ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම: "ජනතාවට කන් හැන්දෙන් - ඒගොල්ලන්ට බැකෝ යන්ත්‍රයෙන්"
රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම, විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට ලබා දීමට නියමිත රු. 15000ක දීමනාව සහ විශ්‍රාම වැටුප් වැඩි කිරීමට අදාළ චක්‍රලේඛ අත්හිටුවීම සම්බන්ධයෙන් බ්‍රහස්පතින්දා (ජන: 23) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කෙරිණි.
එහිදී අදහස් පළ කරමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක, අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පැවසුවේ, "රාජ්‍ය සේවකයින් සහ විශ්‍රාමිකයින් පිළිබඳව අරන් තිබුණ ප්‍රධාන තීරණ තුනක්ම ආණ්ඩුව විසින් අත්හිටුවා තිබෙන," බවය.
- "2016 - 2019 දක්වා විශ්‍රාමගත වූවන්ගේ විශ්‍රාම වැටුප් වැඩි වීම පිළිබඳව නිකුත් කළ චක්‍රලේඛය අත්හිටුවීම."
- "රනුක්ගේ කමිටු වාර්තාව අනුව වැටුප් වැඩි කිරීම සඳහා නිර්දේශ ලබා දී ඇති කැබිනට් අනුමැතිය ජනවාරි සිට ක්‍රියාත්මක කිරීම අත්හිටුවීම."
- "මාණ්ඩලික (විධායක) නිලධාරීන්ට රු. 15000ක වැටුප් වැඩි වීමක් පිළිබඳව ජනවාරි මාසයේ චක්‍රලේඛයක් නිකුත් කර තිබියදී එය අත්හිටුවීම."
"ප්‍රතිපාදන නැහැ"
මෙම චෝදනාවට පිළිතුරු දෙමින් රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ අදාළ අත්හිටුවීම් සිදු කිරීමට හේතු වූ කරුණු පැහැදිලි කළේය.
ඔහු පැවසුවේ, "2020 පළමු කාර්තුව සඳහා ප්‍රතිපාදන වෙන් කර ඇත්තේ අතුරු සම්මත ගිණුමකින්" වන අතර අදාළ වැටුප් වැඩි කිරීම සඳහා "එමගින් ප්‍රතිපාදන වෙන් කර නොමැති" බවය.
මේ අතර, රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට අදාළව රාජ්‍ය සේවක වැටුප් පරිමාණ මෙතෙක් සකස් කර නොතිබීම ද මෙම තත්ත්වයට හේතු වී ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
අයවැයක් ඉදිරිපත් කරන තුරු වැටුප් වැඩි කිරීම සඳහා ප්‍රතිපාදන නොමැති බවත් "එම ක්‍රියාවලිය සඳහා ගතවන කාලය මේ අවස්ථාවේදී නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි," බවත් ඔහු පෙන්වා දුන්නේය.
"ජනතාවට බෙදන්නේ කන් හැන්දෙන්"
මෙහිදී ප්‍රතිචාර දැක්වූ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා සදහන් කළේ, "වැටුප් වැඩි කරන්න තමුන්නාන්සේලා පරිපූරක ඇස්තමේන්තුවක් ගේනවා නම් පාර්ලිමේන්තුවේදී සහය දෙන්න සූදානම්," බවය.
"මෙතුමා ගෙන හැරපෑව තර්කය වෙන්නේ අතුරු සම්මත ගිණුමෙන් මේක සම්මත කරල නෑ ප්‍රතිපාදන වෙන් කරල නෑ කියන එක. හැබැයි මම දැක්කා ඊයෙත් පරිපූරක ඇස්තමේන්තුවක් තිබුණ වාහන මිලදී ගන්න. එතකොට ඔබතුමාලට වාහන මිලදී ගන්න, ගොඩනැගිලි මිලදී ගන්න, අරලිය ගහ මන්දිරයට පුටු මේස ගන්න පරිපූරක ඇස්තමේන්තු ගේන්න පුළුවන්. ඒ නිසා වැටුප් වැඩි කරන්න තමුන්නාන්සේලා පරිපූරක ඇස්තමේන්තුවක් ගේනවා නම් පාර්ලිමේන්තුවේදී සහය දෙන්න අපි ලෑස්තියි. ඒ නිසා සල්ලි නැහැ කියන එක මත පදනම්ව කතා කරන්න එපා," යනුවෙන් ඔහු පැවසීය.
අනුර කුමාර දිසානායක පැවසුවේ, "ජනතාවට බෙදන හැන්ද කන් හැන්ද වගේ. මේගොල්ලන්ට බෙදාගන්න හැඳි බැකෝ යන්ත්‍ර වගේ," යනුවෙනි.
"අහෝසි කරලා නෑ; අත්හිටුවීමක් පමණයි"
මෙහිදී අදහස් පළ කළ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පැවසුවේ, වැටුප් වැඩි කිරීම නතර කළ බව මෙමගින් පෙනී යන බවය.
එහෙත්, මේවා "අත්හිටුවල තියෙන්නේ. අහෝසි කරලා නැහැ. අපි දෙන්නෙ නැහැ කියලා නෑ. ඉදිරි අයවැයකදී ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරයි," යනුවෙන් රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ ඊට ප්‍රතිචාර දැක්වීය.
ඔහු පැවසුවේ, පසුගිය රජය අතුරු සම්මත ගිණුම මගින් මේ සදහා ප්‍රතිපාදන වෙන් නොකළ හෙයින් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවය.