ශ්‍රී ලංකාවේ නිදහසට පෙර ඡන්දයට භාවිත කෙරුණු "පාට පාට ඡන්ද පෙට්ටි"

ඡායාරූප මූලාශ්‍රය, EPA
- Author, උපාලි ගජනායක
- Role, BBC සිංහල
ශ්‍රී ලංකාවේ නව වෙනි පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරාපත්කර ගනු ලබන මහ මැතිවරණය තවත් පැය කිහිපයකින් ආරම්භ කෙරෙනු ඇත. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් නීතිගත කරන ලද පරිදි සහ පසුව සම්මත කරන ලද පාර්ලිමේන්තු ඡන්ද විමසීම්වලට අදාළ වෙනත් පනත් අනුව සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ යම්කිසි දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් වෙනුවෙන් තම කතිරය සහ මනාප සලකුණු කරන ශ්‍රී ලංකාවේ ඡන්දදායකයා සිය ඡන්ද පත්‍රිකාව සියලු අපේක්ෂකයන් සඳහා වූ එක් ඡන්ද පෙට්ටියක් තුළට බහාලීම මගින් සිය දේශපාලන අභිමතය ප්‍රකාශයට පත්කරනු ඇත.
ඡන්ද පෙට්ටිය ප්‍රජාතන්ත්‍රීය සමාජයක විශිෂ්ටතම සංකේත අතරින් එකකි. සෘජු ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රායෝගික මට්ටමින් ක්‍රියාවට නැංවීම දුෂ්කරවීමට කරුණු දෙකක් බලපාන්නට ඇත. ඉන් පළමුවැන්න ජනගහනයේ ස්වභාවික ව්‍යාප්තිය සහ දේශපාලන අයිතිය ප්‍රසාරණය වීමය.
පැරණි ග්‍රීසියේ ප්‍රභූ සමාජ ආධිපත්‍යය තුළ වහලුන් ඇතුළු ''පුරවැසියන් නොවන'' බහුතර ජනයාට දේශපාලන අයිතිය අහිමිකරනු ලැබීම නිසා එම සමාජයේ අල්පතරය වූ ''පුරවැසියන්ට'' එහි සෘජු ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාවට නැංවීම දුෂ්කර කරුණක් නොවිණි. පුරවැසියන් යයි සම්මත ජනයාට ''පුර මධ්‍යස්ථානයකට'' රැස්ව වාචිකව හෝ අත් ඔසවා පක්ෂ හෝ විපක්ෂභාවය සංඛ්‍යාව අනුව තීන්දු කර ගැනීමට හැකිවිය.එහෙත් දේශපාලන අයිතිය බහුතර ජනයා අතට පත්වීමත් සමඟ එම සෘජු ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාවට නැංවීම බලාපොරොත්තු වූ පරිදිම දුෂ්කර කාර්යයක් විය. ඡන්ද පෙට්ටිය කරා යාමේ දෙවැනි අවශ්‍යතාව ඡන්දයේ රහස්‍යභාවය ආරක්ෂාකර ගැනීමය.
ඡන්ද පෙට්ටියේ ඉතිහාසය
නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රගමනයත් සමඟ ඡන්දය ප්‍රකාශ කරන ආකාරයත් කලින් කලට නව මුහුණුවර ගනිමින් ඇත. පැරණි ග්‍රීසියේ 'පෞර පාලකයන්'' පත්කර ගැනීමට අපේක්ෂකයකුගේ නම ඉදිරියේ බිඳුන කුඩා වළං පතුරකින් කුරුටු ගෑ ඡන්දදායකයෝ මේ වනවිට විද්‍යුත් තාක්ෂණය ඔස්සේ පවා ඡන්දය ප්‍රකාශ කිරීමේ පහසුකම් ලබා ඇත.
ඡන්ද පෙට්ටියේ ඉතිහාසය සොයායන ඉතිහාසඥයෝ එහි පළමු පියවර රෝමානු ජනරජ අවධියට (509 BC) සම්බන්ධ කරති. පෞරාණික රෝම රාජාණ්ඩුවේ බිඳ වැටීමෙන් අනතුරුව ආරම්භ වූ ජනරජයෙහි පෞර නියෝජිතයන් තෝරාපත්කර ගැනීම පිණිස පැවැත්වූ ඡන්ද විමසීම්වල දී දැවයෙන් සකස් කරන ලද ඡන්ද පෙට්ටියක් භාවිතකර ඇතැයි ඉතිහාසඥයෝ පවසති.
ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායක සභා පාලන ක්‍රමය 1833 පටන් ආරම්භ කෙරුණු නමුත් එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම මත පදනම් වූවක් නොවූ අතර කෝල්බෘක් සහ කැමරන් (Colebrooke-Cameron) විසින් ලංකාවට නිර්දේශ කරන ලද්දේ ආණ්ඩුකරු විසින් නාමකරණයෙන් පත්කරන ලද නියෝජිතයන් අතළොස්සකින් සමන්විත ව්‍යවස්ථාදායකයකි.
1910 ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය මගින් ලංකාවට සීමිත ඡන්ද බලය හඳුන්වා දෙන ලද අතර එම අයිතිය උගත් ධනවත් පුරුෂ පක්ෂයට පමණක් සීමාවිය. එම සීමාවන් යටතේ පවා සමස්ත ලංකාවටම තෝරා පත්කර ගැනීමට එක් නියෝජිතයෙක් පමණි. එම සීමාවන් යටතේ ලියාපදිංචි වූ ඡන්දදායකයන්ට ''උගත් ලාංකික'' නියෝජිතයකු තම ඡන්දයෙන් පත්කර ගනීමට අවස්ථාව ලැබිණි.
පළමු උගත් ලාංකික මන්ත්‍රීවරයා ලෙස පත්කර ගන්නා ලද්දේ ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන්ය. පළමු උගත් ලාංකික මන්ත්‍රීවරයා තෝරා පත්කර ගැනීම සඳහා ලියාපදිංචිව ඇති උගත්, ධනවත් පුරුෂයන්ගේ බහුතරය ජන වර්ගය අනුව සිංහල වුවද, එම මැතිවරණයට තරඟ වැදුනු සිංහල වර්ගයාට අයත් ශ්‍රීමත් දොස්තර මාර්කස් ප්‍රනාන්දු අභිබවා දමිළ ජාතික ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් ජයගැනීම සුවිශේෂී සිදුවීමක් ලෙස ඉතිහාසයට එක්විය.
වර්ණ ඡන්ද පෙට්ටි ක්‍රමය
1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යෝජනා මගින් ලංකාවට සර්ව ජන ඡන්දබලය හඳුන්වා දෙනු ලැබීම වැදගත් නිර්දේශයක් වශයෙන් සැලකෙන අතර, බ්‍රිතාන්‍ය කාන්තාවන්ට සර්ව ජන ඡන්ද අයිතිය ලැබීමෙන් වසර තුනකට පසුව ලංකාවේ කාන්තාවන් එම අයිතිය ලැබීම පැහැදිළිවම ඉදිරි පියවරකි. කාන්තාවන් ද ඇතුළුව සර්ව ජන ඡන්ද අයිතිය ලද පළමු ආසියානු රට බවට ලංකාව පත්විය.
නව නිර්දේශ යටතේ පළමු 'රාජ්‍ය මන්ත්‍රණ සභා' මැතිවරණය 1931 වසරේ පවත්වා ඇත.
දේශපාලන පක්ෂ ක්‍රමයක් සහ ඒවාට සම්බන්ධ ඡන්ද ළකුණු නොවූ එම අවධියෙහි රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණ දෙකේදී (1931 සහ 1936) සිදුකර තිබෙන්නේ එක් එක් ඡන්ද අපේක්ෂකයාට වර්ණයක් (පාටක්) ලබා දීමය. ඒ අනුව ඡන්ද අපේක්ෂකයන් තමන් ලද වර්ණය වෙනුවෙන් ඡන්දය භාවිත කරන ලෙස ඉල්ලා සිටිමින් ඡන්දදායකයන් අතර ප්‍රචාරක කටයුතුවල නිරතව ඇත.
ඡන්ද විමසීම සිදුකරනු ලැබ තිබෙන්නේ ද වර්ණ ඡන්ද පෙට්ටි ක්‍රමයක් අනුවය. අදාළ ඡන්ද කොට්ඨාසයන්හි ඒ ඒ අපේක්ෂකයාට අයත් වර්ණයෙන් යුත් ඡන්ද පෙට්ටි තබා තිබුණු අතර ඡන්දදායකයා කළ යුතුව තිබුණේ (අදමෙන් කතිරයක් ගසා ඡන්දය දීමක් නොව) තමා අතට පත් ඡන්ද පත්‍රිකාව තමා කැමති අපේක්ෂකයාගේ වර්ණයෙන් යුත් පෙට්ටිය තුළට බහාලීමය.
මැතිවරණ අපේක්ෂකයන් වේදිකාවක හිඳුවා ඔවුන්ගේ මූල්‍ය බලය, පාරම්පරික ප්‍රභූත්වය ,පරිත්‍යාගශීලී ගුණය පමණක් නොව ඔවුන්ගේ ශරීර ශෝභාව පවා වර්ණනා කරන ලද දේශපාලන රැස්වීම් පිළිබඳවද එම යුගයෙන් වාර්තා වේ. ඒ අතරවාරයේ වෙනත් අපේක්ෂකයන් ඔහුට සාපේක්ෂව දුප්පතුන් බවත් පෙර ආත්මවල පිංකම් කර නොමැති හෙයින් මේ ආත්මයේ තම අපේක්ෂකයා තරම් රූප ශෝභාවකට හිමිකම් නොකියන බවත් පවසමින් ප්‍රතිවාදී අපේක්ෂකයන් ගර්හාවට ලක්කරනු ලැබ තිබෙන්නේ සමච්චල් කරන විලාශයකිනි.
එම ක්‍රමය අනුව වැඩිම ඡන්ද ප්‍රමාණයක් ඇතුළත් වර්ණය අයත් ඡන්ද පෙට්ටි හිමි අපේක්ෂකයා ජයග්‍රහකයා ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබිණි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
වර්ණ ඡන්ද පෙට්ටි මැතිවරණ ක්‍රමයක් ලෙස නොදියුණු උපක්‍රමයක් වන නමුත් දියුණු දේශපාලන පක්ෂ හෝ ඡන්ද ක්‍රමයක් නොතිබුණු එම අවධියෙහි තෝරා ගැනීමට තිබූ ආසන්නතම ක්‍රමවලින් එකක් වූයේ එය බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ සම්මානිත මහාචාර්ය ඒ.එම්.නවරත්න බණ්ඩාර පවසයි.
''එම ක්‍රමයේ එක අඩුපාඩුවක් වුණේ ඡන්ද දූෂණ සිදුකළ හැකිවීම. 1931 දී සර්ව ජන ඡන්ද බලය දුන්නත් එය ලැබුණේ ඉල්ලුම් කරන ලද අයට පමණයි. ලියාපදිංචි කිරීම් බාරව කටයුතු කළේ ප්‍රාදේශීය ප්‍රභූන් වූ ගම්මුලාදෑනින් වගේ නිලධාරීන්. ගමේ මිනිස්සුන්ගේ දේශපාලනය හඳුනන ඇතැම් ගම්මුලාදෑනිවරු තමන් සහයෝගය දෙන අපේක්ෂකයාට විරුද්ධ මිනිසුන්ගේ ඡන්ද ලියාපදිංචි නොකරපු අවස්ථා තිබෙනවා. ඔවුන් කරලා තිබෙන්නේ ඡන්දය ඉල්ලා පුරවපු අයදුම්පත් ඉරා විසිකර දැමීම වගේ දේවල්'' මහාචාර්ය ඒ.එම්.නවරත්න බණ්ඩාර එදා පැවැති තත්ත්වය සමාලෝචනය කරමින් පැහැදිලි කළේය.
එපමණක් නොව දුප්පතුන්ගේ ඡන්ද මුදලට ගැනීමත් එදා සරුවට සිදුකොට ඇත. මැතිවරණවලට ඉදිරිපත් වූ වැඩිදෙනා ධනවතුන් වූ අතර ''මුදල් නෝට්ටු මිටි ලිහා දැමීම'' එළිපිටම සිදු කෙරුණු දූෂණයක් විය. මුදල් ලද ඡන්දදායකයෝ තම ඡන්ද පත්‍රිකාව සඟවාගෙන පැමිණ අපේක්ෂකයාගේ 'ඒජන්තයකුට' දෙන අතර ඔවුහු එය තමන්ට උවමනා අපේක්ෂකයකු වෙනුවෙන් භාවිත කළහ.
එවැනි අවභාවිත නිසා 1931 පළමු රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයෙන් පසු වහාම මැතිවරණ වියදම් සීමා කිරීමේ පනතක් සම්මත කර ගැනීමට සිදු වූ බවද මහාචාර්ය ඒ.එම්.නවරත්න බණ්ඩාර පවසයි.
වර්ණ ඡන්ද පෙට්ටි දේශපාලන අවභාවිතකිරීම් රැසකට මාර්ගයක් විය.
එවැනි අවභාවිත කිරීම්වලට එක් මාර්ගයක් වූයේ සාම්ප්‍රදායික සමාජයේ විවධ වර්ණයන්ට විවිධ වටිනාකම් ඇති හෙයිනි. සුදු, කහ, නිල් සහ කොල වැනි වර්ණ ''හොඳ පාට'' යයි ලාංකික සමාජයේ පොදු පිළිගැනීමක් වූ අතර බොහෝවිට රතුපාට සැලකෙන්නේ "අනතුරුදායක'' වර්ණයක් ලෙසිනි.
නිදසුනක් වශයෙන්, 1931 සහ 1936 මැතිවරණවල දී බොහෝ ඡන්ද අපේක්ෂකයන් මැතිවරණ සටන් ගෙනගොස් තිබෙන්නේ "පාට'' ප්‍රචාරය කරමිනි. "සුදුපාට" පවිත්‍රතාව පිළිබඳ සංකේතයක් ලෙසද , ''කහ පාට'' ලද අපේක්ෂකයන් එය බෞද්ධයන්ගේ පාට ලෙස හඳුන්වමින් ද, නිල්පාට ලද අපේක්ෂකයන් එය රට රක්නා විෂ්ණු දෙවිඳුන්ගේ පාට ලෙසද හුවා දක්වමින් මහජනතාව ඔවුනොවුන් වෙත ආකර්ෂණය කර ගැනීමට උත්සාහ දරා ඇත.
1947 සෝල්බරි ප්‍රතිසංස්කරණ යෝජනා ක්‍රියාත්මක වීමත් සමඟ වර්ණ ඡන්ද පෙට්ටික්‍රමය අහෝසි කරනු ලැබිණි.
"සුදු මහත්තයාගේ" ඡන්ද ක්‍රමය
අද මැතිවරණ සටන්වල දී ඡන්ද ලකුණ වැදගත් වන පරිදි එදා ''පාට'' වැදගත් විය.
1931 සහ 1936 රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණ දෙකේදීම අනුරාධපුර අසුන ජයගෙන තිබෙන්නේ යටත් විජිත නිලධාරියකු ලෙස ලංකාවට පැමිණි ඉංග්‍රීසි ජාතික සිවිල් සේවකයෙකි. විශ්‍රාමයෙන් පසු ලංකාවේම නතර වූ H.R. ෆ්‍රීමන් නම් වූ එම නිලධාරියා දේශපාලනයට ප්‍රවේශ වී ඇත.
''උඹලාගේ ''සුදු මහත්තයා'' පිටරට යන එක නවත්වන්න නම්, සුදු මහත්තයාගේ පාටට ඡන්දෙ දීපල්ලා'' යනුවෙන් අමතමින් නුවර කලාවියේ දිළිඳු ගම්වැසියන් අතරට ගිය ෆ්‍රීමන් 1931 මැතිවරණය පහසුවෙන් ජයගෙන ඇති අතර 1936 දී ඔහු තේරී පත්ව තිබෙන්නේ නිතරඟයෙනි.
රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේ සාමාන්‍ය ජනයාට ඡන්ද අයිතිය ලැබුණ දමැතිවරණ සඳහා තරඟ කිරීමේ අයිතිය ලැබුණේ ඉංග්‍රීසි භාෂාව ලිවීමට, කියවීමට සහ කතා කිරීමට හැකි තැනැත්තන්ට පමණි. ඡන්ද පත්‍රිකා ඇතුළු සියල්ල ඉංග්‍රීසි භාෂාවෙන් මුද්‍රණය කර තිබූ අතර ඡන්ද ලකුණු ද නොවීම නිසා මහජනයාට සිදුවූයේ තමා අතට ලැබෙන ඡන්ද පත්‍රිකාව කිසියම් පාටකින් නිමවා ඇති පෙට්ටියකට දැමීම හෝ එය සඟවාගෙන පැමිණ කාට හෝ විකිණීම නොව පරිත්‍යාග කිරීමටය.
කියවන්න;








