2020 මහ මැතිවරණයේ මූලික ඡන්ද ප්‍රතිඵල අනුව පොහොට්ටුවට විශිෂ්ඨ ජයක්

සිය ඡන්දය භාවිත කිරීමෙන් අනතුරුව මාධ්‍ය අමතන අගමැති මහින්ද රාජපක්ෂ

ඡායාරූප මූලාශ්‍රය, Mahinda rajapaksa/twitter

ඡායාරූප ශීර්ෂ වැකිය, සිය ඡන්දය භාවිත කිරීමෙන් අනතුරුව මාධ්‍ය අමතන අගමැති මහින්ද රාජපක්ෂ

2020 මහ මැතිවරණයේ මූලික ඡන්ද ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොඳුජන පෙරමුණ විශිෂ්ඨ ජයක් ලබා ගනිමින් තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට දැවැන්ත පරාජයක් අත්කර දෙමිනි.

ශ්‍රී ලංකාවේ නව වන පාර්ලිමේන්තුවට මන්ත්‍රී වරුන් තෝරා පත්කරගැනීම සඳහා පැවැත්වූ මහ මැතිවරණයේ ප්‍රතිඵල ගණනය කිරීම බ්‍රහස්පතින්දා (අගෝස්තු 06) උදෑසන ආරම්භ විය. මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා පැවැත්වූ මැතිවරණයේ ඡන්ද මධ්‍යස්ථාන 77 කදී තවමත් ගණන් කරමින් තිබෙන අතර මේ වනවිට ඡන්ද කොට්ඨාශ 160 න් 131 ක ප්‍රතිඵල නිකුත් වී තිබේ.

අලුත් පක්ෂයක් බලයට පත්වීම

ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ අතරට එක්වූ අලුත්ම ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වසර හතරක් තරම් කෙටි කාලයක් ඇතුළත මැතිවරණ සටනේ ප්‍රමුඛස්ථානය ලැබීම මෙවර මහමැතිවරණයේ විශේෂත්වයකි.

එම පක්ෂය පිහිටුවීමෙන් මුහුණ දුන් පළමු අභියෝගය වූ පසුගිය ජනාධිපතිවරණයේ දී හැටනව ලක්ෂයකට අධික ඡන්ද ලබාගත් අතර, දෙවැනි අභියෝගය වූ මෙම මැතිවරණයෙන් ද එම පක්ෂය සෙසු දේශපාලන පක්ෂ අභිබවා සිටියි.

EPA

ඡායාරූප මූලාශ්‍රය, EPA

මෙවර පොදු ජන පෙරමුණ ප්‍රදර්ශනය කරන්නේ, 1952 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවා වසර හතරක කාලයක් ඇතුළත පාර්ලිමේන්තු බලය දිනාගැනීමට සමත් වූ තත්වයට සමාන අවස්ථාවකි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනස්කම් ඇතුළු අවශ්‍ය නෛතික ප්‍රතිසංස්කරණ සිදුකිරීම සඳහා තමන්ට තුනෙන් දෙකක පාර්ලිමේන්තු බහුතරයක් ලබා දෙන ලෙස, මෙම මහ මැතිවරණයට පෙර ආණ්ඩුව මහජනයාගෙන් ඉල්ලා සිටියේය.

ගෝලීය කොරෝනා වසංගතය මැද පැවැත් වූ 2020 මහා මැතිවරණය, ශ්‍රී ලංකා ඡන්ද ඉතිහාසයට එක්වන්නේ දීර්ඝ කාලයක් දිග ඇදුන මහ මැතිවරණය ලෙසින් පමණක් නොව දීර්ඝ කාලයක් ප්‍රචාරක කටයුතු සඳහා කාලය වෙන් කළ මැතිවරණය ද ලෙසිනි.

එක්සත් ජාතික පක්ෂයේ පරාජය

ඒ අතරම කැපී පෙනෙන ප්‍රධාන ලක්ෂණය වන්නේ ශ්‍රී ලංකාවේ පළමු ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂය ලෙස සැලකෙන එක්සත් ජාතික පක්ෂය බොහෝ ආසනවල හතරවෙනි ස්ථානයට පත්වීමයි.

ප්‍රතිඵල නිකුත් වීමත් සමඟම, පස් වතාවක් අගමැති පදවිය ඉසිලූ රනිල් වික්‍රමසිංහට තම අසුන අහිමිවී ඇති අතර, රටේ පැරණිම පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය එකදු ආසනයක්වත් දිනාගැනීමට අපොහොසත් වී සිටී.

එම පක්ෂයට ජාතික ලැයිස්තුවෙන් අසුනක් හිමි වේ ද යන්න තවමත් දැනගන්නට නැත.

රනිල් වික්‍රමසිංහ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

මෙය 1956 සහ 1970 මහමැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂය ලද පරාජයන්ටත් වඩා දරුණු පරාජයකි.

සමගි ජන බලවේගය

මැතිවරණ ප්‍රතිඵල අනුව සමගි ජන බලවේගය උතුරු සහ නැගෙනහිර පළාත්වලට අයත් නැති ඡන්ද කොට්ඨාශයන්හි මේවනවිට දෙවැනි තැන ලබා සිටින අතර තුන්වෙනි ස්ථානයේ පසුවෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය දෙන ජාතික ජන බලවේගයයි.

කෙසේ වුවත් ජනතා විමුක්ති පෙරමුනේ දැවැන්තයකු සහ ජනප්‍රිය දේශපාලන නායකයෙකු වූ සුනිල් හඳුන්නෙත්තිට පවා ජයග්‍රහණය කිරීමට නොහැකිවීම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ද අවධානයට ලක්ව තිබෙන කරුණකි.

උතුරු පළාතේ ප්‍රකාශිත ප්‍රතිඵල අනුව අමාත්‍ය ඩග්ලස් දේවානන්දගේ EPDP පක්ෂය ඇතැම් ස්ථානවල ඉලංකයි තමිල් අරසු පක්ෂය අභිබවා යාම තවත් විශේෂත්වයකි.

එසේම යාපනය ඇතුළු උතුරේ ස්ථාන කීපයක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් ලැබී තිබේ.

මෝදි ගෙන් සුබපැතුම්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලික ඡන්ද ප්‍රතිඵල අනුව ඉදිරියෙන් සිටීමත් සමගම ඉන්දියානු අගමැති නරේන්ද්‍ර සිං මෝදි දුරකථනයෙන් මහින්ද රාජපක්ෂ අමතා සුබපැතුම් ලබා දුන් බවට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පැවසීය.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

තමන්ට සුබ පැතුම් පිරිනැමීම ගැන අගමැති මහින්ද රාජපක්ෂ ට්විටර් පණිවුඩයක් මගින් ඉන්දීය අගමැතිවරයාට ස්තුති කොට තිබුණි.