ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පළාත් ආණ්ඩුකාරවරු: මෛත්‍රී යටතේ වසර පහට 36 දෙනෙක්, මහින්දගේ වසර නවයට 20 දෙනයි
ශ්‍රී ලංකාවේ පළාත් ආණ්ඩුකාරවරු ඉවත්කිරීම, ඉවත්වීම හා මාරු කිරීම පසුගිය කාලයේදී නිතරම මාධ්‍යවලින් ඇසුණු පුවතකි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් එලෙස ආණ්ඩුකාරවරු අවස්ථා 36කදී මාරු කරන ලද අතර ශ්‍රී ලංකාවේ මෙතෙක් පදවිය හෙබැවූ ජනාධිපතිවරුන් අතරින් වැඩිම ආණ්ඩුකාරවරු පිරිසක් පත්කළ ජනාධිපතිවරයා ද ඔහුවේ.
1987 වසරේදී පළාත් සභා ක්‍රමය හඳුන්වා දීමත් සමඟ පළාත් සඳහා ආණ්ඩුකාරවරුන් පත් කිරීම ආරම්භ වූ අතර මුල්ම ආණ්ඩුකාරවරු 8 දෙනා පත්කරනු ලැබුවේ එවකට ජනාධිපති ධුරය දැරූ ජේ.ආර්. ජයවර්ධන විසිනි. එවකට උතුරු සහ නැගෙනහිර එක් පළාතක් ලෙස ක්‍රියාත්මක වූ අතර 2006 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් ප්‍රකාර පළාත් දෙක යළි වෙන් කරන තෙක් ශ්‍රී ලංකාවේ සිටියේ පළාත් ආණ්ඩුකාරවරු 8 දෙනෙකි.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (අ) ව්‍යවස්ථාවට අනුව පළාත් සභාවක් පිහිටුවනු ලැබ ඇති සෑම පළාතක් සඳහාම ජනාධිපතිවරයා විසින් ආණ්ඩුකාරවරයකු පත් කරනු ලැබේ. ජනාධිපතිවරයාට "ප්‍රසාදය" ඇතිතෙක් ආණ්ඩුකාරවරයාට එම ධුරය දැරිය හැකි බව ව්‍යවස්ථාවේ සඳහන්වේ.
ශ්‍රී ලංකාවේ වැඩිම කාලයක් ආණ්ඩුකාර ධුරයක් දරු පුද්ගලයා වන්නේ හිටපු බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලෙවි මව්ලානාය. ඔහු වසර 13ක් එනම් 2002 වසරේ සිට 2015 දක්වා එම ධුරයේ කටයුතු කර තිබේ. අඩුම කාලයක් ආණ්ඩුකාර ධුරය දැරූ පුද්ගලයා ලෙස 2018 වසරේ දිනකට පමණක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරධුරයට පත් රෙජිනෝල්ඩ් කුරේ හැඳින්විය හැකිය. එහෙත් රෙජිනෝල්ඩ් කුරේ ඊට පෙරාතුව උතුරු පළාතේ ආණ්ඩුකාර ධුරය ඉසිලීය.
ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පළාත් සභා පාලනය සඳහා එක්වන ආණ්ඩුකාරවරයාට පළාත් සභාව විසුරුවා හැරීමේ බලය තිබෙන අතර පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ උපදෙස් අනුව ඔහු ක්‍රියා කළ යුතුය. පළාතේ රාජ්‍ය සේවයේ ප්‍රධානියා සහ පළාතේ විධායක බලය හිමි පුද්ගලයා වන ආණ්ඩුකාරවරයකුගේ නිල කාලය වසර 5ක් ලෙස ව්‍යවස්ථාවේ දක්වා තිබේ. කෙසේ නමුත් එයට සීමාවක් පනවා නොමැතිවීම හේතුවෙන් ආණ්ඩුකාරවරයෙකුට ජනාධිපතිවරයාගේ කැමත්ත තිබේනම් කොපමණ කාලයක් වුවද එම තනතුරේ කටයුතු කළ හැක.
කැබිනට් අමාත්‍යවරුන්ට හිමි වරප්‍රසාද මෙන්ම තම පළාතෙන් නිල නිවසක්ද ආණ්ඩුකාරවරයාට හිමිවේ. ආණ්ඩුකාරවරුන්ට ලබාදී තිබෙන බලතල අඩුකළ යුතු බවට පසුගිය කාලයේ විවිධ කතිකාවන් සිදුවූ නමුත් එය සිදුනොවිණි.
ශ්‍රී ලංකාවේ පළාත් සභාවල නිල කාලය අවසන්ව නීතිමය ගැටළු හේතුවෙන් පළාත් සභා ජන්දය දිගින් දිගටම කල්යාම හේතුවෙන් ශ්‍රී ලංකාවේ පළාත් සභා සියල්ල මේ වන විට පාලනය වන්නේ ආණ්ඩුකාරුවරු යටතේය.
1. සබරගමුව පළාත් සභාව - නිල කාලය අවසන්වී වසර 2යි.
2. උතුරු මැද පළාත් සභාව - නිල කාලය අවසන්වී වසර 2යි.
3. නැගෙනහිර පළාත් සභාව - නිල කාලය අවසන්වී වසර 2යි.
4. මධ්‍යම පළාත් සභාව - නිල කාලය අවසන්වී වසරයි.
5. උතුරු පළාත් සභාව - නිල කාලය අවසන්වී වසරයි.
6. වයඹ පළාත් සභාව - නිල කාලය අවසන්වී වසරයි.
7. බස්නාහිර පළාත් සභාව - නිල කාලය අවසන්වී මාස 6යි.
8. දකුණු පළාත් සභාව - නිල කාලය අවසන්වී මාස 6යි.
9. ඌව පළාත් සභාව - නිල කාලය අවසන්වී සති 2යි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් 2015 වසරේ සිට මේ දක්වා ආණ්ඩුකාරවරු 26 දෙනෙකු පත්කර තිබෙන අතර ඔවුන් 36 වතාවක් පළාත් ආණ්ඩුකාර තනතුරු අතර මාරු කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යටතේ කිසිදු ආණ්ඩුකාරවරයෙකුට තම නිල කාලය වන වසර 5 අවසන් කිරීමට අවස්ථාව ලැබී නොමැත.
පසුගිය වසර 5ක කාලය තුළ මධ්‍යම පළාතට පමණක් ආණ්ඩුකාරවරු 6 දෙනෙක් පත්කෙරුණු අතර ඌව පළාත් සභාවට ආණ්ඩුකාරවරු 5 දෙනෙක් පත්කර තිබේ. අවසන් වරට පසුගිය අගෝස්තු මාසයේ ආණ්ඩුකාර ධුර 3 ක් ජනාධිපතිවරයා විසින් වෙනස් කළ අතර එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන හේමාල් ගුණසේකර නව ආණ්ඩුකාරවරයකු ලෙස දකුණු පළාත් ආණ්ඩුකාරධුරයට පත්කරන ලදී.
ශ්‍රී ලංකාවේ වැඩිම කාලයක් ජනාධිපති ධුරයේ කටයුතු කළ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරිය සිය වසර එකොළහක පාලන කාලය තුළ කටයුතු කර තිබුණේ ආණ්ඩුකාරවරු 25ක් සමඟ පමණය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය වසර 9ක පාලන කාලය තුළ ආණ්ඩුකාරවරු 20 දෙනෙක් සමඟ කටයුතු කළ අතර එයින් දෙදෙනක් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග විසින් පත්කරනු ලැබූ ආණ්ඩුකාරවරුන්ය.
අලෙවි මව්ලානා සහ නන්ද මැතිව් 2002/03 වසරවලදී චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය විසින් ආණ්ඩුකාරවරුන් ලෙස පත්කරනු ලැබූ අතර ඔවුන් සිය ධූරවලින් ඉවත්වූයේ 2015 ජනවාරි මාසයේ පැවති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පරාජයට පත්වීමත් සමගය. ඔවුන් දෙදෙනාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ දේශපාලනඥයෝ වූහ.
වසර 5කට අඩු පාලන කාලය තුළ මෙතරම් ආණ්ඩුකාරවරු පත්කිරීම ගැන ජනතා විමුක්ති පෙරමුණ අවස්ථා ගණනාවකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට චෝදනා කර තිබු අතර ඔවුන් පවසන්නේ ජනාධිපතිවරයා සිය දේශපාලන බලය පවත්වා ගැනීම සඳහා පක්ෂයට සම්බන්ධ විවිධ පුද්ගලයන් මෙම තනතුරුවලට පත්කර ඇති බවය. කෙසේවෙතත් දේශපාලනයට සම්බන්ධ නොවන වැඩිම ආණ්ඩුකාරවරුන් පත් කළේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර රජිත් කිර්ති තෙන්නකෝන් පවසයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යටතේ ආණ්ඩුකාරවරු
- බස්නාහිර පළාත - 04
1. කේ.සි. ලෝගේෂ්වරන් - 2015 ජනවාරි 23 සිට 2018 අප්‍රේල් 11.
2. හේමකුමාර නානායක්කාර - 2018 අප්‍රේල් 12 සිට 2019 ජනවාරි 03
3. අසාත් සාලි - 2019 ජනවාරි 03 සිට 2019 ජුනි 03
4. ඒ.ජේ.එම් මුසම්මිල් - 2019 ජුනි 04 සිට මේ දක්වා
- මධ්‍යම පළාත - 06
5. සුරංගනී එල්ලාවල - 2015 ජනවාරි 27 සිට 2016 මාර්තු 14
6. නිලූකා ඒකනායක - 2016 මාර්තු 14 සිට 2018 අප්‍රේල් 11
7. රෙජිනෝල්ඩ් කුරේ - 2018 අප්‍රේල් 12 සිට 2018 අප්‍රේල් 13
8. පිබි දිසානායක - 2018 අප්‍රේල් 13 සිට 2019 ජනවාරි 03
9. මෛත්‍රී ගුණරත්න - 2019 ජනවාරි 03 සිට 2019 අගෝස්තු 3
10. කීර්ති තෙන්නකෝන් - 2019 අගෝස්තු 4 සිට මේ දක්වා
- නැගෙනහිර පළාත - 04
11. ඔස්ටින් ප්‍රනාන්දු - 2015 ජනවාරි 27 සිට 2017 ජුලි 01
12. රෝහිත බෝගොල්ලාගම - 2017 ජුලි 04 සිට 2019 ජනවාරි 03
13. එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා - 2019 ජනවාරි 03 සිට 2019 ජුනි 03
14. ශාන් විජයලාල් ද සිල්වා - 2019 ජුනි 03 සිට මේ දක්වා
- උතුරු මැද පළාත - 03
15. පිබි දිසානායක - 2015 ජනවාරි 27 සිට 2018 අප්‍රේල් 11
16. පි. ජයසිංහ - 2018 අප්‍රේල් 12 සිට 2019 ජනවාරි 03
17. සරත් ඒකනායක - 2019 ජනවාරි 03 සිට මේ දක්වා
- වයඹ පළාත - 03
18. අමරා පියසීලි රත්නායක - 2015 ජනවාරි 27 සිට 2018 අප්‍රේල් 11
19. කේ.සි. ලෝගේෂ්වරන් - 2018 අප්‍රේල් 12 සිට 2019 ජනවාරි 03
20. පේෂල ජයරත්න - 2019 ජනවාරි 03 සිට මේ දක්වා
- උතුරු පළාත - 04
21. එස්. පලිහක්කාර - 2015 ජනවාරි 27 සිට 2016 පෙබරවාරි 16
22. රෙජිනෝල්ඩ් කුරේ - 2016 පෙබරවාරි 16 සිට 2018 අප්‍රේල් 11
23. රෙජිනෝල්ඩ් කුරේ - 2018 අප්‍රේල් 13 සිට 2019 ජනවාරි 03
24. සුරේන් රාඝවන් - 2019 ජනවාරි 03 සිට මේ දක්වා
- සබරගමු පළාත - 03
25. මාර්ෂල් පෙරේරා - 2015 ජනවාරි 27 සිට 2018 අප්‍රේල් 11
26. නිලූකා ඒකනායක - 2018 අප්‍රේල් 12 සිට 2019 ජනවාරි 03
27. ධම්ම දිසානායක - 2019 ජනවාරි 07 සිට මේ දක්වා
- දකුණු පළාත - 04
28. හේමකුමාර නානායක්කාර - 2015 ජනවාරි 27 සිට 2018 අප්‍රේල් 11
29. මාර්ෂල් පෙරේරා - 2018 අප්‍රේල් 12 සිට 2019 ජනවාරි 03
30. කීර්ති තෙන්නකෝන් - 2019 ජනවාරි 09 සිට 2019 අගෝස්තු 03
31. හේමාල් ගුණසේකර - 2019 අගෝස්තු 03 සිට මේ දක්වා
- ඌව පළාත - 05
32. පී. ජයසිංහ - 2015 ජනවාරි 27 සිට 2018 අප්‍රේල් 11
33. ආරිය රැකව - 2018 මැයි 11 සිට 2019 ජනවාරි 03
34. කීර්ති තෙන්නකෝන් - 2019 ජනවාරි 07 සිට 2019 ජනවාරි 09
35. මාර්ෂල් පෙරේරා - 2019 ජනවාරි 09 සිට 2019 අගෝස්තු 03
36. මෛත්‍රී ගුණරත්න - 2019 අගෝස්තු 03 සිට මේ දක්වා