ශ්‍රී ලංකාවේ ආරක්ෂක ඇමති කවුද? අනුර කුමාර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආරක්ෂාව භාර අමාත්‍යවරයා කවුරුන් දැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.

වර්තමාන රජය යටතේ අමාත්‍යාංශ 68ක් තිබෙන බැවින් ඒ අතරින් රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා කවු දැයි දැනගැනීමට කැමැති අතර, රුපියල් කෝටි 17,400ක් ආරක්‍ෂක අමාත්‍යාංශයට වෙන් කර ඇති බව පැවසූ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ඒ මුදල මැටි, පිත්තල වැනි අමාත්‍යාංශයක් සඳහා වෙන් කර ඇති මුදල මෙන් තුන්සිය ගුණයක් බවත් ප්‍රකාශ කළේය.

"රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයට බිලියන 174ක් වෙන් කරලා දෙන්න කියන කොට ඒ පිළිබඳව පාර්ලිමේන්තුවට වග කියන ඇමතිවරයා කවුද? රාජ්‍ය ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා ගරු චමල් රාජපක්‍ෂ අමාත්‍යවරයායි. හැබැයි, ඔබතුමාට යුද්ධ හමුදාව අයිති නැහැ. ඔබතුමාට තිබෙන්නේ, පොලිසියත්, දිසාපති කාර්යාලත්," යනුවෙන් ඔහු සඳහන් කළේ විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳව දෙවෙනි දිනයේත් පැවැත්වෙන විවාදයට එක්වෙමිනි.

"රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයේ බිලියන 174ට ඔබතුමා වග කියනවා ද? රාජ්‍ය ආරක්‍ෂාව පිළිබඳ අමාත්‍යවරයා කවුද කියලා කියන්නේ නැහැ. නොනිල ලෙස කටයුතු කරන්නේ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාවට පටහැනියි. එහෙනම් මේ තුන්වැනි අවස්ථාව ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙන. රාජ්‍ය ආරක්‍ෂාව පිළිබඳ අමාත්‍යවරයා කවුද කියලා දන්නේ නැතිව පාර්ලිමේන්තුවෙන් බිලියන 174ක් ඉල්ලා සිටීම කිසිසේත්ම යුක්ති සහගත නැහැ."

මේ පිළිබඳව කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල බීබීසී සිංහල සේවයට පැවසුවේ ජනාධිපතිවරයා ව්‍යවස්ථාව උල්ලංඝනය කර නොමැති බවය. ව්‍යවස්ථාවේ 4(ආ) අනුව රටේ ආරක්ෂාව ඇතුළුව ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරා පත්කර ගනු ලබන ජනරජයේ ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළ යුත්තේය යනුවෙන් සඳහන් ඇති බව ඔහු කියා සිටියේය.

"19 වන සංශෝධනයෙන් මෙම වගන්තිය ඉවත්කර නැහැ. එහෙම නම් මේ පිළිබඳව අර්ථකතනයක් ගන්න වෙනවා," යනුවෙන් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා පැවසීය.

කියවන්න: