කොරෝනා වෛරසය: "කෝවිඩ් පැතිරෙනකොටම රට ලොක් ඩවුන් කළා නම් තාත්ත අදත් ජීවතුන් අතරේ"

ලෙෂී සිය පියා රංජිත් චන්ද්‍රපාල සමඟ

ඡායාරූප මූලාශ්‍රය, leshie chandrapala

ඡායාරූප ශීර්ෂ වැකිය, ලෙෂී සිය පියා රංජිත් චන්ද්‍රපාල සමඟ
    • Author, සරෝජ් පතිරණ
    • Role, BBC සිංහල

"තාත්තා හරිම ආසාවෙන් වැඩට ගියේ. කවදාවත් ලෙඩ නිවාඩුවක්වත් ගත්තේ නෑ, උදේම ලෑස්ති වෙලා වැඩට යන්නේ හරිම සතුටෙන්," ලෙෂී චන්ද්‍රපාල දුක්බර හඬින් මුමුණයි.

පියා අහිමිව මාස ගණනක් ගතව ගොස් තිබුණ ද ඇයට තවමත් ශෝකය දරාගත නොහැකිය.

"තාත්ත රස්සාවට ආදරේ කළා. එකට වැඩ කරපු මිනිස්සුන්ට ආදරේ කළා. එයාල අතරේ තිබුණු පුදුම සුහද සහෝදරත්වයක්. එයා හැමදෙනා එක්කම හිතවත්, හරිම සුන්දර මනුස්සයෙක්."

බ්‍රිතාන්‍යයෙන් කෝවිඩ්19 වසංගතය පහව ගොස් නොමැති බැවින් සංවාදය දුරකථනයෙනි. කතාබහ අතරතුර ඇය සුසුම් හෙලනු මට ඇසේ.

බ්‍රිතාන්‍යය පුරා කොරෝනාවෛරස වසංගතය පැතිර යද්දීත් ලෙෂීගේ පියා, 64 හැවිරිදි රංජිත් චන්ද්‍රපාල, සිය බස් රථය පැදවූයේ ආදායම අහිමිවනු ඇතැයි බියෙන් නොවේ. ජාතික සෞඛ්‍ය සේවයේ (NHS) සේවක, සේවිකාවන් සහ පොලිස් නිලධාරීන් ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් හි නිරතවූවන්ට ප්‍රවාහන පහසුකම් සපයනු පිණිසය.

රියදුරන්ගේ ආරක්ෂාවට 'කිසිම දෙයක් තිබුණේ නෑ'

එහෙත් ඔහු එසේ වගකීම ඉටු කරද්දී, ලෙෂී පවසන පරිදි, බස් සමාගම් සහ බ්‍රිතාන්‍ය ආණ්ඩුව සිය වගකීම ඉටු කළේ නැත.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

"තාත්තලට ආරක්‍ෂිත උපකරණ කට්ටල (PPE) තිබුණේ නෑ. එයාලගේ ආරක්ෂාව වෙනුවෙන් කිසිම දෙයක් තිබුණේ නෑ. මම හොඳටම දන්නවා තාත්ත අසනීප වෙනකොටත් මිනිස්සු බස් එකට නැග්ගේ තාත්ත ළඟින්ම ඉස්සරහ දොරෙන්."

ලන්ඩන් නුවර බොහෝ බස් රථවල කොන්දොස්තරවරයෙක් නැති අතර, කුඩා බස්රථවල තිබෙන්නේ රියදුරා අසලින් ම ගොඩවෙන එක් දොරටුවක් පමණි.

ඇතැම් බස්වල දොරටු දෙකක් තිබුණ ද කෝවිඩ්19 වසංගතයට ප්‍රථම පිටුපස දොරටුව වෙන් වී තිබුණේ පිටවීම සඳහාය. එබැවින් දැන් වසර කිහිපයක සිට බස් රථවල මුදල් ගෙවා ප්‍රවේශපත්‍ර ගැනීමක් නැතත් මගීන් ගොඩවිය යුත්තේ ඉදිරිපස දොරටුවෙනි.

අප්‍රේල් මාසයේ අගදී ලෙෂී ගේ පියාට කොරෝනාවෛරසය ආසාදනය වන සමය වනවිට මගීන් ඔහුගේ බසයට ගොඩ වූයේ ඉදිරිපස දොරටුවෙනි. එසේ මගීන් ගොඩවෙමින් 'ඔයිස්ටර්' කාඩ්පත 'ටච්' කරද්දී මගියාගේ හුස්ම වැදෙන, නොවැදෙන මානයෙන් සිය පියා රියදුරු අසුනේ සිට සිනහමුසුව බලා සිටි බව ලෙෂී හොඳින්ම දනී.

ඒ වනවිට ආණ්ඩුව වසංගතය පිළිබඳ එතරම් බැරෑරුම්ව නොතැකූ බැවින් මුහුණු ආවරණයක් පැළඳීම ද අනිවාර්ය නොවීය. එබැවින් මුහුණු ආවරණ පැළඳියේ කලාතුරකින් මගියෙකු පමණි.

ඉතා කලාතුරකින් ඇතැම් 'ඩබල් ඩෙකර්' බස් රථවල පමණක් කොන්දොස්තරවරයෙක් ද සිටී.

'ආණ්ඩුව හිතුවේ herd immunity ඇතිවේවි කියල '

"NHS සේවයේ අයට වගේම බස් රියදුරන්, කොන්දොස්තරවරුන් අත්‍යවශ්‍ය සේවාවක් විදියට සලකන්න කියල, ඔවුන්ගේ ආරක්ෂාව සපයන්න කියල ඔවුන් දිගින් දිගටම ඉල්ලීම් කළා."

එහෙත් බස් සමාගම් හෝ ආණ්ඩුව ඒ ඉල්ලීම් ගැන නෑසු කන්ව සිටි බව ලෙෂී ගේ චෝදනාවය.

ලන්ඩන් නුවර බස් රථයක්

"ඒගොල්ල ඒ ඉල්ලීම්වලට උත්තර දුන්නේ කිසිම උනන්දුවකින් නෙවෙයි. කොටින්ම එයාලගේ කිසිම සූදානමක් තිබුණේ නෑ, බස්වලට කිසිම ආරක්‍ෂිත ක්‍රමයක් යොදල තිබුණේ නෑ, බස් සමාගම් අතරේ සන්නිවේදනයක් තිබුණේ නෑ," ලෙෂී පවසන්නේ බ්‍රිතාන්‍ය ආණ්ඩුවට බරපතල චෝදනාවක් ද එල්ල කරමිනි.

"මගේ අදහසේ හැටියට ආණ්ඩුව ඒ දවස්වල හිටියේ හැමෝටම වෛරසය බෝ වෙලා ප්‍රතිශක්තිය ඇතිවේවි (herd immunity) කියන ස්ථාවරයේ. දැන් අපි දන්නවා එහෙම වෙන්නේ නෑ කියල."

ජීවිත 33 ක්

බස් රියදුරන් ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන්හි යෙදී සිටි පුද්ගලයන් ගැන බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ 'ඇස් ඇරුනේ' වසංගතය විසින් බස් රියදුරන්ගේ ද ජීවිත බිලිගැනීමත් සමගය. ලෙෂී ගේ පියා ඇතුළු ලන්ඩන් නුවර සේවය කළ බස් රියදුරන් 33 දෙනෙකුගේවත් ජීවිත කෝවිඩ් වසංගතය විසින් බිලි ගනු ලැබ තිබේ.

පසුව වහාම ක්‍රියාත්මක වූ බස් සමාගම් සහ ප්‍රවාහන බලධාරීන් බස් රථවල විශේෂ විධිවිධාන ක්‍රියාත්මක කළ අතර, ඔයිස්ටර් (Oyster card) කාඩ් පත 'ටච්' කරනු වෙනුවට නොමිලේ බස්රථවල ගමන් කිරීමට ද මගීන්ට අවස්ථාව සැලසිණ.

රියදුරන්ට (සහ කොන්දොස්තරවරුන්ට) විශේෂ ආරක්‍ෂිත උපකරණ ද සැපයිණ. තනි දොරටුවේ බස්වල හැරුණු විට මගීන්ට ඉදිරිපස දොරෙන් ඇතුළුවීම තහනම් කෙරිණි.

එහෙත් ඒ වනවිට පමා වී වැඩිය. ලෙෂී ගේ පියා ඇතුළු බස් රියදුරන් කිහිප දෙනෙකු ඒ වනවිට මෙලොව හැර ගොසිනි.

වසංගතය සමයේ පාලුවට ගිය මාහාමාර්ග

'වැඩියෙන් මැරෙන්නේ ආසියානුවන්, කළු ජාතිකයන්'

අප්‍රේල් 24 වන දින මුල් රෝග ලක්ෂණ පෙන්නුම් කළ රංජිත් චන්ද්‍රපාල දින කිහිපයකින් සිය බිරිඳ සහ දියණියගෙන් සමුගත්තේය.

"වැඩියෙන් මැරෙන්නේ ආසියානුවන්, කළු ජාතිකයන්, අඩු පඩි ලබන සේවකයෝ කියල ඒ වෙනකොට ආණ්ඩුව දැනගෙන හිටිය," ලෙෂීගේ ස්වරය බිඳෙන සුළුය.

වේදනාව නිසාම කෙතරම් පහත් හඬින් ඇය අදහස් පළකරන්නේ ද යත්, ඇයට නිසි පරිදි සවන්දීමට කිහිපවරක්ම දුරකථනයේ හඬ වැඩි කිරීමට මට සිදුවිය.

"ආණ්ඩුව තමන්ගේ රාජකාරිය කළා නම්, තාත්ත අදත් ජීවතුන් අතරේ."

බ්‍රිතාන්‍යයේ උපත ලබා, කුඩා කල ශ්‍රී ලංකාවේ ද වාසය කොට ඇති ලෙෂී චන්ද්‍රපාල සෘජුව චෝදනා කරන්නේ බ්‍රිතාන්‍ය ආණ්ඩුවටය.

"මගේ තාත්තගේ මරණෙට සම්පූර්ණයෙන්ම ආණ්ඩුව වගකියන්න ඕන. ප්‍රවාහන අමාත්‍යාංශය මොකද කළේ?"

ලන්ඩන් නුවර බස් නැවතුම්පොළක්

වෛද්‍ය විශේෂඥයින්ගේ මතය

ප්‍රවාහන සේවකයන් පමණක් නොව වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය සේවයේ නිරත වූවන්ට පවා ප්‍රමාණවත් ආරක්ෂිත උපකරණ (PPE) සැපයීමට බ්‍රිතාන්‍ය ආණ්ඩුව අපොහොසත් වීම දැඩි විවේචනයට ලක්විය.

ඒ පිළිබඳව බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ පිළිකා සහ මානසික සෞඛ්‍යය පිළිබඳ විශේෂඥ වෛද්‍ය අසංග ප්‍රනාන්දු කියා සිටියේ, වෛද්‍යවරුන්, හෙද හෙදියන් ගේ සිට බස් රියදුරන් සහ වැඩිමහල් පුද්ගලයන් රැකබලාගන්නා පිරිස් ඇතුළු සියලු දෙනාට ගතවගිය අප්‍රේල් සහ මැයි මාසවල සේවය කිරීමට සිදුවූයේ දැඩි දුෂ්කර වාතාවරණයක් යටතේ බවය.

ආරක්ෂිත උපකරණ නොමැතිවීම පමණක් නොව බලධාරීන්ගෙන් පළවූයේ "අපැහැදිලි සහ කිසිදු සහයක් නොලැබෙන ආකාරයේ" මඟපෙන්වීම් බව ද බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවයේ (NHS) සායනික අධ්‍යක්ෂවරයෙකු වන විශේෂඥ වෛද්‍ය අසංග ප්‍රනාන්දු පැවසීය.

"තත්ත්වය ගැන බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ නිසි තක්සේරුවක් නොවීම නිසා වන්දි ගෙවන්න සිද්ධ වුණේ ලෙෂී වගේ සමහර පවුල්වලට. ඒ නිසා වැරදුනේ කොතනද කියල බ්‍රිතාන්‍ය ආණ්ඩුව අවසාන මාස කිහිපයේදී හරි තක්සේරුවක් කරන්න ඇති කියල මම බලාපොරොත්තු වෙනවා."

'ආයෙත් වෙන්න එපා'

කිසියම් ලෙසකින් බ්‍රිතාන්‍යයේ යළිත් වරක් කොරෝනාවෛරස රැල්ලක් පැතිර ගියහොත්, වෙනත් කිසිදු බස් රියදුරෙකුට සිය පියාට අත් වූ ඉරණම අත් නොවේවා යන්න ලෙෂී ගේ ප්‍රාර්ථනාවය.

සැප්තැම්බර් 06 (ඉරිදා) ප්‍රකාශයට පත් කරුණු දත්තවලට අනුව පැය 24 ක් ඇතුළත 3000 කට ආසන්න පිරිසකට රෝගය වැළඳී තිබුණි. ගතවගිය මැයි මාසයෙන් අනතුරුව එකවර එතරම් රෝගීන් පිරිසක් වාර්තා වූ පළමු වතාව එය වේ.

විශේෂඥ වෛද්‍ය අසංග ප්‍රනාන්දු

ඡායාරූප මූලාශ්‍රය, Dr Asanga Fernando

ඡායාරූප ශීර්ෂ වැකිය, වසංගතය සමයේ ආරක්ෂිත ඇඳුම් කට්ටලයකින් සැරසුණු විශේෂඥ වෛද්‍ය අසංග ප්‍රනාන්දු

එබැවින් ගතවගිය මාස කිහිපයේ අත්දැකීම්වලින් පාඩම් උකහාගෙන, විශේෂයෙන්ම ශීත සෘතුවේ යළිත් මතුවිය හැකි වසංගත රැල්ලකට සූදානම් වීම අන් කවරදාටත් වඩා මේ මොහොතේ අතිශයින් වැදගත් බව විශේෂඥ වෛද්‍ය අසංග ප්‍රනාන්දු මා සමඟ පැවසීය.

ඒ සඳහා බ්‍රිතාන්‍ය ආණ්ඩුව අනිවාර්යයෙන්ම කෝවිඩ් වසංගතය සමයේ සිදු වූ වැරදි සොයා බැලීම පිණිස පුළුල් මහජන විමර්ශනයක් පැවැත්විය යුතු බව ලෙෂී චන්ද්‍රපාල අවධාරණය කරන්නීය.

"එහෙම නැතුව අපි ඒ වැරදිවලින් පාඩමක් ඉගෙනගන්නේ කොහොමද?"

ඇය, එවැනි මහජන විමර්ශනයක් ඉල්ලා සිටින "Covid bereaved families for justice" කණ්ඩායමට සම්බන්ධ වූයේ එබැවිනි.

"මම සම්බන්ධ වුණේ ප්‍රවාහන සේවකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්."

බස් රියදුරන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින ඇය, දැනට ජාතික සෞඛ්‍ය සේවයට (NHS) පමණක් අදාළ වන Assurance Scheme ජීවිත රක්ෂණයට ප්‍රවාහන සේවකයන් ද ඇතුළත් කරන මෙන් බලධාරීන්ට බල කොට සිටින්නීය.

"මගේ තාත්තා කළේ Ealing රෝහලට NHS සේවකයන් සහ රෝගීන් ප්‍රවාහනය කළ එක. ඉතින් මගේ තාත්තත් අත්‍යවශ්‍ය සේවයක යෙදිලා හිටියේ."

Ealing Central and Acton ආසනය නියෝජනය කරන ලේබර් පාක්ෂික මන්ත්‍රීනි රූපා හක් සහ Ealing North ආසනයේ ලේබර් පාක්ෂික මන්ත්‍රී ජේම්ස් මරේ ඇතුළු මන්ත්‍රීවරුන් විශාල පිරිසක් කෝවිඩ් වසංගතයට ගොදුරු වූ පවුල් වෙනුවෙන් සිය හඬ අවදි කළහ.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

Skip X post, 3
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 3

ලෙෂී ඇතුළු පවුල්වල උද්ඝෝෂණය සම්බන්ධයෙන් පසුගිය මැයි මාසයේ ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් රූපා හක් මන්ත්‍රීවරිය සඳහන් කළේ ප්‍රවාහන සේවකයන්ට ආරක්‍ෂිත උපකරණ ලබා දෙන මෙන් සහ වසංගතය හේතුවෙන් මියගිය ප්‍රවාහන සේවකයන්ටත් වන්දි ලබාදෙන මෙන් ඉල්ලා සිටිමින් තමන් ඇතුළු මන්ත්‍රීවරුන් 43 දෙනෙකු අගමැති බොරිස් ජොන්සන් වෙත ලිපියක් යොමු කළ බවය.

සිය ඉල්ලීම්වලට නියෝජ්‍ය ප්‍රවාහන ඇමතිවරයාගෙන් 'කලකිරෙන සුළු' පිළිතුරක් ලැබී ඇතැයි ඉන් මාසයකට පමණ පසුව මන්ත්‍රීවරිය යළිත් සඳහන් කර තිබුණි.

Skip X post, 4
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 4

සේවයේ යෙදී සිටියදී මරණයට පත්වන සේවකයන්ට ලැබෙන දීමනා ප්‍රවාහන සේවකයන්ට ද ලැබෙනු ඇති බව නියෝජ්‍ය ප්‍රවාහන අමාත්‍ය ක්‍රිස් හීටන්-හැරිස් සිය ප්‍රතිචාරයේ සඳහන් කර තිබුණි. එමෙන්ම ඒ වනවිට සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස වූයේ ප්‍රවාහන සේවකයන් මුහුණු ආවරණ පැළඳ සේවයේ යෙදිය යුතුය යන්න බවත් ලිපියේ දැක්විණ.

එවැනි පිළිතුරුවලින් නොසැලී දිගටම සිය උද්ඝෝෂණය දියත් කළ ලෙෂී ඇතුළු Covid bereaved families for justice(Covid BFJ) කණ්ඩායම පවසන්නේ, සිය ඉල්ලීම්වලට මේ දක්වාම අගමැතිවරයාගෙන් නිසි ප්‍රතිචාරයක් ලැබී නැති බවය.

වසංගතය පිළිබඳ ආණ්ඩුවේ ප්‍රතිචාරය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විමර්ශනයක් පවත්වන බව අගමැති බොරිස් ජොන්සන් පවසා තිබුණි. එහෙත් එය පැවැත්වෙන්නේ කෙලෙසද හෝ කෙදිනකද යන්න ආණ්ඩුව තවමත් නිවේදනය කොට නැත.

"වසංගතය පැතිරෙන කොටම ආණ්ඩුව රට ලොක්ඩවුන් කළා නම් මේ තරම් මිනිස්සු මැරෙන්නේ නෑ," ලෙෂී අවධාරණය කරන්නීය.

"එහෙනම් අදත් මගේ තාත්ත ජීවතුන් අතරේ ඉන්නවා."

බස් රියදුරන්ගේ ජීවිත අන් කවරෙකුටත් වඩා තුන් ගුණයකින් අනාරක්ෂිත බව හෙළි කළ විශේෂ වාර්තාවක්, බ්‍රිතාන්‍ය ආණ්ඩුව කඩිනමින් රට ලොක්ඩවුන් කළේ නම් බොහෝ ජීවිත බේරාගත හැකිව තිබුණු බව නිගමනය කර තිබුණි.

බලධාරීන්ගේ නොසැලකිල්ල නිසා තවත් ජීවිතයක් බිලිගැනීමට ඉඩ නොතබන බවට ලෙෂී අදිටන් කරගෙන සිටින්නීය.

"තාත්තා වෙනුවෙන් දැන් මට කරන්න පුළුවන් එකම දේ තාත්තට වෙච්ච දේ තවත් කෙනෙකුට සිද්ධ වෙන්න නොදෙන එක."

කියවන්න: