කොරෝනා වෛරසය: චීනයෙන් ඉවත් කර ගත් ඔස්ට්‍රේලියානුවන් දූපතකට ගෙන යාමේ සැලසුමක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් පරිදි වූහාන් නගරයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් ඇතුළු තිස් තුන් දෙනෙකු ශ්‍රී ලංකාව බලා රැගෙන ඒමට කළ ඉල්ලීමට චීන බලධාරීන් මෙතෙක් අවසර දී නොමැති බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.
කෙසේ වුවත් වෙනත් රටවල් කිහිපයක් මේ වනවිටත් සිය පුරවැසියන් වූහාන් නගරයෙන් ඉවත් කරගනිමින් සිටියි.
වූහාන් නගරය කොරෝනා වෛරසයේ තිඹිරි ගෙය ලෙස සැලකේ.
ශ්‍රී ලංකාවෙන් මේ වන විට කොරෝනා වෛරසය අසාදිත එක් රෝගියෙකු වාර්තා වී ඇත. චීන ජාතික කාන්තාවක් වන ඇය අයි.ඩී.එච් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.
මේ අතර කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන බදාදා (ජනවාරි 29) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ මුඛ ආවරණ මිලට ගෙන පළඳින ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය කිසි විටෙකවත් ජනතාවට හෝ දරුවන්ට උපදෙස් ලබාදී නොමැති බවය.
කොරෝනා වෛරසය පිළිබඳ කෙරෙන වැරදි ප්‍රචාර සම්බන්ධයෙන් බිය විය යුතු නොමැති බවත් පාසල් වැසීමට තීන්දුවක් ගෙන නොමැති බවත් ඇමතිවරයා එහිදී කියා සිටි බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරයි.
අලුත්ම තත්ත්වය

කොරෝනා වෛරසය හේතුවෙන් මරණයට පත් සහ ආසාදිත සංඛ්‍යාව ඉහළ යමින් පවතින අතරතුර වූහාන් හි සිටින විදේශිකයන් සිය ගණනක් එම පළාතෙන් ඉවත් කර ගැනීමේ කටයුතු සිදු වෙමින් පවතී.
ඉන් ඉවත් කර ගනු ලබන ඔස්ට්‍රේලියානුවන් නිරෝධායනය කිරීම සඳහා 'ක්‍රිස්මස් අයිලන්ඩ්' වෙත රැගෙන යාමට ඔස්ට්‍රේලියාව සැලසුම් කර තිබේ. එම දූපත පිහිටා ඇත්තේ ඔස්ට්‍රේලියාවේ සිට කිලෝමීටර 2000 දුරකිනි.
ඔස්ට්‍රේලියානුවන් 600 දෙනෙකු ක්‍රිස්මස් අයිලන්ඩ් හි සති දෙකක කාලයක් රඳවා තබනු ඇති බව එරට අගමැති ස්කොට් මොරිස් පැවසීය.
ශ්‍රී ලාංකික පවුලක්
දූපත තුළ මෑතක දී විවෘත කළ සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථානය හේතුවෙන් එය ජාත්‍යන්තර අවධානයට ලක් වූ අතර එහි පවතින තත්ත්වය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල විය.
දැනට සංක්‍රමණික මධ්‍යස්ථානයේ සාමාජිකයන් සිව් දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලාංකික පවුලක් පමණක් රඳවා සිටින අතර එහි පුද්ගලයන් 1000 කට නේවාසික පහසුකම් ලබා දිය හැක.
චීනයේ සිටින ඔස්ට්‍රේලියානුවන් සමග සිය රටේ පුරවැසියන් 53 දෙනෙකු ද ගෙන්වා ගැනීම සඳහා නවසීලන්තය ඔස්ට්‍රේලියාව සමග එක්ව කටයුතු කරනු ඇත.
ජපානය, එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය සිය පුරවැසියන් යළි ගෙන්වා ගනිමින් සිටිති.
"අත්‍යවශ්‍යම ගමන් හැර" චීනය වෙත කෙරෙන සියලුම ගුවන් ගමන් සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශය අනතුරු ඇඟවීමත් සමග බ්‍රිතාන්‍ය ගුවන් සේවය (British Airways) චීනය සමග සිදු කෙරෙන සියලුම ගුවන් ගමන් නවතා දමා ඇත.
තවත් ගුවන් සමාගම් ගණනාවක් ඒ හා සමාන පියවර ගෙන තිබේ.
රෝගීන් සහ මරණ

චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසමේ විශේෂඥයෙකු කියා සිටියේ වසංගතය උපරිම මට්ටමක් කරා පැමිණීමට තවත් දින දහයක් පමණ ගත වනු ඇති බවය.
කොරෝනා වෛරසය හේතුවෙන් චීනය තුළ මරණයට පත් සංඛ්‍යාව 132 දක්වා ඉහළ ගොස් ඇත.
තවත් 6000 පමණ වෛරසය අසාදනය වී තිබේ.
සාර්ස් සහ වෙනත් ඉන්ෆ්ලුවෙන්සා වෛරස් හා සමාන ලෙස නව කොරෝනා වෛරසය ද වයස්ගත පුද්ගලයන් සහ වෙනත් රෝගී තත්ත්වයන් පවතින පුද්ගලයන්ට අනතුරුදායකය.
හූබෙයි පළාතේ අගනුවර වන වූහාන් හි පිහිටි මත්ස්‍ය වෙළඳපොලක අලෙවි කළ නීති විරෝධීව ගෙන ආ මස් වර්ගයකින් වෛරසය පැතිර ගොස් ඇතැයි විශ්වාස කෙරේ.
කොරෝනා වෛරසය සඳහා නිශ්චිත ප්‍රතිකර්මයක් හෝ එන්නතක් මෙතෙක් සොයා ගෙන නොමැත. කෙසේ නමුත් රෝහල් ප්‍රතිකාර ලැබීමෙන් පසු පුද්ගලයන් ගණනාවක් ඉන් සුවය ලබා ඇත.








