේකම් මාර්ක් ටී එස්පර් මහතා තමන්ගේ සම මට්ටමේ ඉන්දියානු සගයින් සමගින් නවදිල්ලියේ දී තෙවන 'එක්සත් ජනපද-ඉන්දියා 2+2 අමාත්‍ය සංවාදය' සඳහා නායකත්වය ලබාදෙමින් එක්සත් ජනපද-ඉන්දියා විස්තීර්ණ ගෝලීය ක්‍රමෝපායික හවුල්කාරීත්වය ඉදිරියට ගෙනයාමටත් ඉන්දු-ශාන්තිකරයේ සහ ලෝකයේ ස්ථාවරත්වය සහ සමෘද්ධිය ප්‍රවර්ධනය සඳහා හවුල්කාරීත්වය පුළුල් කිරීමටත් කටයුතු කරනු ඇත," යනුවෙනි.

"ශක්තිමත්, ස්වෛරී ශ්‍රී ලංකාවක් සමගින් හවුල්කාරීත්වයක් සඳහා එක්සත් ජනපදයේ කැපවීම අවධාරණය කිරීමටත් නිදහස් හා විවෘත ඉන්දු-ශාන්තිකර කලාපයක් සඳහා අපගේ පොදු අරමුණු ඉදිරියට ගෙනයාමටත් පොම්පෙඕ ලේකම්තුමා කොළඹ නගරයට සංචාරය කරන," අතර, ඉන් අනතුරුව, "පොම්පෙඕ රාජ්‍ය ලේකම්තුමා අපගේ සමීප ද්වීපාර්ශවීය සබඳතා යළි තහවුරු කරමින් කලාපීය සමුද්‍රීය ආරක්ෂාවේ සිට ත්‍රස්තවාදයට එරෙහි සටන දක්වා පරාසයක විහිදෙන විවිධ ගැටළු සම්බන්ධයෙන් අපගේ හවුල්කාරීත්වය වර්ධනය කිරීමටත් මාලේ නගරය දක්වා සංචාරය කරනු ඇත," යනුවෙන් ද තානාපති කාර්යාලය නිකුත්කළ නිවේදනයේ දැක්වේ.

Skip X post, 4
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 4

මේ අතර MCC ප්‍රදානය ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා මැදිහත්වන මෙන් ඉල්ලා සිටිමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ 2007 අප්‍රේල් 03 වෙනි දින එක්සත් ජනපද ජනාධිපති ජෝජ් ඩබ් බුෂ් වෙත යොමු කළ ලිපියක් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ට්විටර් ජාලයේ පළකොට තිබුණි.